UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපත් පවුලක සාර්ථක අත්තිවාරම

යහපත් පවුලක සාර්ථක අත්තිවාරම

පරිත්‍යාගශීලී වීමට , කැපකිරීමට,අතහැරීමට,ප්‍රදානය කිරීමට, බිරිඳ සහ සැමියා එක හා සමානව ශක්තිසම්පන්න විය යුතුය. ,තමන්ගේ පැත්තෙන් අතහැරිමට අකැමැති ව ඉඳිමින් අනෙක් පුද්ගලයාගෙන් පමණක් එය බලාපොරොත්තු වීම සාධාරණ නැත. තමාගේ ආකාරයට අනෙකා ගොඩනැඟිය යුතු බවට විශ්වාස කිරීම සුදුසු ද ? එවැනි ගෙවල් යහපත් ස්ථාන බවට පත්කළ නොහැකිය. ගෙයක් ඇතුළත යහපත් ලෙස දියුණු වීමට අවශ්‍ය නම්,දරුවන් මව්පියන් වෙනුවෙන් කැපකිරීම් කළ යුතු ය.

මව්පියන් දරුවන් වෙනුවෙන් කැපකිරීම් කළ යුතු ය. එම අතහැරීම හෝ එම කැපකිරීම කළ නොහැකි නම්, එවැනි ස්ථානයන්හි කිසිදු දෙයක් රැස්වන්නේ නැත. අස්කළ විට රැස්වෙන බව මතක තබාගත යුතුයි. ළිඳ ඉස්ස ගමන් දින දෙකක් යන විට ළිඳ අලුත් වතුරෙන් පිරී යයි. ඉසීමට භාජනය නොකළ ළිඳක වතුර ප්‍රමාණය එලෙස ම රැඳී පවතී. අස් කළොත් රැස් වෙයි. කැපවීමක් කළහොත් කැපවීමක් ලැබෙයි. පරිත්‍යාගශීලි වුවහොත් පරිත්‍යාගයක් ලැබෙයි. දුන්නොත් ලැබෙයි. එම නිසා සමත්‍යාග විය යුතු බවට බුදු දහම පෙන්වා දෙයි.

දෙදෙනෙකු එකට ජීවත් වනවා නම්, දෙදෙනාම අතහැරීමට කැප විය යුතු ය. දෙදෙනාම එක සමානව පරිත්‍යාගශීලී වන තරමට එම පවුල ඉතාම යහපත් පවුලක් බවට පත්වෙයි. අම්මා පමණක් පවුල වෙනුවෙන් කැප විය යුතු බවට ප්‍රකාශ නො කළ යුතු ය . තාත්තාත් ඒ හා සමානව කැප විය යුතු ය . තාත්තා පමණක් පවුල වෙනුවෙන් කැප විය යුතු බවට ප්‍රකාශ නො කළ යුතු ය. අම්මාත් ඒ හා සමානව ශ්‍රමයෙන් හෝ කැප විය යුතු ය. මවුපියන් පමණක් සියල්ල ඉටුකරදෙනකම් දරුවන් බලා නොසිටිය යුතු ය. දරුවන් ද මවුපියන් වෙනුවෙන් කැප විය යුතුය. ගෙදරට යමක් රැගෙන ඒමට නොහැකි නම් , මවුපියන් රැගෙන එන දේ නාස්ති නොකර සිටීමවත් අඩුම වශයෙන් කළ යුතු ය. එම පරිත්‍යාගශීලී බව එම කැපකිරීම ගෙදරට අත්‍යවශ්‍ය යයි. පවුලක් වශයෙන් ක්‍රියාත්මක වන විට දෙපාර්ශ්වයේ ම ඥාතීන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් සඳහා දෙදෙනා ම පරිත්‍යාගශීලීව කැපවීම අවශ්‍ය වෙයි.

විවාහ වූ සැණින් සියලු සම්බන්ධකම් අතහැර ඔවුන් දෙදෙනා පමණක් ජීවත්වීම ප්‍රමාණවත් බවට ඇතැමුන් කල්පනා කරයි. විවාහයට පසු තමන්ගේ අම්මා තාත්තා අතහැර දමනවා යනු ඔහු හෝ ඇය ඊට පෙර විවාහයට හතුරුකම් කරමින් එය විනාශ කරගැනීමට කටයුතු කිරීමයි. තිස් අවුරුද්දක් එකට සිටි අම්මා තාත්තා විවාහ වුවාට පසු අමතක කරන තැනැත්තෙක් හෝ තැනැත්තියක් සිටිනවා නම්, ඔහු හෝ ඇය ඔවුනොවුන් අතහැර ඊළඟ තුන්වන තැනැත්තෙක් හෝ තැනැත්තියක් සොයා යාම එතරම් අපහසු කාරණාවක් නොවන බව මතක තබා ගත යුතු කාරණාවක්. තිබූ සම්බන්ධකම් කඩා බිඳ දමමින් අලුත් සම්බන්ධකම් ගොඩනඟාගත යුතු ය යන අදහස එතරම් සුදුසු නැත. අපේ සංස්කෘතිය ගමන් කරනු ලබන්නේ අම්මා තාත්තා සහොදර සහෝදරියන් සමඟයි. ඒවා ඇතුළත කෙලෙස් තිබුණ ද ඉතාම දැහැමිව එම සම්බන්ධකම් ඉදිරියට ගෙනයාමට අපට හැකියාව තිබිය යුතු ය. යහපත්ව එම සම්බන්ධකම් රැගෙන යාමට අප උත්සාහ කිරීම අවශ්‍ය වෙයි. සියල්ල රැකිමට නම්, ත්‍යාගශීලීව කැප විය යුතුය.

ප්‍රඥාවෙන් ,බුද්ධියෙන්, ඤාාණයෙන් ,ත්‍යාගවන්තකමෙන් එකිනෙකා අතර සමානකමක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යය. දැනුම සමානව දියුණු කර ගැනීමට උත්සාහ කළ යුතුයි . යම් යම් කාරණාවන් බිරිඳට නොතේරෙන බවට ප්‍රකාශ කරමින් සැමියා විසින් එම බිරිිඳ කොන් කරනවා නම්, සැමියාට යමක් නොතේරෙන බවට ප්‍රකාශ කරමින් බිරිඳ විසින් සැමියා කොන් කරනවා නම්, එම සැමියා හෝ බිරිිඳ දැනුම ලබාගන්නේ කොතැනින් ද ? එම සැමියාට තමාගේ බිරිඳ ළඟ හීනමානයක් ඇතිවීම නවතා ගන්නේ කෙසේ ද? බිරිඳක් එවැනි කොන්වීමකට ලක් වන විට තමා නූගත් බවට බිරිඳට ඇතිවන හීනමානය නවතා ගත යුත්තේ කෙසේ ද? තමා සමඟ එකට ජීවත් වන තැනැත්තා හෝ තැනැත්තිය දැනුම යන කාරණාව මත පහළට නොදැමිය යුතු බව මතක තබා ගත යුතු වැදගත් කාරණාවක් වෙයි. දරුවන් ද එසේ පහළට නොදැමිය යුතු ය. එකම ගෙදරක ඉපදුණ ද , දරුවන් එකිනෙකාගේ හැකියාවන් ,දක්ෂකම් වෙනස් වෙයි. බොහෝ මව්පියන් වැඩි ආදරයක්, වැඩි විශේෂත්වයක් දක්වන්නේ ඉගෙන ගත් දරුවන්ටයි. ඉගෙන ගැනීමට හැකියාවක් තිබෙන දරුවාත් ,ඉගෙන ගැනීමේ හැකියාව අඩු දරුවා දෙසත් එක සමානව බැලීම මව්පියන්ගේ වගකීමක්.

දරුවන් වර්ග කරමින් පුතා, දුව යනුවෙන් වෙනත් සැලකිලි දැක්වීම නුසුදුසු ය. ඉගෙන ගැනීමට හැකි දරුවා ඉගෙනීමට නොහැකි දරුවා යනුවෙන් වෙනස්කම් නොපෙන්වමින් අම්මා ප්‍රඥාවන්තව දරුවන් දෙස බැලිය යුතුය. සියල්ලම එකම ගෙදරක ඉපදෙන දරුවන් වුවත් ඔවුන්ගේ කර්ම ශක්තීන් වෙනස් විය හැකියි. එම නිසා දරුවන් කවදාවත් කොන් නොකළ යුතුයි. එක සමානව දරුවන් පිළිබඳ කල්පනා කළ යුතුයි. අම්මා තාත්තා ප්‍රඥාවන්තව, බුද්ධිමත්ව සිතන තරමට දරුවන් ද බුද්ධිමත්ව සිතන්න පොළඹවාගැනීම පහසුය. අප ප්‍රඥාවෙන් තොරව, පටු ලෙස ග්‍රෝතික ආකාරයට සිතනවා නම්, අපගේ දරුවන් කවදාවත් යහපත් දරුවන් කළ නොහැකිය. එම නිසා එම කාරණා ඔබගේ පවුල ඇතුළත සැමියා සහ බිරිඳ අතර ඉතාම යහපත් සම්බන්කමක් ගොඩනඟා ගැනීමටත් ,දරුවන් සහ මව්පියන් අතර ඉතාම යහපත් සම්බන්ධකම් ගොඩනැඟීමටත්, ඔවුනොවුන් විසින් ඉටුකළ යුතු යුතුකම්, වගකීමෙන් සාකච්ඡාවට භාජනය කළ යුතු ය.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් 26 වන දා ඉරිදා පූර්ව භාග 09.51 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]