UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙඬරුවේ අනෝමදස්සි අනු නා හිමි

වෙඬරුවේ අනෝමදස්සි අනු නා හිමි

පොල්ගස්ඕවිට, හෙරලියාවල, ශ්‍රී සුධර්මාරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනු නායක පදවිය හෙබවූ රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද ශාස්ත්‍රපති වෙඬරුවේ අනෝමදස්සී අනු නා හිමියන් අපවත් වී පුරා වසර විසි නවයක් සපිරේ.

1906 මැයි 10 දින තෙල්දෙණියට නුදුරු වෙඬරුව ගම්මානයේදී මද්දුම බණ්ඩාර නමින් උපත ලද උන්වහන්සේ 1923 ජනවාරි 28 දින වෙඬරුවේ සුමනතිස්ස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් විය. බොරලැස්ගමුව පරමධම්ම නිවෙස පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබාගත් අතර 1930 දී උපසම්පදාව ලැබීය. එම වසරේදීම කොළඹ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනය ලැබීය.

වසර 17 ක් පමණ හෝමාගම විද්‍යාවර්ධන විශ්ව විද්‍යාල පිරිවෙනේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කර එහිම පරිවේණාධිපති පදවියට පත්වෙමින් උන්වහන්සේ කරන ලද අධ්‍යාපන සේවාව ප්‍රශංසනීයහ. වසර 20 කට අධික කාලයක් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසින් කර ඇත්තේ ද මහඟු සේවාවකි. කොළඹ ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභිකයෙකු වශයෙන් ද සංස්කෘතික අමාත්‍යාංශයේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද, අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ විභාගාධිකාරී ලෙසින් වසර 12 ක කාලයක් සිදු කර ඇත්තේ අමිල සේවාවකි.

උන්වහන්සේ අතින් සිදු වූ ශාස්ත්‍රීය සේවාව ද ඉතා විශාලය. ග්‍රන්ථ සංස්කරණයෙන් හා පුවත්පත් හා සඟරාවලට උන්වහන්සේ අතින් ලිය වී ඇති හරබර ලිපි දහස් ගණනකි. අනෝමදස්සි නා හිමියෝ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් ද ප්‍රකටව වැඩ සිටියහ.

1940 දී විනිශ්චය සභිකයෙකු වශයෙන් කෝට්ටේ සංඝ සභාවට පත් වූ උන්වහන්සේ එම සංඝ සභාවේ අනුනායක පදවිය දක්වා වූ විවිධ තනතුරු දරමින් අති විශාල ශාසනික සේවාවක් සිදු කළහ.

කොළඹ කිරුළපන ප්‍රදේශයේ ආරාමයක වැඩ වාසය කළ ද තම ලොකු හාමුදුරුවන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව කුඩා කල සිට තමන්ට දන් පැන් සැපයූ අඩු පහසුකම්වලින් යුත් හෙරලියාවල ප්‍රදේශයේ දායක කාරකාදීන් අතරට පැමිණීමට උන්වහන්සේ ගත් තීරණය සදානුස්මරණීය වන්නේ ය. හෙරලියාවල ගම්වාසීන් වෙත මහත් වූ ලෙන්ගතු කමකින් හා ආදරයෙන් කටයුතු කළ නා හිමියෝ ශ්‍රී සුමනතිස්ස දහම් පාසල, ග්‍රාම සංවර්ධන සමිතිය, උදය ප්‍රජා මණ්ඩලය, කුළඟන සමිතිය බිහිකරමින් ඔවුන්ගේ අභිවෘද්ධියට ගනු ලැබූ වෙහෙසද කියා නිම කළ නොහැකි ය.

අනුනායක පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් හෙරලියාවල ගම්මානයට පැමිණි එවකට අගමැතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා වෙතින් උන්වහන්සේ ඉල්ලා සිටියේ අන් කිසිවක් නොව නිවාස නොමැති දායකයන් කිහිපදෙනෙකුට නව නිවාසයන් ය.

ගම්මානයට විදුලි ආලෝකය ලැබීමත්, උදාකළ ගම්මානය මගින් පවුල් 25 කට පමණ නව නිවාස ලැබීමත්, උදය ක්‍රීඩාංගණය බිහි වීමත් උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය මල්පල ගැන් වූ අවස්ථාවන් ය.

උන්වහන්සේගේ ගුණ සමරන පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් 25 දින පෙරවරු 9 ට හෙරලියාවල විහාරස්ථානයේ දී පැවැත්වේ. ශිෂ්‍ය වෙඬරුවේ විජිත හිමියන් සමග දායක පිරිස උන්වහන්සේට නිවන් සුව පතා නොවැම්බර් 26 දින හෙරලියාවල සුධර්මාරාමයේදී විසිපස් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පවත්වනු ලැබේ.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් 26 වන දා ඉරිදා පූර්ව භාග 09.51 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]