Print this Article


චක්ඛුපාල හිමියන්ගේ කතාව

යමක වග්ගය:

චක්ඛුපාල හිමියන්ගේ කතාව

" සිත පෙරටු කොට - සිත ම මුල් කොට
සිතෙන් උපදිති – දහම හැම විට
කතාවට හෝ ක්‍රියාවට යම් – නපුරු සිතිවිලි පෙරටු වේ නම්
ලෙසට රිය සක ගොනු අනුව එන – ලැබෙයි දුක් වේදනා සතහට "

‘අකුසල දහමට මුල් වන්නේ සිත ය. කිළිටි වූ සිතින් අකුසල් කළ තැනැත්තා පසු පස දුක ලුහු බඳින්නේ ය.’

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛමන්වෙති
චක්කං’ව වහතො පදං

මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ විසූ සමයෙහි චක්ඛුපාල නම් දෙනෙත් අඳ තෙර නමක් අරභයා වදාරන ලද්දකි.

චක්ඛුපාල හිමියෝ බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගනු පිණිස වරක් ජේතවනාරාමයට පැමිණියහ. එදින රැයෙහි සක්මන් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේට පෑගී කෘමී සත්තු රැසක් මිය ගියහ. දෙනෙත් නොපෙනෙන හෙයින් මෙය නොදැනුවත්කමින් සිදු වූවකි. උදෑසන පිබිදුණු හිමිවරු කීපනමක් මිය ගිය කෘමීන් දැක ඒ ගැන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළහ.

“චක්ඛුපාල හිමියන් ඒ සතුන් මරණවා ඔබ දැක්කාද?” යි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

“නැත ස්වාමීනි”

භික්ෂුහු පිළිතුරු දුන්හ.

“ඔබ නොදැක්කා මෙන් ම චක්ඛුපාල හිමියන් ද දැක්කේ නැහැ. උන්වහන්සේ රහත් නමක් නිසා ප්‍රාණඝාත චේතනාවක් ඇති වන්නේත් නැහැ. සිතා මතා කළ වරදක් නො වන නිසා උන්වහන්සේ නිර්දෝෂයි.” භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළහ. චක්ඛුපාල හිමියන් රහත් බව ලබන්නට තරම් පින් ඇතිව ඉපදීත්, අන්ධ වන්නට හේතුව කුමක්දැයි දැන ගන්නට භික්ෂූන් වහන්සේ කැමැත්ත පළ කළහ. භාග්‍යවතුන් වහන්සේ එම කර්මය හෙළි කරමින් පහත දැක්වෙන කතා පුවත වදාළහ.

පෙර ජන්මයක චක්ඛුපාල හිමියෝ වෛද්‍යවරයකු ව උපන්හ. ඇස් රෝගයකින් පෙළුණු එක් කාන්තාවක් ඔහු වෙත පැමිණ, “මගේ ඇස් දෙක සනීප කළොත් මම දූ දරුවන් එක්ක ඔබතුමාගේ දාසියක් වෙනවා” යි කියා සිටියා ය. වෛද්‍යවරයා ද ඊට එකඟ විය. අනර්ඝ ඖෂධ භාවිත කොට ඇය සුවපත් කළේ ය. එහෙත් දෙනෙත් සුව වූ පසු තම ප්‍රතිඥාව ඉටු කරන්නට ඕ මැලි වූවා ය.

“තවමත් දෙනෙත් හරියට පේන්නේ නැහැ” යි කියමින් මඟ හරින්නට වෑයම් කළා ය. ඇය කරන්නේ බොරුවක් බව දත් වෛද්‍යවරයා පලි ගන්නට සිතුවේ ය.” තව එක බෙහෙතක් කර බලමු” යි විස බෙහෙතක් යෙදුවේ ය. එමඟින් ඇය සදහට ම අන්ධ කළේ ය.

ආත්ම ගණනාවක් අන්ධ ව උපන් හෙතෙම රහත් බව ලබන අවසන් ජන්මයෙහි ද කර්ම විපාක වශයෙන් අන්ධ ව උපන්නේ ය.

අප කරන හැම යහපත් හෝ අයහපත් ක්‍රියාවක් පසු පසම ඇත්තේ චේතනාවකි. හැම වචනයක් ම කතා කරන්නේත්, හැම ක්‍රියාවක් ම කරන්නේත් සිතාමතා ය. එහෙයින් නරක සිතිවිල්ලක් පෙරදැරි කරගෙන ක්‍රියා කිරීමෙන් නරක දෙයක් වූ අකුසල කර්මයක් ජනිත වෙයි. එහෙයින් ඒවා ‘මනෝමය’ එනම්, සිතින් නිර්මිත ලෙස හැඳින්වෙයි. එවැනි අකුසල කර්ම කරන අය පසු පස දුක් විපාක හඹා එන්නේ ගවයා පිය තබන තබන වරට ඉදිරියට ඇදී එන කරත්ත රෝදයක් මෙනි.


ධම්මා - කුසල සහ අකුසල ක්‍රියා
මනොපුබ්බංගමා - සිත පෙරටු කොට පවතී.
මනොසෙට්ඨා - සිත ප්‍රධාන කොට පවතී.
මනොමයා - මනසින් හටගනී.
චෙ – ඉදින්
පදුට්ඨෙන මනසා - ද්වේෂ සහගත සිතින්
භාසති වා - කතා කරයිනම් හෝ
කරොති වා - ක්‍රියා කරයි නම් හෝ
තතො - ඒ හේතුවෙන්
දුක්ඛං - දුක
නං - ඔහු
අන්වෙති – පසු පස එයි
වහතො පදං - ගොනාගේ පියවර
චක්කං ඉව - කරත්ත රෝදය අනුව යන්නාක් මෙන්.