Print this Article


සිතට වුවමනා ලෙස හැසිරීමට ඉඩ දෙනවාද?

සිතට වුවමනා ලෙස හැසිරීමට ඉඩ දෙනවාද?

"කුඹුරුවලට ජලය ගෙනයන ගොවියෝ තමන් කැමැති ලෙස ඇළ වේලි කපා වතුර ගෙනයති. හී වඩුවෝ හී දඬු නවා තමන්ට රිසි ලෙස දුනු හී හදති. වඩුවෝ ලී දඬු නවා තමන්ට ඕනෑ විදිහට භාණ්ඩ තනති. එලෙස නුවණැත්තෝ තමන් දමනය කරගනිති."

සැරියුත් හිමියන් ඇසුරෙහි වයස අවුරුදු හතක් තරම් වූ කුඩා දරුවෙක් පැවිදි දිවියට පිවිසුණි. භික්ෂු ජීවිතයේ ඇවතුම් පැවතුම් ඉගැන්වීම සඳහා සැරියුත් හිමියෝ පිණ්ඩපාතයෙහි වඩින විට මේ සාමණෙර හිමියන් ද කැටුව යති. තමන් වහන්සේගේ පාත්‍රය පොඩි හාමුදුරුවන් අතට දී තමන් පසු පසින් වඩින ලෙස කියති.

දිනක් මෙසේ යන අතරමග දී පොඩි හාමුදුරුවෝ වතුර ගලා ගෙන යන ඇළක් දුටුවහ.

“හිමියනි, මේ කුමක්ද? එහි ඇති ප්‍රයෝජනය කුමක්ද?” යි සැරියුත් හිමියන්ගෙන් ඇසූහ.

“එය ඇළක්. තැනින් තැන රැස්වෙන ජලය මේ ඇළ දිගේ අර ඈත පෙනෙන කුඹුරුවලට ගෙනයනවා. ඒ වතුරෙන් ගොයම ප්‍රාණවත් වෙනවා.”

“හාමුදුරුවනේ, එ ඇළට සිතක් තිබෙනවාද?”

“නැත පොඩි නම. මේ ඇළට සිතක් නොමැතියි.”

සිතක් නැති ඇළෙන් තමන් කැමැති තැනට ජලය ගෙන ගොස් ප්‍රයෝජන ලබන සැටි පොඩි හාමුදුරුවෝ කල්පනා කළහ. දිගින් දිටගම සිතූහ. තවත් ඉදිරියට යනවිට දුනු ඊතල සාදන තැනක් උන්වහන්සේගේ නෙත ගැටුණි. “හිමියනි, මේ මිනිසුන් කුමක් කරනවාද?” සැරියුත් හිමියන්ගෙන් විමසූහ.

“යකඩ රත්කර, කැමැති ලෙස නමමින්, දිග හරිමින් ඔවුහු දුනු ඊතල සාදති”

“ඉතින් ඒ දුනු ඊතලවලට සිතක් තිබෙනවා ද?”

“නැත. ඒවාටද සිතක් නොමැතියි.”

සිතක් නැති යකඩ කැබැලි රත්කර සිහින්ව ප්‍රයෝජනවත් දුනු ඊතල සාදන සැටි ගැන පොඩි හාමුදුරුවෝ සිතන්නට වූහ. දිගින් දිගටම සිතූහ. තවත් ඉදිරියට යනවිට වඩු මඩුවක් ඇස ගැටුණි. ඉවත දමා තිබියදී කිසිවෙකුගේ නෙත් පැහැර නොගන්නා කපා හෙළූ මහා ගස් කඳන් ඉරා අලංකාර වූද, බොහෝ ප්‍රයෝජනවත් ගෘහ භාණ්ඩ සාදන වඩු මඩුව දෙස සාමණේර හිමියෝ මොහොතක් බලා සිටියහ.

“හිමියනි, මට මෙයද පහදා දෙන්න. මේ අලංකාර භාණ්ඩවලට හෝ සිතක් තිබෙනවාද?”

“නැත, ඒවාටද සිතක් නොමැතිය” සැරියුත් හිමියෝ පිළිතුරු දුන්හ.

දැන්, පොඩි හාමුදුරුවෝ සිත් පිත් නැති ලී දඬුවලින් මිනිසුන් ලස්සන නිමැවුම් කරන අයුරු ගැන සිතන්නට වූහ.

“සිත මොනතරම් බල සම්පන්නද? මොන තරම් අපූර්ව දේ සිතන්නට පුළුවන්ද? සිතක් නැති දෙයින් සිතක් ඇති මිනිසා කරන නිර්මාණ පුදුම සහගතය. ඒ කරන්නේ සිත මෙහෙයවීමෙනි. නිර්මාණශීලීව ක්‍රියාත්මක කිරීමෙනි. මේ තරම් බලසම්පන්න සිත දෙස බලන්නේ කොයි තරම් සුළු පිරිසක්ද? මේ ගමනට වඩා වටින්නේ මගේ සිත දෙස බැලීමයි.”

සාමණේර හිමියන්ට එලෙස සිතුණි.අතැති පාත්‍රය රාහුල හිමියන් අතට දී තමන්ටත් පිණ්ඩපාතය ගෙන එන මෙන් ඉල්ලා සිටිමින් උන්වහන්සේ ආපසු විහාරයට වඩින්නට සූදානම් වූහ.

ගුරුහිමියන් ඊට විරුද්ධ නොවූහ. සතා සර්පයාගෙන් කරදර විය හැකි බැවින් ආරක්ෂාකාරී වන ලෙසත්, තමන් වහන්සේ ආපසු වඩිනතුරු කුටියට වී දොරගුළු ලා ගෙන සිටින ලෙසත් පැවසූහ.

පොඩි හාමුදුරුවෝ දැන් ආපසු වඩිති. සිත ගැනම විමසති. ‘සිත හරියට අම්බලමක් වගෙයි. එහි විවිධ අය සිටිති. කෙනෙක් රෝගියෙකි. තව කෙනෙක් යාචකයෙකි. පසෙක සුනඛයෝ ද වෙති. පිරිසුදු අයෙකුට එහි වැඩි වේලාවක් සිටිය නොහැකි ය. සිතත් එවැනි ය. අම්බලමක් හා සමාන ය. මගේ සිතත් අම්බලමක් වැනි ය. අපිරිසුදු ය. නරක සිතිවිලි පිරී ඇත. හොඳ සිතිවිලි රඳවා ගැනීම අපහසු ය.”

මෙලෙස සිතමින් උන්වහන්සේ ගමන් කළහ. කුටියට පැමිණ දොර වසා ගත්හ. සිත ගැනම සිතමින් තිලකුණු මෙනෙහි කළහ. මේ දුටු සක් දෙව් රජ සිව්වරම් දෙවිවරුන්ලවා ඒ කුටිය වටා ආරක්ෂා කරවූහ. ඒ පොඩිහාමුදුරුවන්ගේ සිතේ සාමයට බාධා ගෙනදෙන වටපිටාව නිහඬ කරවීමට ය. උන්වහන්සේ අනාගාමී ඵලයට පත්වූහ.

දිවැසින් මේ දුටු බුදුරජාණන් වහන්සේ, මේ පොඩි හිමියෝ නිවන් ලබන්නට වාසනා ගුණ ඇති බව දැන සැරියුත් මහ රහතන් වහන්සේ පිණ්ඩපාතය ලබාගෙන කුටිය ළඟට පැමිණෙනවාත් සමඟම එතනට වැඩම කළහ. කුටියේ දොර සමීපයේ සිටි සැරියුත් හිමිගෙන් ප්‍රශ්න හතරක් විචාළහ. උන්වහන්සේ ඒ සියල්ලටම පිළිතුරු ලබා දුන්හ. කාමරයෙහි සිටි සාමණේරයන් වහන්සේ ඒ අසා සිටියහ. සියලු කෙලෙස් නසා රහත් ඵලයට පත්වූහ.

මේ සාමණේර චරිතය අපට පෙන්වා දෙන්නේ සිතේ ඇති වැදගත්කම පිළිබඳවයි.

අපගේ ජීවිතයේ වැදගත්ම දෙය සිතයි. එහෙත් බොහෝ දෙනකු ඉන් වැඩ ගන්නේ නැත. සිතට වුවමනා ලෙස ම හැසිරෙන්නට ඉඩ දී සමහරෙක් බලා සිටී. වටිනා සිත ගැන අප කල්පනා කළ යුතුය. සිත මනාව මෙහෙයවනවා නම් ජීවිතයට ගත හැකි ප්‍රයෝජන මහත් ය. ඉහත දැක් වූ උපමා අවස්ථා තුන පිළිබඳව අවධානය යොමු කරන්න. ජලය අවැසි තැනට ජලය ගෙන යන්නට, යකඩ කැබලිවලින් දුනු ඊතල සාදන්නට, කොට කැබලි ඉරා, කපා සුමට කොට අපූර්ව නිමැවුම් කරන්නට මිනිසා නිර්මාණශීලී වූ අයුරු ඔබට පැහැදිලි වනු ඇත. සියලු කර්මාන්ත, ව්‍යාපාර ආදී වූ එදිනෙදා සෑම කටයුත්තකටම නිර්මාණශීලී චින්තනය අත්‍යවශ්‍යය. එහෙත් සිතෙහි වැදගත්කම ගැන බොහෝ දෙනා සිතා නැත. නොසිතා කරන දෙයෙහි අසාර්ථක බවත්, වේදනාත්මක ප්‍රතිඵලත් අපි බොහෝවිට අත්දකිමු.

පණ්ඩිත සාමණේර භික්ෂුව සත් හැවිරිදි කුඩා භික්ෂුවක වුවද සිතේ ඇති හැකියාව තේරුම් ගත්හ. සිතිවිලිත්, ලෝකයන් අතර ඇති බැඳීම, ඇලීම, ගැටීම, තණ්හාව, උපාදාන දුරු කොට ප්‍රසන්න නික්ලේශී මනසක් ගොඩනඟා ගත්හ. මේ සිදුවීම මුල් කරගනිමින් බුදුරජාණන් වහන්සේ,

උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

යන ගාථා රත්නය දේශනා කළහ. කුඹුරුවලට ජලය ගෙනයන ගොවියෝ තමන් කැමැති ලෙස ඇල වේලි කපා වතුර ගෙනයති. හී වඩුවෝ හී දඬු නවා තමන්ට රිසි ලෙස දුනු හී හදති. වඩුවෝ ලී දඬු නවා තමන්ට ඕනෑ විදිහට භාණ්ඩ තනති. එලෙස නුවණැත්තෝ තමන් දමනය කරගනිති. නුවණැත්තා සිත නරක්වන්නට නොදී, අයහපත් වන්නට නොදී නිවැරැදි සිතිවිලි ඇතිකරගන්නා අයුරු එමගින් පැහැදිලි කළහ.

සිග්මන් ෆ්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයා මිනිස් සිත කොටස් දෙකකට බෙදා වෙන් කළේ ය. යටිසිත හා උඩුසිත ලෙසිනි. එනම් විඥානය සහ අවිඥානයයි. විඥානය උඩු සිතයි. අවිඥානය යටි සිතයි. යටිසිත උපමා කළේ සතා සිවුපාවුන් සිටින කැලෑවකටය. ඒ ඇයි? එහි විවිධ වර්ගයේ සතුන් වේ. අලි කොටි වලසුන් වැනි භයානක සතුන් සේ ම කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නැති අහිංසක සතුන් ද වේ. මිනිස් සිත ද එපරිදි ය. අනුන්ට වේදනාකාරී දුක් ලබාදෙන, අසහනය පීඩාව ඇති කරන සිතිවිලි මෙන් ම කරුණාව, මෛත්‍රිය, ආදරය වැනි සුවදායී සිතිවිලිවලින් ද යුතු ය. සිග්මන් ෆ්‍රොයිඩ් අපේ සිත වනාන්තරයකට සමාන කළේ මේ සිතිවිලිවල ස්වභාවය තේරුම් ගෙනයි.

නිතර සිත දෙස බලන්න, අයහපත් සිතිවිලි දුරු කරන්නට උත්සාහ කරන්න. ප්‍රසන්න සිතිවිලි ඇති කර ගන්න. ඒ හැඟීමෙන් ලොව දෙස බලන්න. නිර්මාණශීලී මිනිසෙක් වන්න. ජීවිතය සාර්ථක වන්නේ එවිට ය.