Print this Article


බොදු පුනරුදයට මහඟු මෙහෙවරක් කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

බොදු පුනරුදයට මහඟු මෙහෙවරක් කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා සම්බුද්ධ ශාසනයටත්, ජන සමාජයටත් අමිල මෙහෙවරක් සිදු කළහ. එතුමන් කළ අනභිබවනීය සේවාවන් අතර කළුතර බෝධීන් වහන්සේ සංරක්ෂණයට තබන ලද පියවර වැදගත් තැනක් ගනියි.

1896 ඔක්තෝබර් 26 වන දා බෙන්තර වළල්ලාවිට කෝරළයේ බලපිටියේ වැලිතොට දී එතුමා උපත ලැබී ය. පළමුව මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අකුරුකර අනතුරුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබී ය. කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් සමත්ව අනතුරුව නීතිය හැදෑරීම සඳහා නීති විද්‍යාලයට ඇතුළත් විය.

නීතිඥ විභාගයෙන් සමත්ව බලපිටිය අධිකරණයෙන් සේවය ඇරැඹූ ඒ මහතා කළුතරට පැමිණ සේවය කළ අතර දක්ෂ නීතිඥවරයෙකු ලෙස ප්‍රකට විය.

ඉංගී‍්‍රසි ආධිපත්‍යය පැවැති සමයේ කළුතර බෝධීන් වහන්සේ කේන්ද්‍ර කර ගනිමින් විවිධ අපහසුතා මධ්‍යයේ වුව ද බෝධීන් වහන්සේ අවට දර්ශනීය පරිසරයක් නිර්මාණය කිරීමටත්, බෝධි වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ඒ සඳහා අවකාශ සලසාදීමත් තුළින් මහඟු මෙහෙවරක් සිදු කළේ ය.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ආරම්භ කරන ලද ස්වර්ණපාලි නමැති බස් සමාගමට පසුව සවුත් වෙස්ටර්න් අයත් බස් රථ මගී ප්‍රවාහනය සඳහා යෙදවී ය.

කළුතර බෝධීන් වහන්සේ පසුකර යන එන එම බස් රථවල සේවය කළ සේවක මහත්වරුන් ලවා කළුතර බෝධීන් වහන්සේ වෙත පඬුරු පිදීමට යොමුකරවී ය. එම බස් රථවල ගමන් කළ මගීන්ට ද කළුතර බෝධීන් වහන්සේට පඬුරක් පුදන ලෙස ඉල්ලා සිටියේ ය. සැදැහැති පොදු ජනතාව ද කළුතර බෝධීන් වහන්සේ නෙත ගැටෙන විට පඬුරු දැමීමට යොමු විය.

ශ්‍රී මත් සිරිල්ද සොයිසා මහතා සිය බුද්ධිය, ශ්‍රමය, කාලය, ධනය රට දැය සමය වෙනුවෙන් කැප කළේ ය. විවිධ සමිති සමාගම් රැසක විවිධ නිලතල දරමින් එතුමා කළ සේවය අමිල ය. දැයේ දරුවන්ගේ නැණ පහන් දැල්වීම සඳහා කළුතර විද්‍යාලයත්, කළුතර බාලිකා විද්‍යාලයත් ආරම්භ කිරීමට පුරෝගාමී විය.

කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්කරණ කටයුතුවල දී පුරෝගාමී මෙහෙවරක් කළ එතුමා කොළඹ නගරයේ විහාරස්ථාන රාශියක අභිවෘද්ධිය සඳහා මහත් දායකත්වයක් ලබා දී ඇත. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා අපේක්ෂා කළ බොහෝ පොදු හා ආගමික සේවාවන් එතුමන් ජීවත්ව සිටි යුගයේ දී මල්ඵල ගැන්වුණු අතර එම සියලු අපේක්ෂා මුදුන්පත් කරමින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් වර්තමානයේ දී ද විවිධ ක්ෂේත්‍ර රැසක් හරහා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් සමාජයේ අභිවෘද්ධියටත් සිදු කරනු ලැබේ.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 40 වන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් ජනවාරි 1 වන දා සහ 2 වන දා පින්කම් රැසක් කළුතර බෝධි පරිශ්‍රයේ දී සිදු කෙරේ.

1 වන දා පෙරවරු 6 ට කිරිපිඬු පූජාව ද, අනතුරුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද පසුදා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වීමට කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා මහතා ප්‍රධාන බෝධිභාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාට නිවන්සුව ලැබේවා.