Print this Article


කතරගම ඉල් පෙරහර 2 දා

කතරගම ඉල් පෙරහර 2 දා

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහ පෙරහර දෙසැම්බර් මස 2 දින රාත්‍රියේ පැවැත්වෙන බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා කීය. පෞරාණික චාරිත්‍ර පුදසිරිත්වලට මුල් තැනක් දෙමින් උඩරට, පහතරට, සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික සංස්කෘතිකාංග වලින්ද අලි ඇතුන්ගෙන් යුතුව අලංකාර ලෙස එම පෙරහර පැවැත්වීමට බස්නායක නිලමේතුමා කටයුතු යොදා ඇත.

පෙරහර ගමන් කරන මහවීදිය සුදුවැලි අතුරා ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කෙරේ. මෙදින රාත්‍රී මහා දේවාලයෙන් ඇරඹෙන පෙරහර ගණදේවාලය, කිරි විහාරය, ඉදිරි පිටින් ගමන් කර අෂ්ඨඵල බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කර මහා වාසල් දොරටුවෙන් මහාවීදියට පිවිසේ. එම වීදියේ ශ්‍රී අභිනවාරාමය ඉදිරිපිටින් ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුදසිරිත් ඉටුකර පෙරහර යළිත් මහවීදිය ඔස්සේ ගමන් කර මහාදේවාලයට ගෙවැදීමෙන් පෙරහර කටයුතු නිමාවේ.

පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පොලීසිය අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.