Print this Article


ලෝක සාමය තේමා කරගත් ලෝක බෞද්ධ සමුළුව ලෝකයට ඉතා වැදගත් පණිවුඩයක් ලබා දෙනවා - ලෝක බෞද්ධ සමුළුවේ සමාරම්භක උළෙලේ දී ජනපති කියයි

ලෝක සාමය තේමා කරගත් ලෝක බෞද්ධ සමුළුව

ලෝකයට ඉතා වැදගත් පණිවුඩයක් ලබා දෙනවා - ලෝක බෞද්ධ සමුළුවේ සමාරම්භක උළෙලේ දී ජනපති කියයි

ලෝකයේ විවිධ රටවල සිටින මහා නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ලෝක සාමය ඇති කිරීම සඳහා ගැටුම් පවතින රාජ්‍යයන්හිදී අදාළ පාර්ශ්වයන් හමුවීම, සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

බෞද්ධ දර්ශනය ලෝකය තුළ තව තවත් ප්‍රචලිත කිරීම කළ යුතු බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ සත්වන ලෝක බෞද්ධ සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගි වෙමිනි. එම උළෙල ඉකුත් (02) දා අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.

පළමුව දර්ශනීය පෙරහරකින් ලොව නන් දෙසින් වැඩම කළ මහා නාහිමිවරුන් ප්‍රධාන ශාලාවට වැඩම කරවු අතර අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියහ. ගිහි පිරිස පන්සිල්හි පිහිටුවා බුදුන් වැඳීමෙන් සහ සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව සමුළුවේ වැඩ කටයුතු ආරම්භ විය.

එහිදී සමරු මුද්දරයක්ද නිකුත් කළ අතර එහි ප්‍රථම දින මුද්‍රාව තැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදෙන ලදී. සමාරම්භක සැසිය අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලොව නන් දෙසින් පැමිණ සිටි බෞද්ධ නායකයින් වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කරන ලදී.

 

එම අවස්ථාව සඳහා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නාහිමි ඇතුළු නායක හිමිවරු, විදෙස් රටවලින් පැමිණී නායක හිමිවරු හා මහා සංඝරත්නය සහභාගි වූහ.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කී ය.සත්වන ලෝක බෞද්ධ සමුළුව මෙරටදී පවත්වමින් අපේ රටට ලබා දෙන ගරුත්වය පිළිබඳව මම පළමු කොටම අදාළ සියලු දෙනාටම ස්තුතිය පුදකරනවා. අපේ රටට බෞද්ධ දර්ශනය, බෞද්ධාගමික පසුබිම, බෞද්ධ සංස්කෘතිය පිළිබඳව අපට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වශයෙන් ලෝකයේ ඉමහත් ගෞරවයට ලක්වී පවතිනවා.බුදුන් වහන්සේගේ ධර්මය මුළු මහත් ලෝකය පුරා ප්‍රචලිත වීම ලෝක සාමය සඳහාත් සදාචාර සම්පන්න මිනිසුන් බිහිකිරීම සඳහාත් හේතුවී තිබෙනවා. බෞද්ධ දර්ශනය ලෝකයේ සිටින රාජ්‍ය පාලකයන්ට යහපත් රාජ්‍යයන් නිර්මාණය කිරීම සඳහා මග පෙන්වනවා.

අපගේ ඉතිහාසයේ එක් එක් කාල පරිච්ඡේද තුලදී බෞද්ධ දර්ශනයෙන් ගොඩනැගුණ ප්‍රබුද්ධ වූ සමාජය පිළිබඳව අප සතුටු වෙනවා.බුදුන් වහන්සේ වසර දෙදහස් හයසියයකට පෙර දේශනා කළ ධර්මය මේ වන විටත් ලෝකය පුරා ප්‍රචලිතව පවතිනවා. එමගින් ලෝකයේ ජනතාවට ශ්‍රේෂ්ඨ ගමන් මාර්ගයක් පෙන්වා දෙනවා.

වර්තමානයේ භෞතික වශයෙන් ලෝකය තුළ විශාල දියුණුවක් පවතිනවා. තාක්ෂණික වශයෙන් ඉහළ තලයකට පැමිණ තිබෙනවා. මෙම තාක්ෂණික දියුණුව භෞතික දියුණුව තුළ මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති වන්නේ නැහැ. ඒ නිසා සමාජය තුළ විවිධ පිරිහීම් ඇති වෙනවා. රටවල් තුළ අභ්‍යන්තරව ඇතිවන යුධ බිය ජාත්‍යන්තරව ඇති වන යුදමය තත්ත්වයන්, අසමගිකම්, ගැටුම් සියල්ල වෙනස් කරන්නට ලෝක සාමය තේමා කරගත් මෙම බෞද්ධ සමුළුවෙන් ඉතාම වැදගත් පණිවුඩයක් ලෝකයට දෙන බව අප සැම කෙනෙක්ම අවබෝධ කරගත යුතුයි. මේ වන විට මිනිසුන් ලබා ඇති දියුණුව පිළිබඳව අප කොතරම් කතා කළත් මිනිසුන්ගේ අධ්‍යාත්මික පිරිහීම තුළ සමාජයේ ඇතිවන නොසන්සුන්තාවයන් ගැටුම් විවිධාකාරයෙන් අප දකිනවා. එම අර්බුද සඳහා බෞද්ධ දර්ශනයෙන් පැහැදිලි විසඳුම් ලබා දෙනවා.

වර්තමානයේ විද්‍යාඥයින්, පර්යේෂකයින්, විශේෂඥයින් නවතම පර්යේෂණ මගින් සොයා ගන්නා බොහෝ දේ ගෞතම බුදුරජාණන් වහන්සේ අතීතයේ දේශනා කළා. ලෝකය තුළ කාලගුණික, දේශගුණික විපර්යාස අපට දක්නට ලැබෙනවා. ගෝලීය උණුසුමත් සමඟ ඇති වෙමින් තිබෙන ගැටලු දක්නට තිබෙනවා. මේ තතත්වයන් නිසා සත්වයාට ගහකොළට බරපතළ කරදර විඳින්නට සිදුවෙනවා සොබාදහමේ අගය පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළා.

නව තාක්ෂණයෙන් අප කොතෙක් දියුණුව ලැබුවත් බුදුන්වහන්සේ දේශනා කළ ඇතැම් කරුණු තාක්ෂණයට පැහැදිලි කරන්න බැහැ. බෞද්ධ දර්ශනය ලෝකය පුරා තව තවත් ප්‍රචලිත කළ යුතුයි. වර්තමානයේ ලෝක සාමයට තර්ජනයක් වී ඇති ගැටලුවලට බෞද්ධ දර්ශනය තුළ විසඳුම් තිබෙනවා.

මෙම බෞද්ධ සමුළුවේ නායකත්වය ගන්නා මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය ලෝක සාමය ඇති කිරීම සඳහා ගැටුම් පවතින රාජ්‍යයන්හිදී අදාළ පාර්ශ්වයන් හමුවීම සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව අප දන්නවා. බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි ආගමික දර්ශනය තුළ පෙන්වන සාමකාමී සමාජයෙන් ලොව පවතින යුද ගැටුම් අර්බුද මිනිසුන්ගේ තිබෙන නොසන්සුන්තාව සන්සුන් කරන්නට සාමය ඇති කරන්නට හැකිවෙනවා. ඒ නිසා මෙම බෞද්ධ සමුළුවෙන් දෙන පණිවුඩය කාලානුරූපව ඉතා වැදගත්කමක් ගන්නවා.

අපේ රට තුළ බෞද්ධ මෙන්ම හින්දු ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික පරිසරයක් දක්නට ලැබෙනවා. මේ සියල්ල අපට සාමකාමී ජාතියක් ලෙස ඉදිරියට යන්නට මග පෙන්වනවා. එම ආගමික දර්ශනයන් ලොව පවතින ගැටුම් නිරාකරණය සඳහා ගැටුම් වැළැක්වීම සඳහා අපට යොදා ගත හැකියි.

මෙම සමුළුව මෙරට පැවැත්වීම මම අගය කරනවා. මේ සඳහා විවිධ රටවලින් පැමිණි නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ පැමිණ සිටින විදේශීය නියෝජිතයින්ට අපගේ ගෞරවය මේ අවස්ථාවේ පුදකරනවා. මෙම සමුළුව රටේ සාමය ශක්තිමත් කිරීම සඳහා ශක්තියක් කර ගන්නවා. දීර්ඝ කාලයක් අපේ රටේ යුද්ධයක් පැවැතියා. එවැනි වාතාවරණයකදී මෙම බෞද්ධ සමුළුවෙන් දෙන පණිවුඩද සමාජය යහපත් කරන්න, සුව පත් කරන්න හේතුවෙනවා.

අපට රටක් ලෙස සියලු අංශවල ශක්තීන් වර්ධනය කරන්න. අධ්‍යාත්මික සමාජයක් ගොඩ නගන්න, බෞද්ධ දර්ශනයෙන් දෙන පණිවුඩය කරනු ලබන මග පෙන්වීම විශාල ශක්තියක්, බෞද්ධාගමික කටයුතු අප රටේ මෙන්ම ලෝකය තුළ ප්‍රචාරය කරමින් තව තවත් ප්‍රචලිත කරමු. අපේ වගකීම් සහ යුතුකම් ඉටුකරමු.

මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වනවා. මේ සමුළුව සංවිධානය කිරීම සඳහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, අග්‍රාමාත්‍යතුමා, නියෝජ්‍ය කතානායකතුමා, බුද්ධ ශාසන ඇමතිතුමා, රාජ්‍ය ආයතන ගණනාවක් විවිධාකාරයෙන් කටයුතු කළා. ඒ පිළිබඳව මා ස්තුතිය පුදකරනවා. මෙම බෞද්ධ සමුළුව පැවැත්වීමෙන් ජාතිකව මෙන්ම අන්තර්ජාතිකවද බලාපොරොත්තුවන යහපත් ලොවක් අප ඇති කරමු.

බෞද්ධ සමුළුවේ සභාපති මොන්ගෝලියා බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන ලාමා වන කම්බා ලාමා ලබ්ජු චොයිජා ම්ටස් දෙම්බරෙල් තුමා

ලෝක සත්වයා සහ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් අප කටයුතු කරනවා. ඒ සඳහා කැප වන පිරිස් තමයි මෙම සමුළුව සඳහා රැස්වෙලා සිටින්නෙ.මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටට පත්වනවා. මෙම සම්මේලනය ඉතා වැදගත් අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන් යැයි කීය.