Print this Article


බුදුපිළිමයේ උපත - 83:  බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ වදාළ සේක

බුදුපිළිමයේ උපත - 83:

බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ වදාළ සේක

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ස්තූප සෑදීමෙන් පිදිය යුතු බුදුරජාණන් වහන්සේ,පසේ බුදුරජාණන් වහන්සේ, රහතුන් වහන්සේලා සහ සක්විති රජ යන ආදී කරුණු ඉතා විස්තර ලෙසින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළ සේක. මෙයින් පසුව භාග්‍යවතුන් වහන්සේ ද පිරිනිවන් පානා බව සිතී ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ සිතට ඉතා විශාල කම්පනයක් ඇති වූයේය. මේ පිළිබඳ මහාපරිනිබ්බාන සූත්‍රයෙහි දීර්ඝ වශයෙන් සඳහන් වේ. බෞද්ධ සාහිත්‍යගත තොරතුරු අනුව “අනේ මම සේඛයෙක් වෙමි. කළ යුතු කිස ඉතිරිය. මට අනුකම්පා දක්වන ශාස්තෘන් වහන්සේගේ පිරිනිවන සිදුවෙයි. කියා හඬමින් සිටි අයුරු දැක්වෙන සූත්‍ර පාඨයෙන් ඒ බව පැහැදිලි වේ.


අසිරිමත් බුදු සිරිත සිහිපත් කරවන ගන්ධාර මූර්තියකි

මහා පරිනිබ්බාන සූත්‍රයෙහි ආනන්ද හිමියන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ගැන විමසීමේදී සිදුවූ එම සිදුවීම මෙසේ සඳහන් වී ඇත.

“භාග්‍යවතුන් වහන්සේ වෙනත් භික්ෂුවක් කැඳවා, එන්න ගිහින් ශාස්තෘන්වහන්සේ ඔබ කැඳවන සේක කියා ආනන්දට කියන්න යැයි පැවසූ සේක. එම භික්ෂුව එලෙස දැන්වූ විට ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ වැඳ එකත්පස්ව හිඳ ගත්තෝය. එකත්පස්ව සිටි ආනන්ද හාමුදුරුවන් අමතා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ඇති ආනන්ද දුක්වෙන්න එපා! වැළපෙන්න එපා සියලුම පි‍්‍රයමනාප දෙයින් ඉවත්වීම, වෙන්වීම, වෙනස්වීම මා මුලින්ම කියා තිබෙනවා නොවේද? උපන් ඇතිවුණු, සැකසුණු ,බිදෙන සුළු යමක් වේද ඒ දෙය තථාගතයාණන්ගේ ශරීරය වුවද එය නොබිඳේවායි පැතුවද එය කෙසේනම් සිදුවිය හැකිද? ආනන්ද, ඔබ දිගු කලක් හිතවත්ව නොවෙනස්ව අපමණ මෛත්‍රී සහගත කායික, වාචසික, මානසික ක්‍රියාවන්ගෙන් තථාගතයාණන්ට උපස්ථාන කර ඇත. ඔබ පින් කළ කෙනෙක්. ආනන්ද උත්සාහ ගන්න. ඉක්මනින් රහත් බවට පත්වෙනවා ඇති.

දීඝ නිකාය – මහාපරිනිබ්බාන සුත්ත ( පි. 226)

බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගේ උපස්ථායක තනතුරට අතීතයේ පත් කළ අන්දම මතක් කිරීම

බුදුරජාණන් වහන්සේගේ මුල් විසි වසෙහි දී නාග සමාල නාගිත, උපවාන, සුනක්ඛත්ත, සාගත, රාධ, මෙඝිය තෙරහුද චුන්ද සාමණේරද යන මොවුන් වහන්සේ කලින් කල විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූහ. අනඳ තෙරණුවෝද නොයෙක්විට උවටැන් කළහ. එහෙත් මේ කිසිවෙක් තමාගේ උපස්ථායක භාවය අතර කඩ නොකොට දිගටම රැකගත හැකි නොවීය. එබැවින් විසි වන වසින් පසු දිනෙක භාග්‍යවතුන් වහන්සේ ගඳකිළි පිරිවණෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ තමන් වහන්සේට නිත්‍ය උපස්ථායකයෙකු පත් කළ යුතු බව දැන්වූ සේක.

සැරියුත් මුගලන් ආදී පිළිවෙලින් සියලු ශ්‍රාවකයන් තම තමා උපස්ථායක වනු කැමැති බව පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ සේක. මේ වෙලාවෙහි තුෂ්ණිම්භූතව හුන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ දැක ඇවැත්නි, ඔබත් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක තනතුර ඉල්ලුව මැනැවයි කීහ. එවිට ඉල්ලා ගත් තනතුර මා හැඟි නොවේ. ශාස්තෘන් වහන්සේ කැමතිනම් තමන් වහන්සේම වදාරණවා ඇතැයි ආනන්ද හිමියෝ කීය. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි, ආනන්ද තෙම අනුන් විසින් මෙහෙයවිය යුතු නොවේ. තෙමේම දැන් මට උපස්ථාන කරන්නේයැයි වදාළ සේක. භික්ෂූහු ඇවැත්නි,ආනන්දයෙනි නැගිට උපස්ථායක තනතුර බාරගත මැනවැයි කීහ. අනඳ තෙරණුවෝද නැගිට පොරොන්දු අටක් පිට භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක බව බාරගත්තේ ය.

ඒ පොරොන්දු අට මෙසේය.

ප්‍රතික්ෂේප සතර

භාග්‍යවතුන් වහන්සේ ලත් ප්‍රණීත සිවුරු තමාට (අනඳ තෙරුන්ට) නොදිය යුතුය.

භාග්‍යවතුන් වහන්සේ ලද ප්‍රණීත පිණ්ඩපාතය තමාට නොදිය යුතුය.

භාග්‍යවතුන් වහන්සේ හා එක ගන්ධ කුටියෙහි තමාට වසන්නට නොදිය යුතුය.

භාග්‍යවතුන් වහන්සේ නිමන්ත්‍රණ පිළිගෙන තමා හා නොවැඩිය යුතුය.

ආයාචනා සතර

තමා පිළිගත් නිමන්ත්‍රණයට භාග්‍යවතුන් වහන්සේත් වැඩිය යුතුය.

භාග්‍යවතුන් වහන්සේ දැකීමට පිටින් යම් කෙනෙකු ආ කෙනෙහිම තමන් වහන්සේ වෙත ඔවුන් කැඳවා ගෙනෙන්නට අවසර තිබිය යුතුය.

තමාට සැකයක් ඇති වු කොයිම විටෙක වුවත් භාග්‍යවතුන් වහන්සේ වෙත එන්නට අවසර තිබිය යුතුය.

තමා නැති තැන දෙසූ සෑම ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් තමාට වදාළ යුතුය යන මේවාය.

එතැන් පටන් ආනන්ද ස්ථවිර තෙමේ ශීත, උෂ්ණ යන දෙවදෑරුම් ජලය පිළියෙල කිරීමෙන්ද හීන මධ්‍යම ලොකුයැයි තුන් වැදෑරුම් දැහැටි දීමෙන්, පා මිරිකීමෙන්, හා පිට මිරිකීමෙන්ද ගඳකිළි පිරිවෙණ ඇමදීමෙන් දැයි මේ ආදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමෙහි යෙදුණේය. මේ වෙලාවෙහි මේනම් දෑ භාග්‍යවතුන් වහන්සේට ලැබිය යුතුයැයි පරීක්ෂාවෙන් දිවා කාලයෙහි උන්වහන්සේගේ සමීපයෙහිම හැසිරේ. රාත්‍රියෙහි දඬුවැට පමණක් ගෙන නව වරක් ගඳකිලි පිරිවෙන වටේ ඇවිදියි. මෙසේ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ හදිසියේ කථා කළොත් පිළිවදන දෙනු සඳහා නින්දට නො වැටී සිහියෙන් හිඳිනු පිණිසය. (ශාක්‍යමුණින්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය –අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ පි. 191-92 (1986)

බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගේ ගුණ මෙසේ වදාරති

මේ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙසේ සඳහන් වේ. “අනතුරුව භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතු සේක. භික්ෂූණී, මට ආනන්ද උපස්ථායකව සිටිනවා මෙන් පෙර සිටි අර්හත් සම්මා සම්බුදුවරුන්ට ද එබඳුම උතුම් උපස්ථායකයෝ සිටියහ. අනාගතයේදී සිටින්නාවූ අර්හත් සම්මා සම්බුදුවරුන්ටද එබඳුම උතුම් උපස්ථායකයෝ වන්නෝය. භික්ෂූණී, ආනන්ද නුවණැත්තෙකි. බුද්ධිමතෙකි. මේ භික්ෂූන්ට තථාගතයාණන් බැහැදකින්නට සුදුසු කාලයයි. මේ භික්ෂූන්ට, උපාසක , උපාසිකාවන්ට,රාජරාජ මහාමාත්‍යාදීන්ට තීර්ථකයින්ට, තීර්තක ශ්‍රාවකයින්ට, තථාගතයාණන් වහන්සේ බැහැදකින්නට සුදුසු කාලයැයි ආනන්ද දන්නේය.

භික්ෂූණි, ආනන්ද තුළ පුදුම සහගත අපූරු ගුණ සතරක් ඇත. ඒ ගුණ සතර මොනවාද? ආනන්ද බැහැ දැකීමට භික්ෂු පිරිසක් ආවොත් ආනන්ද දැකීමෙන්ම ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ආනන්ද ධර්මදේශනා කළොත් එම දේශනාවෙන් ම ඒ පිරිස සතුටට පත්වෙති.

ආනන්ද දැකීමත් ආනන්දගෙන් බණ ඇසීමත් ඇතිවෙන්නේ නෑ. භික්ෂුණී පිරිස්, උපාසක, උපාසිකා පිරිස් පැමිණියත් එසේමය. ඒ වේලාවට ආනන්ද නිහඬව සිටී. මෙබඳු පුදුම සහගත අපූරු ගුණ සතරක් ආනන්ද තුළ ඇත.

“පුදුම සහගත ගුණසතර සක්විති රජු කෙරෙහිද වේ. ඒ ගුණ සතර කුමක්ද? ක්ෂත්‍රිය පිරිසක් සක්විති රජු බැහැ දැකීමට පැමිණියහොත් රජු බැහැදැකීමෙන් ම ඒ පිරිස සතුටට පත්වෙති. සක්විති රජු යමක් කිව්වොත් ඒ කී දෙයින්ම සතුටට පත් වේ. දැක්මත් ඇසීමත් ඇතිවන්නේ නැත. එවිට සක්විති රජු නිහඬව සිටී. බ්‍රාහ්මණ පිරිස්, ගෘහපති පිරිස්, ශ්‍රමණ, පිරිස් පැමිණියත් එසේමය, ආනන්ද බැහැදැකීමට එන පිරිස් ද එසේමය. (මහා පරිනිබ්බාන සූත්‍රය – සිංහල පරිවර්තනය – සනත් නානායක්කාර, පි. 82 ,(1999)

ආනන්ද හිමියෝ නිසළතාවයෙන් මෙන්ම ඉතා දුක්බර ස්වරූපයෙන් මේ මොහොතේදී දරාගත නොහැකි ශෝකයකින් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කළහ.


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 82: ස්තූපවලින් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි