Print this Article


තෘෂ්ණාවෙන් වැනසෙන්්නෝ

තෘෂ්ණාවෙන් වැනසෙන්්නෝ

සැවැත්නුවර එක්තරා ඉසුරුමත් පවුලක සුන්දර සමුද්ද නමින් සැදැහැවත් කුමරෙක් විසී ය. එම කුමරුගේ මව්පියන්ට සතළිස් කෙළක් ධන සම්පත් වූයේ ය. හේ ඉතාමත් ශ්‍රද්ධා සම්පන්න විය. නිතර දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම පුරුද්දක් වශයෙන් හුරු පුරුදු කළේය. දිනක් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ අවස්ථාවක දී ගිහිගෙයි ජීවත්වන අතරතුරදීම බ්‍රහ්ම චර්යාව රැකිය නොහැකි අයුරු පැහැදිලි කළ සේක. ඒ පිළිබඳ සිත් ඇදී ගිය කුමරු පැවිදි විය යුතුය යන අදිටනින් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියේ ය. පැවිද්ද සඳහා මව්පිය අවසර ලබාගත යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පසු ඒ පුවත මව්පියන් හමුවේ ඉදිරිපත් කළ ද අවසරය නොලැබිණි. බාධක ද පැනවීය.

විවිධාකාරයෙන් උපක්‍රම යෙදූ පසු සුන්දර සමුද්දට මව්පිය අවසරය ලැබිණ. ඉන් බලවත් සතුටට පත් හේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි උපසම්පදා විය. දෙව්රම් වෙහෙරෙන් වෙනත් නගරයකට ගොස් තම ප්‍රවෘජ්‍යා අරමුණ ඉෂ්ට කරගැනීමේ චේතනාව ඇතිව බුදුරජාණන් වහන්සේගේ අවසරය මත රජගහ නුවරට වැඩම කළේය. මේ කාලය තුළ සැවැත්නුවර විශාල සැනකෙළියක් පැවැත් වූ අතර සුන්දර සමුද්ද තෙරුන්ගේ මව්පියෝද එය නැරඹීමට පැමිණියහ. සුන්දර සමුද්ද, ගිහිකල තම යහළුවන් විනෝද වෙමින් කමින් බොමින් අල්ලාප සල්ලාප යෙදෙන අයුරු මව්පියන්ට දැකගන්නට ලැබිණි. එසේ විනෝදවෙමින් නටන පිරිස් දෙස බැලු මව්පිය දෙදෙනා බොහෝ සේ දුකට පත් විය. තම පුතු ද මේ පිරිස් අතර සිටියා නම්, මෙසේ විනෝද වනවා නොවේද? යි ඔවුහු සිතූහ.

මව්පිය දෙදෙනා හඬන ආකාරය දෙස බැලූ එක් ස්ත්‍රියක් ඒ පිළිබඳ කාරණා විමසී ය. තම පුතු පැවිදිවීමෙන් ඇති වූ පාළුව නිසා බව පැවසූ විට තම පුතු ගෙනවිත් දිය හැකි බවට ඇය කළ ප්‍රකාශයෙන් මහත් සතුටට පත්වූ මව්පිය දෙදෙනා ඇයට බොහෝ දේ ලබාදෙන බවට ද පොරොන්දු විය. තම පුතුගේ බිරිඳ ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බව ද ප්‍රකාශ කළහ. ඒ කටයුත්ත සඳහා ඇයට අවශ්‍ය විය පැහැදම් ද ලබාදුන්නී ය. එම ස්ත්‍රිය රජගහ නුවරට පැමිණ සුන්දර තෙරණුවන් පිඬුසිගා වඩින ප්‍රදේශයක් අසළ නිවසක පදිංචිව පිඬුසිඟා වඩින තෙරණුවන්ට දානය පූජා කරන්නී ය. කාලය ගතවීමත් සමඟ නිවසට වැඩම කර දානය වළදන ලෙසට අරාධනා කළාය. ඇය ශ්‍රද්ධාවෙන් කරන යෝජනාවක් බවට සිතා එම නිවසට පමණක් පිඬු සිගා වැඩියහ. ටික දිනක් නිවසට පිඬු සිගා වැඩි තෙරණුවන්ට දින කිහිපයක් ම වඩින ලෙසට නැවතත් ආරධාන කළහ. එම ආරාධනාව ද බාර ගත්හ. ඇය කුඩා ළමුන් කැඳවා ඔවුනට කැවිලි පෙවිලි ලබාදෙමින් තෙරුන් දන් වළඳන අවස්ථාවේ දී දූවිලි ඇවිස්සෙන පරිදි ක්‍රීඩා කරන ලෙස දැන්වී ය.

එම අවස්ථාවෙහි කිසිවක් නොදත් තෙරණුවෝ ආලින්දයට වැඩමවා පිණ්ඩපාතය පිළිගැන්වීමට ක්‍රියා කළහ. ළමුන්ගේ ක්‍රියාකලාපය නිසා කාන්තාවගේ ඉල්ලිීම මත තෙරණුවෝ ඉහළ මාලයට ද වැඩම කළ සේක. එම අවස්ථාවේ දී තෙරුන් ඉදිරියේ දී ඇය මායම් පාමින් , ආදර බස් තෙපලන්නට විය. ඇය සමඟ සැපවත් ජීවිතයක් ගත කරන ලෙසද මහලුවයසේදී පැවිදි වන ලෙසත් ඇය ආරාධනා කර ඇත. බුදුරජාණන් වහන්සේ තෙරුන් වහන්සේ පත් ව ඇති කරදරය බුදු නෙතින් දැක එම කාන්තාවගෙන් ගලවා දහම් දෙසා රහත්භාවයට පත් කළ සේක. තෘෂ්ණාවෙන් ආසාවෙන් වසඟ වන කවර පුද්ගලයෙකුට වුව ද, මෙවැනි තත්ත්වයන් උදාවන බැවින් වර්තමාන සමාජයට ද යහපත් උපදේශයක් ලබාගත හැකි ය.