Print this Article


පහන් සිතක කවි

බුදු හාමුදුරුවනේ

දළ රළු කළු ගලින් ලෝකය හතර කොනේ
දන මන නෙතු බඳින රූසිරු පිළිම තැනේ
සිත් පිත් නැති ගලට බුදු සිරි ඇතුළු වුණේ
අදිටන් බලයට ද බුදුහාමුදුරු වනේ

කව් සුවහසක් ගෙන දිනකට මහිමි ගුණේ
වැනුමුත් කපක් නිමවනු බැරි බව ම දැනේ
ගල් කුලකින් සොඳුරු බුදු සිරි පහළ වුණේ
ආශිර්වාදය ද බුදු හාමුදුරු වනේ


දැහැමින් උගත් විට ඇත තිසරණ සරණ

අම්මට තාත්තට සැමදා කන් දෙන්න
කිසිවිට ඒ නෙතට කඳුළැලි නොගෙ නෙන්න
සැමවිට ගුරු දෙගුරු පෙන්වන මඟ යන්න
පිහිටට ඔබේ ළඟ වනු ඇත බුදු සරණ

හරසුන් බොළඳ සරුවා පිත්තල ගොන්න
පෙනුමෙන් යසයි ඇතුළෙන් බොල් දැනගන්න
ගැඹුරින් ලැබෙන යහපත් දේ අරගන්න
දැහැමින් උගත් විට ඇත තිසරණ සරණ


මට ආසයි

අරහං බුදු ගුණය
සිහි කරමින් පින ලබන්න
වන්දනා කොට
සැප ලබන්න
මට ආසයි මහණ වෙන්න

වෙහෙරක් ළඟ
බවුන් වඩන්නට
භව දුක ගැන
සිහි කරන්න
වතා වත් කොට
පින් පෙත් ලබන්න
රස බණ කතාවක්
කියලා
උවැසි පිරිස
සනසවන්න
මට ආසයි මහණ වෙන්න


නිදුකාණෙනි

අවුරුදු හයක් අපමණ දුක් ගැහැට මැද
සම්බුදු පදවි ලැබ දස මරසෙන් පරද
මෙම රුදු සසර කතරින් සත මුදන ලද
අප බුදු පියාණන් දෙසු සදහම් නොමද

දවසේ වැඩි කොටස පරහිත සුව පිණිසයි
සුවසේ නොසැතපුනේ දුක් ගිනි සිඳලන්නයි
සමසේ සැම වෙතම පැතුරුවෙ මෙත් ගුණයයි
නිසිසේ අම නිවන් මඟ හිමි හෙළි කෙරුවයි


මිරිගුව

මසැසට පෙනේ දිය, ඇත්තක් ලෙසට දුරින්
ලොබ වී එයට, දිව යති දිය බොන විලසින්
‘මසැසට’ පෙනුන දිය, ‘මායාවකිය’ ඉතින්
‘නොදියුණු මනස’ මායාවන් මවයි නිතින්

කෙදින ද මේ ගමන, දුවලා නිම වන්නේ
උන් මං මුලා වී, සසරෙහි දිව යන්නේ
ආසාවට ලොබව, කම් සැප විඳිමින්නේ
උන් භවයෙහි සරති, නිති පැන් සොය මින්නේ


දුවේ පුතේ මේ අහන්න

පාට පාට සමනළයන් මල් අතරේ ගැවසුණාට
ඇල්ලුවොතින් නො හැකි වේවි මලින් මලට පියාඹන්ට
එපා එපා දුවේ පුතේ උන් අල්ලා පව් පුරන්ට
වඳින්න යනව ද සිරිපා හෙමිහිට උන්ගෙන් අහන්ට

කළ කළ දේ පල පල දේ එය යි දහම අප දන්නා
බුදු සමිඳුන් එය මැනැවින් ලෝකෙට පෙන්වා දුන්නා
සතර අපායට නොගිහින් දිවිය ලෝක හය පෙන්නා
නිවන් මඟට යන මාවත නිරතුරු පහදා දුන්නා