Print this Article


දස පාරමිතා කතා 09: ලෝමහංස ජාතකය - උපේක්ෂා පාරමිතාව

දස පාරමිතා කතා 10:

ලෝමහංස ජාතකය

උපේක්ෂා පාරමිතාව

අප මහ බෝසතාණන් වහන්සේ මතු බුදුබව පතා පෙරුම් දම් පුරණය කරන කාලයේ සැප සම්පත් ඇති පොහොසත් පවුලක ඉපදුණා.

මේ කුමාරයාගේ නම ලෝමහංස. ඔහු ඉතාමත් හොඳින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. බොහෝ සැප සම්පත් වින්ඳත් මේ කුමාරයාට ඒ සැප ගැන කිසිදු ආශාවක් තිබුණේ නැහැ. ඒ සියලු දෙය තුළ ඇති අනිත්‍ය බව දුටුවා. වෙනස්වන බව, නැතිවන බව දුටුවා. ඒ වායේ අසාර බව මෙනෙහි කළා. ඒ නිසාම මේ ලෝමහංස කුමාරයා පැවිදි වෙන්න තීරණය කළා.

එහෙත් මේ කුමාරයාට නැවත මෙලෙසද සිතෙනවා. “මිනිස්සු මට මේ ජීවිතයේ දී සත්කාර සම්මාන කරන්න පුරුදුවෙලා ඉන්නේ. මම පැවිදි වුණත්, ඔවුන් මට පුද සත්කාර කිරීමට පැමිණෙනු ඇති. නැවතත් ඒක සැප විඳීමක්ම වෙනවා. ඒ නිසා මම පැවිදි නොවී අනුන්ගේ නින්දා, අපහාස දුක් කරදර, ඉවසාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනෑ” යැයි සිතා තමන් ඇඳ සිටි ඇඳුම පිටින් ම ගෙදරින් පිටත් වුණා.

ලෝමහංස කුමාරයා දැන් තැනින් තැන ඇවිදිනවා. එක තැනක එක රැයයි ඉන්නේ. රෑ දෙකක් එක තැන විසීම ප්‍රතික්ෂේප කරනවා. අනුන්ගේ නින්දා අපහාස ඉවසනවා. කෙනෙක් තමාට වැඩිපුර නින්දා අපහාස කරයි ද, නුරස්නා බස් කියයි ද, වැඩි කාලයක් එතැන රැඳී සිටින්න උත්සාහ කරනවා. එදා එක් ඇඳුමක් ඇඳගෙන නිවසෙන් පිටවුණාද තවමත් කුමාරයා ඇඳ සිටින්නේ ඒ ඇඳුම ම යි. එය දැන් දිරාපත් වෙලා එහෙත් අලුත් වස්ත්‍රයක් ගන්නේ නැහැ. කෙනෙක් දෙන වස්ත්‍රයක් පිළිගන්නෙත් නැහැ. වැරහැලි වු ඇඳුම ම ඇඳගෙන සිටිනවා.

දිනක් මේ කුමාරයා ඇවිද ගෙන යන අතරේ ඉතාමත් නො හික්මුණු නපුරු ළමයි සිටින ගමකට ළඟා වුණා. මේ තරුණයන්ට අසරණයන් ගැන කිසිදු අනුකම්පාවක් නැහැ. කරුණාවක් නෑ. ඒ නිසාම ඔවුන් දෙ වරක් නො සිතා ලෝමහංස කුමාරයාට ගල්මුල්වලින් දමා ගැසුවා. නොයෙක් වද හිංසා කළා. විහිළු තහළු කළා. බෝසතාණන් වහන්සේ මේ ගමට ආ දින සිට කරදරවලට මුහුණ දුන්නා. එතුමා සිතනවා “මට පෙරුම්දම් පුරන්න සුදුසුම ස්ථානයටයි මේ ඇවිත් ඉන්නේ. මම මේ නගරයේ ම ටික කලක් වාසය කරනවා” කියා සිතා සොහොන් බිම නවාතැන් ස්ථානය කර ගත්තා. සොහොනේදීත් එතුමා භාවනා කළා. නො හික්මුණු තරුණයන් එතැනටත් පැමිණ එතුමාට කරදර කළා. කන් සිදුරුවලට කෝටු ගැසුවා. තව තවත් විවිධ දේ කරමින් උන්වහන්සේට කරදර කළා. නමුත් බෝසත්තුමා නො සැලී සිටියා.

කාලයක් ගත වෙද්දී මෙතුමාගේ ඉවසීම ගැන මිනිසුන් පුදුම වුණා. මේ නම් මහානුභාවසම්පන්න කෙනෙක් කියා සිතුවා. ඉන්පසු මිනිසුන් එතුමාට නොයෙක් සත්කාර කළා. වන්දනාමාන කළා. බෝසත්තුමා ඒ ගැන සතුටක් පෙන්නුවෙත් නැහැ. දුක, සැප දෙකේදී ම මැදිහත්ව සිටියා. මේ පුරුද්ද නිසයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ පසුවත් ලැබුණ සැප දුක, නින්දා – ප්‍රශංසා සමව ඉවසා ගත්තේ.

සුඛ දුක්ඛෙ තුලා භූතො
යසෙසු අයසේසු ච
සබ්බත්ථ සමතෝ හොමි
එසා ම උපෙක්ඛා පාරමි

සැපතේදීත්, දුකෙහිත්, කීර්තියේදීත්, අපකීර්තියේදීත් තරාදියක් ලෙස සම සිත් ඇතිව විසුවෙමි. ඒ මගේ උපේක්ෂා පාරමිතාව යැයි උන්වහන්සේ වදාළා.

(සාමණේර අත්පොත ඇසුරිනි)