Print this Article


මල්වතු මහා නා හිමියන්ගේ සුරතින් අඩු ආදායම්ලාභී පවුල් රැසකට වියළි ආහාර

මල්වතු මහා නා හිමියන්ගේ සුරතින් අඩු ආදායම්ලාභී පවුල් රැසකට වියළි ආහාර

 

නිහඬ මෙහෙවරක තවත් එක් ප්‍රජා සේවාවක්:

 

අසේල කුරුළුවංශ

මල්වතු මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් වියළි ආහාර බෙදා දුන් අයුරු.

ගෞතම බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිතෙහි සුවිශේෂත්වයන් අතර අසරණයින්ට පිහිටවීම සෑම විටම දක්නට ලැබෙන සුවිශේෂත්වයකි. ඒ ආදර්ශය ලොවට දුන් උන්වහන්සේ මිනිසාට පමණක් නොව සතා සිවුපාවාට ද කරුණාව, දයාව හා මෛත්‍රියෙහි වටිනාකම පෙන්වාදෙමින් තමන් උපයන දෙයින් කොටසක් දනට පිනට දෙන්නැයි වදාළ සේක.

අන් අයගේ දුක හඳුනාගෙන ඔවුන්ගේ දුක නිවන්නට දහමින් කරුණු කියා දීම මෙන්ම ආර්ථික අතින් පිහිටක් වීම ද වැදගත් ය. එම කරුණු ද්විත්වයේ ම පිහිටා කටයුතු කරන්නා වූ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ දශක ගණනාවක සිට අසරණයින්ට සරණ වන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කිසිදු ප්‍රසිද්ධියකින් තොරව ය. සංඝ මූලස්ථාන මගින් බෞද්ධ ජනතාවට යම් සරණක් වන වැඩසටහන් ක්‍රියාත්මක නොවන බවට ඇතැම් පිරිස් හඬ නගද්දීත් උන්වහන්සේ සුපුරුදු පරිදි එම කටයුත්ත නිහඬව ම කරගෙන යෑමට වගබලා ගත්හ.

සුනාමි ව්‍යසනයෙන් අසරණවූවන්ට මෙන් ම පසුගිය කාලය තුළ ගංවතුරින් හා නියඟයෙන් පීඩා විඳි පිරිස් වෙත ලක්ෂ ගණනින් වියළි ආහාර ඇතුළු නොයෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමටත් කටයුතු කළ මහා නාහිමියෝ වසරක් පාසා ඓතිහාසික රිදී විහාර පුද බිමේ දී පාසල් සිසුන් විශාල සංඛ්‍යාවකට පාසල් උපකරණ ලබා දීමට කටයුතු කරන්නේ මහා නායක ධූරයට පත් වීමටත් පෙර සිට ය. ජාති, ආගම් බේදයෙන් තොරව අසරණකම පමණක් සැලකිල්ලට ගෙන සෑම විටම ජනතාවට සරණ වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උන්වහන්සේ සතු උදාර ගුණයකි.

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංක්ලපයක් මත මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් එකසිය දහයක් (110)ක් සඳහා වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක් තායිවානයේ නන් ලින් ( ව්භද – ඹ්ඪද) භික්ෂුණි ආරාමයේ වැඩ වසන මෙහෙණින් වහන්සේලා හා දායක කාරකාදීන්ගේ ද සහයෝගය ලබා ගනිමින් පසුගියදා මල්වතු මහානායක නිල ආරාමයේ දී පැවැත්වුණු අතර ඊට වැයකළ මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන කි. ග්‍රාම නිලධාරීන් මගින් අඩු ආදායම් ලාභී පවුල් තෝරාගෙන එක් අයෙකුට රුපියල් දස දහසක පමණ වටිනාකමින් යුත් වියළි ආහාර මල්ලක් ලබා දීමට මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පියවර ගෙන තිබූ අතර ජාති, ආගම් භේදයකින් තොරව සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලු ජන කොටස් ආවරණය වන පරිදි එම වැඩටහන ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

බෞද්ධාගමික වශයෙන් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින මිතුදම උපයෝගි කර ගනිමින් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනයෙන් එම පින්කමට තායිලන්ත නන්ලින් භික්ෂුණී ආරාමයේ වැඩවාසය කරන මෙහෙණින් වහන්සේලා මෙන් ම එහි දායිකාවන් සම්බන්ධවූ බව මල්වතු මහ විහාර පාර්ශවයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල හිමියෝ පැවසූහ.

ජාති, ආගම් බේදයකින් තොරව අසරණ ජනතාවට පිහිට වීම පිණිස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඉදිරියටත් මෙය අඛණ්ඩව ක්‍රියාවට නංවන බවත් උන්වහන්සේ පැවසූහ.

එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, ඓතිහාසික රිදී විහාර රජමහ විහාරයේ භාරකාර තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත යන හිමිවරු ද සහභාගී වූහ.

ආධාර ලබා ගැනීමට පැමිණි පිරිසෙන් කොටසක්