Print this Article


ශ්‍රී දළදා පුරාණය - 12:  සිරි දළදා අසිරිය

ශ්‍රී දළදා පුරාණය - 12: 

සිරි දළදා අසිරිය

"දළදා හාමුදුරුවන් වහන්සේ යම් අයෙකු සතුව පවතී නම්, ඔහුට රාජ්‍ය බලය හිමිවන බවට නියමයක් ද තිබිණි. එබැවින් රජවරු තම දිවි දෙවැනි කොට දළදා වහන්සේ ආරක්ෂා කිරීමට වගබලා ගත්හ. රට සතුරන්ගෙන් බේරාගත් පරාක්‍රමබාහු, විජයබාහු වැනි රජවරු විසින් තුන් සිංහලයට අයත් ශ්‍රි ලංකාව දළදා වහන්සේට පූජා කර ඇති බවට තොරතුරු මහා වංශයෙන් හමුවේ."

ශ්‍රී දළදා මාලිගාවේ තුන්වන මංගල්‍යය ලෙස පෙරහර මංගල්‍ය සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව විෂ්ණු දේවාල කේන්ද්‍රකොටගෙන කප් සිටුවීමෙන් ආරම්භ කෙරේ. කප් සිටුවීමේ දිනයේ සිට එම දේවාලවල දෙවිවරුන් සංකේතවත් කිරීම සඳහා කප වටා කුඩා පෙරහරකින් රන් ආයුධ වඩමවනු ලැබේ. එය ඇතුලේ පෙරහර නමින් හඳුන්වන අතර ඉන්පසු දින පහක් මුළුල්ලේ කුඹල් පෙරහර පැවැත් වේ. ඊට දළදා මාලිගාව ද සතර මහා දේවාල ද සම්බන්ධ වේ.

මේ දින පහේ පෙරහර විශේෂ අලංකරණ නොතිබෙන අතර කුඹල් පෙරහර වන පළමු පෙරහර කුඩා දරුවන්ගේ වස් දොස් අපල උපද්‍රව දුරුකර ගැනීම සඳහා ඉතාමත් වටිනා දිනයක් ලෙස සඳහන් කළ හැකි ය. කුඹල් පෙරහරින් පසුව එළඹෙන ඊළඟ දිනයේ දී රන්දෝලි පෙරහර ආරම්භ වේ. මේ පෙරහර දිනෙන් දින අලංකාරවත් කරමින් අලි, ඇතුන්, නැට්ටුවන්, හේවිසි කරුවන්, වැඩි කරමින් අලංකාර ඇඳුම් පැළඳුමෙන් සරසමින් පෙරහර පැවැත් වේ. අන්තිම රන්දෝලි පෙරහරෙන් පසුව සම්පූර්ණ පෙරහර යළි සංවිධානය වෙමින් අස්ගිරි මහා විහාරයේ ආදාහන මළුවට ගොස් පෙරහර කරඬුව එහි ගෞරවාන්විත ව තැන්පත් කිරීමෙන් පසුව ගැටඹේ තොටට පැමිණ දියකැපීමේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව පෙරහර මංගල්‍ය කටයුතු අවසන් කෙරේ. ඉන් අනතුරුව රාජ්‍ය නායකයා හෝ රාජ්‍ය නායිකාව රජගෙදර දී මුණගැසී පෙරහර සාර්ථක ලෙස පැවැත්වූ බවට දැන්වීම සිරිතක් ලෙස සඳහන් කළ හැකි ය. පෙරහර අවසන් වූ දිනට පසු දින සිට දින හතක් පුරා විෂ්්ණු දේවාලයේ පැවතෙන වලියක් මංගල්‍ය නමින් හඳුන්වන ශාන්ති කර්මයෙන් පසු සියලු පෙරහර කටයුතු අවසන් වේ.

සෑම වර්ෂයකදී ම නොවැම්බර් මස ඉල් පොහොය දිනයට දින දෙකකට තුනකට පෙර දළදා මාලිගාව විසින් ලබා දෙන පොල්තෙල් ශ්‍රී නාථ දේවාලයට ගෙන ගොස් සතර දේවාලය හා පිටිසර දේවාල හා සියලු විහාර දේවාලවලට බෙදා දිම සිදුකෙරේ. එම තෙල්වලින් ඉල් පොහොය දින රාත්‍රී පහන් දල්වා සිදු කෙරෙන ප්‍රදීපෝත්සවය කාර්තික මංගල්‍ය නිමින් හැඳින්වේ.

එදින රාත්‍රී පෙරහර කරඬුව රැගෙන වීදි සංචාරය කරමින් අලංකාර පෙරහරක් ද දළදා මාලිගාව විසින් පවත්වනු ලැබේ. දළදා මාලිගාෙවි සියලු කටයුතු පෞරාණිකව පිළිගත් චාරිත්‍ර වාරිත්‍රවලට අනුව සිදුකිරීම විශේෂත්වයකි. ඒ අනුව දළදා තේවාව හා පූජාව නොපවත්වන අවස්ථාවල දී ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට සැදැහැවතුනට අවස්ථාව ලැබේ. දළදා පූජාවට සහභාගි වන සැදැහැවතුන් විසින් සුදු මල් පමණක් රැගෙන යාම ඉතාම සුදුසු වුව ද, වර්තමානයේ ඇතැම් අවස්ථාවල දීි පාට නෙළුම් මල් යොදා ගැනුණ ද, දළදා වහන්සේ වැඩ වෙසෙන සුවඳ කුටිය තුළට සුදු සමන් පිච්ච මල් පමණක් රැගෙන එනු ලැබේ. එම පිච්ච මල් තේවාව භාර ස්වාමීන් වහන්සේලාට බාර දී පුද පුජා කටයුතු පැවැත්වීමට කටයුතු කෙරේ. තේවා භාර ස්වාමීන් වහන්සේ විසින් එම මල් ආසනය මත පුජාකරමින් දළදා පුජාව සිදු කරනු ලැබේ. ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමට වැඩම කරවන මහා සංඝරත්නය දළදා කුටියට පිවිසීමට පෙර සිවුර සකස් කොට පොරවා එම මතුපිටින් පටියක් බැඳ ගැනීම චාරිත්‍රයක් වේ. පුජා කිරීමට මල් තේවාකාරක ස්වාමීන් වහන්සේලාගෙන් ම ලබා ගැනීමට අවශ්‍ය වන අතර පුජා කිරීම සඳහා මල් රැගෙන යාමක් සිදුවන්නේ නැත. දළදා වහන්සේගේ තේතාව සිදුකළ ස්වාමින් වහනේසේ නමකට හැර වෙනත් ස්වාමින් වහන්සේලාට දළදා කුටිය තුළ දණ ගසා වන්දනා කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ තේවා කටයුතු සඳහා පෙර සහභාගි වූ භික්ෂූන් වහන්සේලාට පමණක් මල් ඉල්ලා සිටීමකින් තොරව ආසනයේ තිබෙන මල් බන්දේසිය මතින් තමාගේ අතට රැගෙන පූජා කිරීමේ හැකියාව පැවතුණ ද, සෙසු ස්වාමීන් වහන්සේලාට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැත. මේ ආකාරයට දළදා මාලිගාව තුළ සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර උල්ලංඝනය නොකොට නිරන්තර ව සියලු දෙනා විසින් පිළිගෙන අනුගමනය කිරීම දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන ගෞරවයක් ලෙස සඳහන් කළ හැකි ය . ඒ අනුව සිදුකරනු ලබන සියලු චාරිත්‍ර උතුම් චාරිත්‍ර ලෙස සඳහන් වෙන අතර වෙනත් පුජනීය ස්ථානයක දී දැකිය නොහැකි චාරිත්‍ර බවත් සඳහන් කළ හැකි වේ.

දළදා වහන්සේ උදෙසා සිදුකරනු ලබන පුද පූජාවන් අතිශය පාරිශුද්ධව පිළිවෙලකට සිදුකරන බැවින් දළදා හාමුදුරුවන් වහන්සේගේ බලය ද අසීමිත වේ. කීර්තී ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ පාලන සමයෙහි ලක්දිවට වැඩම කරන ලද දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් ද සැලකිණි. එක් එක් අවධිවල රාජ්‍ය කළ රජවරුන් විසින් තම මාලිගාව ආසාන්නයෙහිම දළදා මන්දිරය සාදවා දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා මහත් ගෞරව සම්ප්‍රයුක්තව පුද පූජා පවත්වා ඇත.

දළදා හාමුදුරුවන් වහන්සේ යම් අයෙකු සතුව පවතී නම්, ඔහුට රාජ්‍ය බලය හිමිවන බවට නියමයක් ද තිබිණි. එබැවින් ්රජවරු තම දිවි දෙවැනි කොට දළදා වහන්සේ ආරක්ෂා කිරීමට වගබලා ගත්හ.. රට පර සතුරන්ගෙන් බේරාගත් පරාක්‍රමබාහු, විජයබාහු වැනි රජවරු විසින් තුන් සිංහලයට අයත් ශ්‍රි ලංකාව දළදා වහන්සේට පූජා කර ඇති බවට තොරතුරු මහා වංශයෙන් හමුවේ. විමලධර්මසූරිය රජතුමා විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සෙංකඩගල පුරවරයට වැඩම කිරීමෙන් අනතුරුව ක්‍රි. ව. 1619 දී වර්තමානයෙහි මහනුවර දක්නට ලැබෙන දළදා මන්දිරය ඉදිකරවා ඇති බව ඉතිහාසයෙහි සඳහන් වේ.


ශ්‍රී දළදා පුරාණය - 11: ශ්‍රී දළදා මාලිගාව හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර