Print this Article


ලක්දිව මෙහෙණි සසුන ඇරඹුණු වගයි

ලක්දිව මෙහෙණි සසුන ඇරඹුණු වගයි

වසරේ අවසාන පොහොය වන්නේ උඳුවප් පොහොය දිනය යි. දුමින්දාගමනය හෙවත් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ප්‍රධාන එකොළොස් නමක් වූ භික්ෂුණීන් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරවීම ඇතුළු තවත් ශාසනික සිද්ධීන් රැසක් අනුස්මරණය වන පෝය දිනයක් ලෙස මෙම පෝ දිනය හැඳින්විය හැකිය.

සංඝමිත්තා රහත් තෙරණියගේ නාමය ලක් ඉතිහාසයේ සටහන් වනුයේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා ය. ඒ ලක්දිව මෙහෙණි සස්න පිහිටුවීම සහ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම කරවීම යි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධයාගේ උතුම් සංකේතය ලෙසිනුත් ඓතිහාසික ඉපැරණි වෘක්ෂය ලෙසත්, ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වෙමින් අදටත් අනුරාධපුරයෙහි විරාජමානව වැඩ සිටිති.

සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව ද රැගෙන තාම‍්‍රලිප්ත වරායෙන් නැව් නැග්ගා ය. බුද්ධ වර්ෂ 237 වැන්නෙහි උඳුවප් මස පුර පෑලවිය දවසෙහි ගමන් අරඹා උඳුවප් මස පුර දහතුන් වන දින ලක්දිව දඹකොළ පටුනට ළඟා විය.

ලංකාවේ අනුලා දේවිය ප්‍රධාන පන්සියයක් කාන්තාවන් ඒ වන විට පැවිද්ද බලාපොරොත්තු-වෙන් දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද උපාසිකාරාමයක විසූහ. කාන්තාවන් පැවිදි කරවීම, උපසම්පදාව කරවීම භික්ෂූණින් වහන්සේ නමක් විසින් කළ යුතු හෙයින් සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරන ලදී.

දේවානම්පියතිස්ස රජතුමා සහ පිරිවරින් දඹකොළ පටුනට ගොස් කර වටක් පමණ වූ දියට බැස ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ තම සිරසින් පිළි ගත්හ. බෝධින් වහන්සේත්, සංඝමිත්තා තෙරණියත් මහ පෙරහරින් අනුරාධපුරය බලා වැඩමවා ගෙන එන ලදහ. ධර්මාශෝක රජතුමා විසින්, බෝධින් වහන්සේගේ ආරක්ෂාවට හා තේවාව සඳහා විශේෂ පිරිසක් ද ඒවා තිබිණි.

සම්භාවනීයත්වය රැකෙන පිණිස ද ආරක්ෂාව පිණිස ද, කළ යුතු සැරසිලි හා ඉදිකිරීම් සඳහා අවශ්‍ය කර්මාන්තකරුවෝ ද ඒ පැමිණි අය අතර වූහ. බෝධීන් වහන්සේ රෝපණය අනුරාධපුර මහමෙවුනා උයනේ දී සිදුවිය. එම බෝධින් වහන්සේගෙන් හටගත් ශාඛා අටක් අනුුරපුරයෙත්, ඒ අවටත්, උතුරේ දඹකොළ පටුනේ ද හා ඌවේ කතරගමෙහිත් රෝපණය කරන ලදී. නැවත එම බෝධින් වහන්සේලාගෙන් හටගත් ශාඛා තිස් දෙකක් දිවයිනේ දෙතිස් පලක රෝපණය විය.

සංඝමිත්තා තෙරණිය වැඩමවනතුරු අනුලා බිසව ප්‍රධාන කාන්තාවෝ පන්සියක් දෙනා උපාසිකාවන් ලෙස විශේෂ උපාසිකාරාමයක වාසය කළහ.

තෙරණිය පැමිණී පසු ඔවුහු පැවිදි උපසම්පදා කෙරුණි. නොබෝ කලකින් සියල්ලෝ ම අරහත්වයට පත්විය. එතැන් සිට ලක්දිව භික්ෂුණී සාසනය ආරම්භ වුණි.