Print this Article


දුරුතු පොහෝ දිනයට යෙදෙන ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්ලය

දුරුතු පොහෝ දිනයට යෙදෙන ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්ලය

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනට යෙදී තිබෙන සෙංකඩගල පුර ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයේ මෙවර වාර්ෂික අලුත් සහල් පෙරහර මංගල්ලය සඳහා රාජ්‍ය වර්ෂයෙන් 2017 ක් වූ දෙසැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා දින පස්වරු 1 පසු වී විනාඩි 23 ට ශ්‍රී දංෂ්ට්‍ර ධාතු මන්දිරය ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි පෙරහර නැගෙනහිර දිශාභිමුඛව පල්ලෙකැලේ සංරක්ෂණය කොට ඇති ශ්‍රී දළදා මාලිගාවේ අටුව බලා පිටත්ව, එදින පස්වරු 4.20ට පමණ ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ බස්නායක නිලමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් පෞරාණික චාරිත්‍රානුකූලව අලුත් වී සහල් බෙදා දීම සිදුකෙරිණි.

2018 ක් වූ ජනවාරි මස 1 වන දුරුතු පුරපසළොස්වක පොහොය දින පෙරවරු 9.55 ට යෙදෙන සුබ මුහුර්තියෙන් දකුණු දිශාභිමුබව අතිඋතුම් ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි අලුත් සහලින් පිසින ලද ප්‍රණීත මුළුතැන් බුද්ධ පූජා මංගල්‍යය ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ තේවා භාර නාහිමිපාණන් වහන්සේගේ හා ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රද්ධා පූර්වංගම චිත්තයෙන් සිදු කිරීමට නියමිත ය. වර්ෂයේ අස්වැන්න සරුසාර කොට රටෙහි සමෘද්ධිය හා සෞභාග්‍යය සාධනය කර ගැනීම අරමුණු කොට සිදු කෙරෙන මෙම ඉපැරැණි චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රය නොකඩ කොට පැවැත්වීම ජාතියේ අභිමානය හා අභිවර්ධනය පිණිස හේතු වේ.

අලුත් සහල් මංගල්‍යය වාර්ෂිකව පැවැත්වෙන සතර මංගල්‍යය අතුරෙන් ඉතා උතුම් බුද්ධ පූජාමය මංගල්‍යයකි. ශ්‍රී මහා බෝධීන්වහන්සේ හා ශ්‍රී දළදා වහන්සේ කේන්ද්‍ර කොට ගොඩනැගී ඇති මෙම චාරිත්‍ර විධිය දිවයිනේ කෘෂි ජන ජීවිතය හා බැඳුණු චාරිත්‍ර, පුද සිරිත් සංකලනය වී ගොඩනැගී අසම්භින්නව පැවත එන්නේ ය. ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම වූ තැනේ දී දේවානම්පියතිස්ස මහරජාණන් ස්වකීය රාජ්‍යය තුන්වරක්ම ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත ද, ඉන් අනතුරුව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවීමෙන් පසු කිත්සිරිමෙවන් මහරජු විසින් මුතු මැණික් ආදී මහාර්ඝ වස්තුවෙන් සපිරුණු මෙම ලක්දෙරණ ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ විෂයෙහි තෙවිටක් ද පූජා කළ බව වංශකතාවන්ගෙන් හෙළි වේ. එතැන් සිට මෙම මහ පොළොවේ සැබෑ අයිතිකරු බුදුරජාණන් වහන්සේ බවට විශ්වාසයක් බෞද්ධ සමාජය තුළ තහවුරු විය. ඒ නිසාම රටේ සෞභාග්‍යය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කොට සිය වාර්ෂික අස්වැන්නෙන් අග්‍රභාගය බුද්ධ පූජාවට හා දේව පූජාවට වෙන් කොට පිදීමේ සිරිත ඇරඹිණ. ගොවීහු ස්වකීය ගොවිතැන් කටයුතු ආරම්භයේදී ම අස්වැන්නේ ප්‍රථමභාගය අලුත් සහල් මංගල්‍යයට පිදීමට භාර වෙති. ඒ අනුව දළදාවහන්සේ විෂයෙහි ද මෙම උතුම් චාරිත්‍රය ආරම්භ විය.

ලක්දිව ඒ ඒ රජදරුවන් ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි අලුත් සහල් මංගල්‍යය පවත්වා පූජෝපහාර දැක්වීම සඳහා ඉඩකඩම් පමණක් නොව නිලකරුවන් ද පත් කොට පවරා දුන්හ. එසේ අතීතයේ දී දළදා මාළිගාවට වෙන් කොට පවරා දෙන ලද කුඹුරු ඉඩම්වල අස්වැන්න ගබඩා කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් හා ගම් මට්ටමින් අටු කොටු ද තැන් තැන්වල පිහිටුවා තැබූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදාවහන්සේ විෂයෙහි පූජා කළ කෙත් යාය හා ඉපැරැණි අටුව, ගුරුදෙණියෙහි ස්ථාපනය කොට තිබිණ.

අලුත් සහල් මංගල්‍යයට නියමිත මූලික කටයුතු ඇරඹෙන්නේ ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙස් අනුව, සුබ නැකැත් මුහුර්තීන් යොදා නැකැත් මොහොට්ටාල විසින් නැකැත් පත්‍රයක් සම්පාදනය කිරීමෙන් අනතුරුවය. මෙම නැකැත් පත්‍රයෙහි මූලික වශයෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ සිට, ශ්‍රී දළදා මාළිගාව පෙරටු කොට සතර දේවාලයන්හි පෙරහර පල්ලෙකැලේ අටුව කරා ගමන් කිරීම, දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් වී සහල් බෙදා දීම, පසු දා ගංගාරාම විහාරස්ථානයේ සිට පෙරහරින් ශ්‍රී දන්ත ධාතු මන්දිරය කරා විත් සුබ මුහුර්තියෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ ගොක් කොළින් සරසා සැකසූ සුවිශේෂී ධාන්‍යාගාරයක වී සහල් ගබඩා කිරීම හා අවසාන වශයෙන් වර්ෂයේ දුරුතු මස පසළොස්වක පොහොය දිනට යෙදෙන සුබ නැකැත් මුහුර්තියෙන් ඒ අලුත්සහල් සේරු අසුවකින් ආහාර සම්පාදනය කරවා, ව්‍යංජන තිස් දෙකක් හා කැවිලි පිළියෙළ කරවා සුබ නැකැත් වේලාවට දෛනික මුළුතැන් බුද්ධ පූජාව සමග හාල් සේරු අසූවක දානය පූජා කළ හැකි කිරිබඩ පාත්‍රය පිරෙන සේ දානය පිළියෙළ කර දළදා වහන්සේ විෂයෙහි පූජා කිරීම සිදුවේ.

අලුත් වී සහල් බෙදාදීමේ චාරිත්‍රයේ නැකැත් වට්ටෝරුවට අනුව පළමුව සිදු කරනුයේ, දුරුතු පුර පසළොස්වක පෝය දිනයට දින කීපයකට පෙර සුබ නැකතින් දියවඩන නිලමේතුමා, සතර දේවාලයේ බස්නායක නිලමේවරු, කාරිය කරවන කෝරාළ, ලේකම් මොහොට්ටාල, ආදී නිලකරුවන් හා දේවාලවල කපුවන් ද කැටුව පල්ලේකැලේ අටුව කරා පෙරහරින් ගමන් කිරීම ය. පෙරහර එහි ළඟා වන විට ගුරුදෙණියේ විදානේ හා මනන්නං ඇතුළු රාජකාරී කරුවන් පෙර ගමන් කොට බුලත් හුරුළු දී පිරිස පිළිගෙන අටුව කරා කැඳවාගෙන යනු ලැබේ.

වී සහල් බෙදා දිය යුතු ලැයිස්තු තුනක් ලේකම් මිටියට අඩංගු ය. පළමු ලේඛණය ආරම්භ වනුයේ ශ්‍රී දළදා මාළිගාව නමිනි. පළමු ලැයිස්තුවට විහාර දේවාල 91 ක් ද, දෙවන ලැයිස්තුවට 10 ක් ද, තෙවන ලැයිස්තුවට මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම, අනුනායක හිමිපාණන් වහන්සේලා තුන් නම හා එම විහාර දෙක ද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රමුඛ රාජකාරී කරුවන්ට ද දේවාලවලට ද වී සහල් බෙදාදීම සිදුවේ. ශ්‍රී දළදා මාළිගාව සතර දේවාලය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය හා ගංගාරාමය යන සිද්ධස්ථානවලට අනෙකුත් විහාර දේවාලවලට වඩා වැඩි ප්‍රමාණයක් වී සහල් වෙන්වන අතර, නො පැමිණි විහාර දේවාලවල වී සහල් සියල්ල ද ශ්‍රී දළදා මාළිගාවට හිමිවේ.

ශ්‍රී දළදා මාළිගාවේ හා සතර දේවාලයේ වී සහල් රැගෙන අලුත් සහල් පෙරහර බූවැලිකඩින් හැරී ගංගාරාම විහාරයට ගොස් එදින රාත්‍රීය එහි නතරව සිට පසු දින පාන්දර අලි, ඇතුන්, කොඩි, බෙර, දවුල්, තම්මැට්ටම්, හොරණෑ හා කවිකාර මඩුව සමඟ අලුත් සහල් පෙරහර බූවැලිකඩ පසු කොට දළදා මාළිගාවට ගෙවදී. ඉන් පසුව රැගෙන ආ අලුත් සහල් සුබ මොහොතින් ගබඩාවේ තැන්පත් කරත් ම හේවිසි මණ්ඩපය අසල මැද මිදුලෙහි පොල් ගෙඩියක් බිඳ හේවිසි වාදනය හා කවිකාර මඩුවේ දළදා ගුණ ගායනා සිදු කෙරෙනු දැකිය හැකිය.

දුරුතු පුර පසළොස්වක පෝයදිනට පෙර දින කාරියකරවන කෝරාළ විසින් විදානේවරුන් හා ආලත්ති අම්මාවරු ලවා අලුත් සහල් පිරිසුදු කොට තබා පෝයදින පෙරවරුවේ ලිප් බැඳ එය වටා කහ දියර ඉස අලුත්සහල් සේරු 80 කින් බුද්ධ පුජාව සූදානම් කරවනු ලැබේ. එම පූජාව සඳහා අවුල්පත් හා ව්‍යාංජන ද සූදානම් කර ගනිති.

උඩමාලේ පිරිත් කොටුවෙන් ඇතුළු වූ විට පිවිසෙන හඳුන් කුඩම තුළ හාල්සේරු අසුවකින් පිසූ ආහාර පිරවිය හැකි විශාල කිරිබඩ පාත්‍රය තැන්පත් කොට තබා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ද, තේවාවභාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් තේවාභාර ස්වාමීන්වහන්සේලා ද, දියවඩන නිලමේතුමා ඇතුළු නිලකරුවෝ ද මහත් ශ්‍රද්ධාවෙන් කිරිබඩ පාත්‍රය පිරෙන තෙක් දානය බෙදති. ව්‍යාංජන අවුල්පත් හා පලතුරු ආදිය පූජාසනය මත වෙනම තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දාන වස්තු ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජා කරති. මෙම පූජාව කෙරෙනුයේ දිනපතා අමුතු මුළුතැන් බුද්ධ පූජාවට අමතරව ය. සතර දේවාලය ඇතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාල වල ද මෙකී වේලාවේදීම අලුත් සහලින් පිසූ අහරින් බුද්ධ පුජා හා දේව පූජා සිදු කරති.

පෙර රජදරුවන් විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම මංගල සම්මත අලුත් සහල් මංගල්‍යය කෘෂිකර්මය ජීවන වෘත්තිය කරගත් පැරැණි ජන සමාජයේ සංස්කෘතිය සමඟ බැඳීවිත්, ලක්දිවට බුදු දහම වැඩම වීමත් සමඟ වඩාත් වර්ධනය වී කලට වැසි ලැබී, අස්වැන්න නිසි පරිදි ලැබී රටට, දැයට, දහමට සමෘද්ධිය සෞභාග්‍යය ලබාගනු වස් චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රමය පූජා විධි ක්‍රමයක් ලෙස අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන ඒම, කාගේත් පහන් සංවේගයට හේතු වේ.