Print this Article


සුගති දුගති ලොව ඉපදෙන බිරින්දෑවරු

සුගති දුගති ලොව ඉපදෙන බිරින්දෑවරු

කුඩා දරුවන්ගේ සිත්වල අකුසල් හට ගන්නේ ඉතාමත් අඩුවෙන්. එහෙත් වයසින් මෝරන විට ඒ සිත් අකුසලයට ම බරවෙන ස්වභාවයක් තිබෙනවා. පොඩි වැරැද්දටත් සිත අකුසලයේ පිහිටුවාගෙන, ඊර්ෂ්‍යා කරමින්, නපුරුකමින්, පළිගන්න ස්වභාවයක් මේ හිත්වල ඇතිවෙනවා. වයසින් තව තවත් මෝරද්දී සිත කිළිටි වන දේවලින් පිරී ගොස් බොහෝ දෙනෙකුට ඉතිරි වන්නේ පිරිහුණු සිතක් සමඟ රැස් වූ අකුසල් ගොඩක් පමණයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රයාගෙන්. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණේ නැතිනම්, ඉපදීමටත්, මරණයටත් ගොදුරු වෙමින් දිගින් දිගටම මේ සංසාර ගමනේ දුක් විඳිමින් ගමන් කරන්නට අපට සිදුවෙනවා. ඒ නිසා, මේ උතුම් අවස්ථාව මඟහැර නො ගෙන ජීවිත අවබෝධය කරා යෑමට උත්සාහ කළ යුතු වෙනවා.

මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් සුවපත් කර ගැනීම පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ “සප්ත භාර්යා සූත්‍රය” (බිරින්දෑවරු හත්දෙනා පිළිබඳ වදාළ දෙසුම) අංගුත්තර නිකායේ හත්වැනි නිපාතයට අයත් දේශනාවක්.

ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. එදින උන්වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයාගේ මාළිගයේ දානයක් සඳහා වැඩම කර සිටියා. ඒ මාළිගය පිටුපසින්් මහා කෝලාහලයක් ඇසුණා. “පින්වත් ගෘහපතිය, මොකක්ද? මේ නිවස පිටුපසින් ඇසෙන මහා ඝෝෂාව. කවුද මේ ලෙස කෝලාහල කරන්නේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ සිටුතුමාගෙන් ඇසුවා. අනාථපිණ්ඩික සිටුතුමා කියනවා “ස්වාමිනි, ඒ අපේ ලේලිය යි. ඇය මාමණ්ඩියට, නැන්දණියට, ස්වාමියාට ගරු කරන්නේ නැහැ. බොහෝ ම කෝප වන තැනැත්තියක්. භාග්‍යවතුන් වහන්සේට ගරු කිරීමක්, සත්කාර සම්මාන කිරීමක් නැහැ. ස්වාමිනි, ඒ ලේලියගේ නම “සුජාතා”..

එවිට බුදුරජාණන් වහන්සේ සුජාතාවට කතා කළා. ඇය පැමිණ පැත්තකින් වාඩි වුණා. “පින්වත් සුජාතා, මේ ලෝකයේ බිරින්දෑවරුන් සත් දෙනෙකු සිටිනවා. ඒ වධක භාර්යාව (වදක බිරිය), චෝර භාර්යාව (සොර බිරිය), ආර්ය භාර්යාව (ළමාතැනි වැනි බිරිය), මාතෘ භාර්යාව (අම්මා වැනි බිරිය), භගිනි භාර්යාව (සහෝදරිය වැනි බිරිය), සකී භාර්යාව (යෙහෙළිය වැනි බිරිය), සහ දාසි භාර්යාව (මෙහෙකාරිය වැනි බිරිය) යනුවෙන්.

සුජාතා මේ භාර්යාවන්ගෙන් ඔබ අයිති මොන බිරියට දැයි බුදුරජාණන් වහන්ස් සුජාතාගෙන් විමසුවා. සුජාතා කියනවා “ස්වාමිනි, ඔය කෙටියෙන් වදාළ කාරණය මට විස්තර වශයෙන් කියා දෙන සේක්වා’ කියා. ඒ වෙලාවේ දී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළා.

වධක භාර්යාව –මෙවැනි බිරින්දෑවරු සෑම විටම ඉන්නේ නපුරු සිතින්. ස්වාමියාට උදව් කිරීමේ අදහසක් නැහැ. අයහපතක් කරන්න තමයි අදහස. වෙනත් පිරිමින් ගැන සිතමින් තමන්ගේ ස්වාමියා ඉක්මවා යනවා. ස්වාමියා උපයන මුදල් නාස්ති කරමින් ස්වාමියා තලාපෙළා කථා කරනවා. ඒ වධක භාර්යාව මරණින් මත්තේ දුගතියේ උපදිනවා.

චෝර භාර්යාව - ඇයගේ ස්වභාවය මේ වගෙයි. ‘යං ඉත්ථියා වින්දති සාමිකෝ ධනං’ චෝර භාර්යාව ස්වාමියා උපයන ධනය සොරකම් කරනවා. තමන්ගේ ස්වාමියා වෙළහෙළදාම් කර බොහෝ දුක් මහන්සියෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන උත්සාහයෙන්, වීර්යෙන් කො පමණ මුදල් ගෙනවිත් දුන්නත්, මේ කාන්තාවට මදි. ස්වාමියාගේ සල්ලිවලින් කොටසක් සොරෙන් ගෙන තමන්ට ඕන ආකාරයට වියදම් කරනවා. මුදල් ප්‍රමාණවත් නැතැයි කියමින් ස්වාමියා පීඩාවට පත් කරනවා. කිසිදු අරපිරිමැස්මක් නැතිව නාස්ති කරනවා. ඇයගේ පවුල් ජීවිතය අසාර්ථක යි. මෙවැනි කාන්තාවන් ධර්මය කරා නො පැමිණියේ නම්, මරණින් මත්තේ නිරයේ උපත ලබනවා.

ආර්ය භාර්යාව - සමහර කාන්තාවන් ළමාතැනී ලෙසයි නිවසේ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ කාන්තාව ස්වාමියාගේ, දරුවන්ගේ, නිවසේ කිසිදු වැඩපළක් සොයාබලා කර දෙන්නේ නැහැ. ඇය නිවසේ යුතුකම් මඟ හරමින් සියලු වැඩ අනුන් ලවා කරවා ගන්නා කාන්තාවක්. ඒ වගේම මේ තැනැත්තිය ඉතා අලස යි. නිතර ම විවේකීව සිටිමින් කාලය නිකරුනේ ගෙවා දමනවා. ඒ වගේ ම ඇය නපුරු යි. දරුවන්ට ස්වාමියාට, අසල්වාසියන්ට, ඤාතීන්ට නිතර ම දොස් කියනවා. කිසිවෙකුගේ හොඳ කියන්නේ නැහැ. පිරිස තමා යටතට ගෙන පාලනය කිරීමට ඇය දක්ෂයි. මෙවැනි කාන්තාවන් බොහෝ අකුසල සිදු කර ගන්නවා. ඇය ධර්ම මාර්ගයට නො පැමිණියේ නම් මරණින් මතු නිරයේ උපත ලබනවා.

භාග්‍යවතුන් වහන්සේ ඉන්පසු සුගතියේ උපදින භාර්යාවන් සිව් දෙනෙක් පිළිබඳව දේශනා කොට වදාළා.

පළමු කාන්තාව මාතෘ භාර්යාව යි. ඇය තම ස්වාමියාට මවක් වගේ. “යා සබ්බදා හෝති හිතානුකම්පිනී” ඇය නිතරම ස්වාමියාට, දරුවන්ට, අසල්වාසීන් කෙරෙහි හිතානුකම්පාවෙන් කටයුතු කරනවා. උතුම් මවු සෙනෙහස ඇය කෙරෙහි ප්‍රකට වෙනවා. ස්වාමියා රැකියාවට යද්දී ඔහුගේ අඩුපාඩු සකස් කර දෙනවා. ඔහු එන්න ප්‍රමාද වුණොත් ඒ ගැන සොයා බලනවා. නිතර ම ආදරයෙන් කතාබස් කරමින් සංග්‍රහ කරනවා. ස්වාමියා හරිහම්බ කරන දේ අරපිරිමැස්මෙන් වියදම් කරනවා. ලැබෙන දෙයින් සෑහීමකට පත්වෙනවා. මවක මෙන් කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මාතෘ බිරිඳ මරණින් මතු සුගතියේ උපදින බවයි.

භගිනි භාර්යාව මෙසේයි. ඇය තම ස්වාමියාට සහෝදරියක් වගේ. ‘යථාපි ජෙට්ඨෙ භගනි කනිට්ඨා’ නිවසේ වැඩිමහල් සහෝදරයකු සිටිනවා නම් ඒ ගෙදර බාල නැගෙණිය ඒ සහෝදරයා ඉදිරියේ නටමින්, විහිළු තහළු කරමින්, හඬනඟා සිනාසෙමින් කටයුතු කරන්නේ නැහැ. රණ්ඩු අල්ලන්නේ නැහැ. ඒ තමන්ගේ වැඩිමහලු සහෝදරයාට බාල නංගි ගෞරව කරන නිස යි. ඒ වගේ මේ බිරිඳත් සිය ස්වාමියා සමඟ එකට එක කියන්නේ නැහැ. නො මනා ආකාරයට හැසිරෙමින්, හිතුවක්කාරකම් කරන්නේ නැහැ. ලජ්ජාශීලිව, ස්වාමියා ඉදිරියේ හැසිරෙනවා. මෙවැනි කාන්තාවන් මරණින් මතු සුගතියේ උපදිනවා.

අනෙක් භාර්යාව සකී භාර්යාව යි. ඇය ස්වාමියාට යෙහෙළියක බඳු ගති ගුණවලින් යුතුයි. මෙ වැනි කාන්තාව බොහෝ තැන්පත්. ඇය ස්වාමියා රැකියාවට හෝ වෙනත් ගමනක් ගොස් එනවිට පි‍්‍රයාදරව පිළිගන්නවා. සැමවිට සිතේ පී‍්‍රතියෙන්, සතුටින් ඉන්නවා. ඇය සිල්වත්. පතිව්‍රතාවයෙන් යුක්ත යි. මේ කාන්තාව ඉක්මණින් ධර්මය අවබෝධය කරා යනවා. ඇය සුගතියේ ඉපදී බොහෝ සැප සම්පත් විඳිනවා

දාසි භාර්යාව ගේ ගුණයන් මෙසේ යි. ‘අක්කුද්ධසන්තා වධ දණ්ඩතජ්ජිතා’ ඇයට කෙ තරම් වද දුන්නත්, දඬුමුගුරු වලින් පහර දුන්නත්, රණ්ඩුවට යන්නේ නැහැ. ස්වාමියා කෙරෙහි තරහක් ඇති කර ගන්නේ නැහැ. ස්වාමියාගේ වද හිංසා ඉවසනවා. වෛර බැඳගෙන ඉන්නේ නැහැ. ස්වාමියාට ඇහුම්කන් දෙනවා. මේ දාසි බිරිඳ ස්වාමියාගේ හිංසා පීඩා ඉවසාගෙන තරහ සිතක් ඇතිකර ගන්නේ නැතිව ඉවසීමෙන්, මෛත්‍රීයෙන් ජීවත් වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළ මේ බිරින්දෑවරු හත්දෙනාම ලෝකයේ ඕනෑම සමාජයක් තුළ සිටිනවා. යම් තැනෙක වදක, චෝරි, ආර්ය භාර්යාවන් සිටීද මේ තුන්දනො ම නපුරු යි. දුස්සීල යි. ආදර රහිත යි. ඒ වගේ ම යම් තැනක මාතෘ, භගිනි, සකී බිරිඳක් හෝ දාසි බිරිඳක් වෙයිද ඇය බෙහෝ සංවරයි. සිල්වත්, මෛත්‍රී සහගත යි. මේ දෙපිරිස දුගති සහ සුගති ලෝකවල ඉපදෙනවා.

මේ දේශනාවෙන් පසුව බුදුරජාණන් වහන්සේ අසනවා පින්වත් සුජාතා, ඔබ මේ අතරින් කවර බිරිඳක් ද? කියා. සුජාතා කියනවා ‘අනේ භාග්‍යවතුන් වහන්ස, අද සිට මම දාසි භාර්යාව‘ වෙනවා කියා.

නිවසක බිරිඳක් යහපත් වුණොත් ඒ නිවසේ සාර්ථකත්වය රැඳෙනවා. සතුට රැඳෙනවා. ඒ නිසා ඔබටත් ශ්‍රී සද්ධර්මය මුණගැසුන මේ මොහොතේ ඒ උතුම් අවස්ථාව මඟ නො හැර ධර්මානුකූලව මෙලොවත්, පරලොවත් සාර්ථක කර ගන්නට ශක්තිය ලැබේවා.