Print this Article


ගලා යන ගඟක් සේනො නැවතී ගමන යන්නේ ය

ගලා යන ගඟක් සේනො නැවතී ගමන යන්නේ ය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතර කමටහන් භාවනාවක් දේශනා කොට වදාළා. ඒ , බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව සහ මරණසති භාවනාව යි.

මෙලෙස සතර කමටහන් භාවනාවක් අනු දැන වදාළේ ඒ භාවනාව ඉදිරියට දියුණු කිරීමෙන් ආනාපාන සතිය හෝ කවර හෝ භාවනාවක් සාර්ථකව ඉදිරියට ගෙන යන්නට හැකි නිසා ය. මරණය ගැන සිහිය පිහිටුවීම මරණ සති භාවනාව වන අතර මරණය ගැන නැවත නැවත සිහිපත් කිරීම මරණානුස්සතිය යි. තම ජීවිතයට ඇති ආශාව දුරුකර ගෙන සංසාර ගමන පිළිබඳ ඇති දුක පිළිබඳ ව මනා අවබෝධයක් ඇති කර ගන්න. නිවන් සම්පත් ඇති කර ගැනීමට බලවත් කැමැත්තකින් මරණසති භාවනාවෙන් ප්‍රයෝජනය ලබන්න.

ඔබ අර්ධ පර්යංකයෙන් හෝ බද්ධ පර්යංකයෙන් හෝ නැතහොත් පහසු ඉරියව්වකින් වාඩිවී තුනුරුවන් කෙරෙහි ගෞරවයෙන් වැඳ නමස්කාර කරන්න. ඉතිපි සෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථාවන් නැමැඳ , වම් අත්ල මත දකුණු අත්ල තබා ගන්න. දැන් “ජීවිතය අනියත යි ... මරණය නියතයි ...” යනුවෙන් මෙනෙහි කරන්න. මෙලෙස නිබඳව ම මෙනෙහි කර මරණානුස්සති භාවනාව වඩන්නට පුරුදු පුහුණු කළ යුතු යි. මරණ සතිය උපමා සහිතව මෙනෙහි කරන්නේ මෙසේ ය.

  • උදාවූ සූර්යයා නො නැවතී බැස යන්නා සේ උපන්නා වූ ජීවිතය ඒකාන්තයෙන් මරණයට යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි
  • උදාවූ චන්ද්‍රයා අස්ථයට යන්නා සේ උපන්නා වූ ජීවිතය මරණයෙන් අස්ථයට යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • අහසේ පාවෙන වළාකුළු රැස සුළඟින් විසිරී යන්නා සේ උපන්නා වූ ජීවිතය මරණ නම් වූ සුළඟින් විසිරී යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • වැසි සමයෙහි දිය පිරී ගිය කුඩා ඇළ, දොළ, නියං සමයේ සිඳී යන්නා සේ උපන්නා වූ ජීවිතය ඒකාන්තයෙන් මරණයෙන් සිඳී යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • මැටියෙන් කළ බඳුනක් මුගුරු පහරින් බිඳී යන්නා සේ උපන්නා වූ ජීවිතය මරණ මුගුරින් මරණයට යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • ගසෙහි ඉදුණු දිය ගෙඩියක් නටුවෙන් ගිලිහී වැටෙන්නා සේ, උපන්නා වූ ජීවිතය මරණයෙන් ගිලිහී වැටෙන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • අලුයම තණ අග රැඳී ගිය පිනි බිඳුව ඉර උදාවෙන් පතිත වන්නා සේ උපන්නා වූ ජීවිතය මරණ උදාවෙන් මරණයට යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • දිය මත හටගත් දිය බුබුළක් සැනකින් බිඳී යන්නා සේ උපන්නා වූ ජීවිතය මරණයෙන් ගිලිහී යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • දිය මත අඳින ලද දිය රේඛාව සැනකින් මැකී යන්නා සේ උපන්නා වූ ජීවිතය මරණයෙන් මැකී යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • උස් කඳු මුදුනකින් හටගත් ගංඟාවෝ නො නැවතී මුහුදට යන්නා සේ උපන්නා වූ ජීවිතය නොනැවතී ම මරණයට යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • දිව අගට ගලා ආ කෙළ පිඬ නො පමාව ම ඉවතට දමන්නා සේ උපන්නා වූ ජීවිතය නො පමාව ම මරණයට යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • රත් වූ කබලට දැමූ මස් පිඬ නො පමාව ම දැවී යන්නා සේ උපන්නා වූ ජීවිතය නොපමාව ම මරණයට යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • මරණයට කැප වූ ගව දෙන අඩියෙන් අඩිය ම දං ගෙඩියට සමීප වන්නා සේ උපන්නා වූ ජීවිතය පියවරෙන් පියවර මරණයට යන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • අහසේ දිස්වෙන විදුලි එළිය සැනෙකින් නැති වන්නා සේ සෑම දෙනාගේ ජීවිතය සැනකින් මරණයට යන්නේය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • මල් අතු කැකුළු මතු වන ගමනේ දී මුදුනින් පස් බිඳක් ගෙන නොනැගෙන්නා සේ මරණය ළඟාවේ. ඉපදීමත් සමඟ ම පසුපස ලුහු බඳිමින් ආවේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • දැන් දැන් මරන්නෙමි’යි සොයාගත් කඩුවක් ඇති වධයෙකු සේ මේ මරණය වනාහි සෑම විට ම මරණ පිණිස විදක්ෂණයෙන් සිටින්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • ජීවයෙහි පසු පස තැබූ වධකයෙකු සේ මේ මරණය ළඟා වේ. ජීවිතය පැහැර ගන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • ඒකාන්තයෙන් මා විසින් මරණයට යා යුතු යි. ඒ හෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි.
  • මාගේ ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය. ඒ හෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. යනුවෙන් මරණ සති භාවනාව මෙනෙහි කරන්න. ඒ මඟින් තමන්ට සිතේ ඉමහත් දියුණුවක් සැලසෙන්නට පුළුවනි.

මරණසති භාවනාව දියුණුවෙන් තම සති, සමාධි, ඥාන දියුණු තියුණු කරගෙන කටයුතු කරගන්නට උපමා උපමේ ය ගළපමින් තම ජීවිතයෙහි අස්ථීර බව මරණයේ ස්ථිර බව මෙනෙහි කිරීමට ශක්තියක් සිය සිතට ලැබේනම් එය තම දිවි මඟෙහි දියුණුවකි. සිහි , නුවණ හොඳින් උපදවාගෙන තමන් මරණය කරා යොමුවන බව හොඳට වටහාගෙන මරණානුස්සති භාවනාව දියුණු කර ගන්න. ඒ මඟින් තම තමාගේ චිත්ත සන්ථානය දියුණු වී පාරමී ගුණ සම්පත්තියත් දියුණුවෙන් බුදු සසුන රැකගෙන සම්මා සම්බුදු ශාසනයෙන් ලබා ගත යුතු ගුණ ධර්මයන් ඉටුකරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වන ශාන්ති ලක්ෂණ නිවන් සම්පත් පිණිස මරණ සති භාවනාව හේතු වාසනා වේවා!