Print this Article


සම්බුදු ගුණමහිම: පිපෙන සියපත් ගණනට පිදෙන අටපිරිකර

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 07

සම්බුදු ගුණමහිම: පිපෙන සියපත් ගණනට පිදෙන අටපිරිකර

බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ දින හතකින් කළුරිය කරලා මාතෘ දිව්‍යරාජයා වශයෙන් දිව්‍ය ලෝකයෙහි උප්පත්තිය ලබනවා. පසුව ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ හදා වඩා පෝෂණය කරනවා. අවුරුදු දහසයේ දී විවාහ ජීවිතයට පත්වෙනවා.

අවුරුදු විසි නවයක් ගිහිගෙදර කල්ගෙවලා රාහුල කුමාරයන්ගේ උප්පත්තිය සිද්ධවන දවසේදී ම

‘රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ’

රාහුලයෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා කියන සංවේගය ඇතිවෙනවා.ඊට පෙර උන්වහන්සේ සතර පෙර නිමිති දකිනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක් සහ පසුව පැවිදි රුවක් දැකලා මේ ජීවිතය ගැන කල කිරෙනවා. එදවස රාත්‍රී නාට්‍යාංගනාවන්ගේ විකාර දැක කල කිරීමට පත්වෙනවා. තමන්වහන්සේ මධ්‍යම රාත්‍රියේ ඡන්න ඇමතියාත් කන්ථක අශ්වයාත් සමඟ මහාභිණිෂ්ක්‍රමණය කරනවා. එසේ මහාභිණිෂ්ක්‍රමණය කරමින් අනෝමා ගංතෙරදී කෙස්වැටිය කපලා මහණදම් පුරන්න අධිෂ්ඨාන කරනවා.

ඒ වේලාවේ තමයි පින්වතුනි, ඝටීකාර කියන බ්‍රහ්මරාජයා විසින් අටපිරිකර පූජා කරන්නේ කාටද? මහා බෝසතාණන් වහන්සේට. මේ අට පිරිකර ගැනත්, ඝටීකාර බ්‍රාහ්මණය ගැනත් වටිනා කරුණු දෙකක් මෙතන කියවෙනවා. එයත් අපි දැනගත යුතුමයි. ඝටීකාර බ්‍රහ්මයා කියන්නේ කවුරුත් නෙමෙයි, අපේ බෝසතාණන් වහන්සේ පාරමී පූරණ කාලයේ කාශ්‍යප සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ කාලයේ ජෝතිපාල මානවකයා වශයෙන් උපන්නා. ඒ කාලයේ හිටපු හොඳම කල්‍යාණ මිත්‍රයන් තමයි මේ ඝටීකාර කියන බ්‍රාහ්මණ තුමා. ඝටීකාර කියල කියන්නේ අනාගාමී උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ එකම, හොඳම යහළුවා තමයි ජෝතිපාල ඔහු කවදාවත් බුදුරජාණන් වහන්සේ දකින්ට. ඇසුරු කරන්නට කැමැත්තක් දැක්වූයේ නෑ. එතුමාගේ මඟ පෙන්වීම නිසාතමයි බුදු පියාණන් වහන්සේ දැක පැහැදී සසුන්ගත වෙන්නේ මේ ජෝතිපාල මානවකයා. නමුත් මේ ඝටීකාර තුමා අනාගාමීව සිටියත් මහණවෙන්න ලැබෙන්නෙ නෑ. හේතුව නම්, තමන්ගේ ඇස් නොපෙනෙන වයස්ගත අම්මා හිටියා ගෙදර. මේ අම්මාට ඇප උපස්ථාන කරන්න ඕන නිසා. නමුත් පසු කාලයක දී ඒ රහත් භාවය ලැබුවෙත් නෑ. එතනින් චුතවෙලා පඤ්චසුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබුවා. බ්‍රහ්ම ලෝකයේ උපත ලැබූ මේ ඝටීකාර කියන තමන්ගේ හොඳම යහළු මිත්‍රයා ඒ මහා බ්‍රහ්මයා තමයි මේ අටපිරිකර අරගෙන ආවේ.

මේ අටපිරිකර කොහෙන් ද ලැබුණෙ කියලත් අප බලන්න ඕනේ. මේ ලෝකය විනාශ වෙලා, මේ ලෝකය සකස්වෙනවා. මේ ලෝකය සකස්වෙන ගමනේ දී පින්වතුනි, මුලින් ම මහා විශාල වර්ෂාවක් වහිනවා. මේ වර්ෂාවෙන් ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණයෙන් ම ජලයෙන් පිරී ඉතිරී යනවා. එසේ ජලයෙන් පිරී ඉතිරී ගියාට පස්සේ මුලින් ම පස් පිඬක් මතුවෙන්ට පටන් ගන්නවා. මේ පස් පිඬ මතුවෙන්න මත්තෙන් එතන හට ගන්නවා නෙළුම් පඳුරක්. මේ නෙළුම් පඳුරේ පහළ වෙනවා නෙළුම් මල්. මේ නෙළුම් මල්වලට අනුව තමයි අටපිරිකර පහළ වන්නේ. ඉතින් පංචසුද්ධාවාසයේ සිටින බ්‍රහ්මයන් මේ ගැන අවධානයෙන් ඉන්නවා. ඒ පහළවෙන නෙළුම් පඳුරේ නෙළුම් කැකුළු කීයක් තියෙනවාද? එක නෙළුම් කැකුළක් නම් ඒ උතුමෝ හිතනවා මේ කාලයේ පහළවෙන්නෙ එක බුදුකෙනෙක් විතරයි. නෙළුම් දෙකක් නම් බුදුවරු දෙනමක් විතරයි. නෙළුම් තුනක් නම් බුදුවරු තුන්නමක්, නෙළුම් මල් හතරක් නම් බුදුවරු හතර නමක්, නෙළුම් මල් පහක් නම් බුදුවරු පස් නමක්. ඉතින් ඒ එක එක නෙළුම් මලට ආවේණිකව අට පිරිකර පහළ වෙනවා. ඉතින් මේ පහළවෙන අටපිරිකර සියල්ලක් මේ පංචශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට රැගෙන ගිහින් එහේ තියාගෙන ඒ සුදුසු කාලයේ දී මහාභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ ඒ සුදුසු කාලයේ දී ඒ බෝසතාණන් වහන්සේලාට පිළිගන්වනවා. එක බුදුකෙනෙක් පහළ වෙනවානම් එක කල්පයක් අප හඳුන්වන්නේ සාර කල්පය කියලා. බුදුවරු දෙනමක් පහළ වෙනවා නම් ඒ කල්පය අප හඳුන්වන්නේ මණ්ඩ කල්පය කියලා. බුදුවරු තුන්නමක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ වර කල්පය කියලා. බුදුවරු හතර නමක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ සාරමණ්ඩ කල්පය කියලා. බුදුවරු පස් නමක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ භද්‍ර කල්පය කියලා.

ඉතින් අප ඉන්නේ මහා භද්‍ර කල්පයේ. මීට පෙර කකුසඳ, කෝනාගමන, කාශ්‍යප කියන බුදු පියාණන් වහන්සේලා තුන්නමක් පහළ වෙලා පිරිනිවන් පෑවා. ඒ ශාසන අතුරුදහන් වුණා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පවත්නා කල්පයයි. මතු අනාගතයේ දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේට අටපිරිකර ලැබුණේ අන්න ඒ ක්‍රමයට තමයි. ඔය ක්‍රමයට තමයි පින්වතුනි, සෑම බෝසතාණන් වහන්සේ නමකට ම මහාභිනිෂ්ක්‍රමණය වේලාවේ අෂ්ඨපරිස්කාර ලැබෙන්නෙ.

ඉතින් බෝසතාණන් වහන්සේ අනුපිය අඹ වනයේ ටික දවසක් කල්ගෙවලා මේ පාත්තරයත් අරගෙන රජගහනුවරට පිණ්ඩපාතයේ වඩිනවා. උන්වහන්සේගේ දේහ සම්පත්තිය රනින් කළ පිළිමයක් හා සමානයි. දිළිසෙන ඉතාමත් ම සුපිරිසුදු දේහ සම්පත්තිය දකින දකින මිනිස්සු පුදුමයට පත්වෙලා හිතනවා, මේ දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් වෙන්න ඇති කියා. හිත හිතා කල්පනා කරනවා. ඒ වෙලාවේ දී මේ පණිවුඩය යනවා. කාටද? බිම්බිසාර මහා රජ්ජුරුවන්ට. බිම්බිසාර මහ රජ්ජුරුවොත් දැන් මේ පිණ්ඩපාතයේ වඩින පුදුමාකාර රූප ඇති ශාන්ත දාන්ත පැවතුම් ඇති මේ උතුමන් වහන්සේ පිටුපස්සේ යනවා. එසේ යන විට උන්වහන්සේ පිණ්ඩපාතය අරගෙන ගිහිල්ලා පාණ්ඩව පර්වත පාමුල ආහාර කෘත්‍ය අවසන් වෙන කොට බිම්බිසාර රජ්ජුරුවෝ අහනවා. ඔබ වහන්සේ කවුද?’ කියලා. ඉතින් විස්තර කියනවා මම මෙහෙම කෙනෙක්. මගේ නම සිද්ධාර්ථ, මම මේ බුදු බව පතාගෙන යන ගමනක්. පරම සත්‍ය හොයාගෙන යන ගමනක් කියලා කියනවා. ඔබ වහන්සේ වැනි පින්වන්ත කෙනෙක් ඇයි මෙහෙම යන්නෙ. එන්න මගේ රාජධානිය බෙදාගෙන පාලනය කරමු කියා. ඒ වෙලාවේ කියන්නේ මමත්, කිඹුල්වත් නුවර සුදොවුන් රජුන්ගේ පුතෙක්. රාජ්‍ය ඔටුන්න හිමිකාරයෙක්, නමුත් මම මේ සියල්ල අතහැර ආවේ. මේ සත්‍ය හොයාගෙන බුදු බව පතාගෙනයි කියලා. ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළාට පස්සේ බිම්බිසාර රජ්ජුරුවෝ ආරාධනා කළා. “උතුමන් වහන්ස, ඔබ වහන්සේ යම් දවසක ද බුදුවන්නේ, එසේ බුද්ධත්වයට පත්වී මුලින් ම මගේ රාජධානියට වඩින සේක්වා” යනුවෙන්.

පසළොස්වක, අව අටවක, අමාවක සහ පුර අටවක යන සතර පෝදා දිනයන්හි ම පළවන ලිපි මාලාවේ සත් වැනි කොටස මෙසේ පළවේ. මෙහි අටවන කොටස නොවැම්බර් 26 වන දා උඳුවප් පුර අටවක පෝදා පත්‍රයේ පළවේ.