Print this Article


සදිසා වන්දනය හා සහජීවනය – 02:  යුතුකම් මත රැකෙන මිතුදම්

සදිසා වන්දනය හා සහජීවනය – 02: 

යුතුකම් මත රැකෙන මිතුදම්

සහජීවනය, සමඟිය ඇතිවීමේ දී මිත්‍රත්වය ඉතා වැදගත් ය. මිතුරන් නොමැතිවීම සමාජ අනාරක්ෂිත බවට හේතුවකි. එසේ ම එවැනි ජීවිත නීරස වේ. යහපත් මිත්‍රත්වය පුද්ගල දියුණුවට මෙන් ම සමාජ දියුණුවට මහත් අස්වැසිල්ලකි. ඇසුරු කරන මිතුරන් කෙසේ විය යුතු ද යන්න සිඟාල ගෘහපති පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළහ. සැබෑ මිත්‍රත්වය සමාජ සාමය, සමඟිය සඳහා අවශ්‍ය ය. මිත්‍රයා යනු හිත් රිදුනත් නැතත් පටු අවශ්‍යතා මත කටයුතු නොකොට මිත්‍රයාගේ දෙලොව සකසන පුද්ගලයා ය.

අවශ්‍ය දේ මිස අනවශ්‍ය දේ නොදීම

මිතුරා විසින් තම මිත්‍රයන් වෙනුවෙන් තම ශක්ති ප්‍රමාණයෙන් අවශ්‍ය දෑ ලබාදීම ඉතා වැදගත් ය. අනවශ්‍ය දෑ නොදීමට වගබලා ගත යුතු වේ. සමාජ සම්මතයන්ට පරිබාහිර යමක් ලබාදීම අනුචිත ය. සැබෑ මිත්‍රයන් එසේ කටයුතු නොකරයි. යමක් ඉල්ලා සිටිවිට අතීතයෙන් හෝ අනාගතයෙන් පිළිතුරු ලබා නොදීමට මිත්‍රයා කටයුතු කරයි. මිත්‍රවේශයෙන් අයහපත් දෑ කන්න, බොන්න ලෙස පෙරැත්ත කිරීම මහත් අලාභයකි. ඇතමුන් වැනසෙන්නේ මෙවන් මිත්‍රත්වය නිසාවෙනි. තරුණ කාලයේ දී අයහපත් දෑ වැළඳ ගැනීම නිසා නිවස තුළ, ආයතනය තුළ සමඟිය සහජීවනය නැතිවී අනවශ්‍ය හිත් රිදීම් ගැටුම් නිර්මාණය වේ.

හරයට මුල්තැන

යහපත්, ප්‍රියවචන කතා කිරීම බුදුරදුන් අගය කළහ. කෙනෙකුට සංග්‍රහ කළ හැකි වස්තුවක් වන මෙය පුද්ගලයාගෙන් ගිලිහීයාම මහත් සමාජ ව්‍යසනයකට මුලකි. වැදගත් වන්නේ භාෂාව නොව එහි අන්තර්ගත හරයයි. ප්‍රධාන භාෂාවක් කතා කළත් එම බස අපි‍්‍රය නම් මිතුරන් රැඳෙන්නේ නැත. ඇතිවන්නේ ගැටුම් පමණි. ලෝකයේ පවතින ඇතැම් යුද කෝලාහලයන්ට මුල මෙවන් පි‍්‍රය නොවන වචන කතා කිරීමයි.

මිතුරා නිරන්තරව තම මිතුරාගේ දියුණුවට හේතුවන කටයුතුවල යෙදීම අවශ්‍යය. පරිහානියට මග කියන කරුණුවලින් ඉවත්විය යුතු ය. දියුණුව යනු මෙලොව පමණක් නොව පරලොව ය. එසේම භෞතිකය පමණක් නොව ආධ්‍යාත්මය පිරිසුදු වීම අවශ්‍ය ය. මිතුරාගේ දියුණුව නොරිස්සීම මත ජීවිතය පවා නැතිවීමට අවශ්‍ය වට පිටාව නිර්මාණය වේ. සැබෑ මිත්‍රත්වය එසේ විය නොහැකි ය. ක්‍රීඩාව, අධ්‍යාපනය, රැකියාව තුළ තම මිතුරා තමා අභිබවා යාමේ දී ඔහු සමඟ වෛර බැඳ ඔහු විනාශ කළහොත් තමාට එම තත්ත්වයට පත්විය හැකියයි සිතා අනුවණ පාප කර්ම කිරීම සමාජ සාමයට සහජීවනයට බාධාවකි. ඕනෑම ප්‍රශ්නයක් බේරාගත යුතුව පවතින්නේ පුද්ගල ජීවිතවලට හානි නොකරමිනි. සැබෑ මිත්‍රත්වය තම මිතුරාගේ ජයග්‍රහණ හමුවේ සතුටට සොම්නසට පත්ව ඔහු වඩාත් දිරිමත් කරයි.

සමානාත්මතාවයෙන් මිත්‍රයාට සංග්‍රහ කිරීම බොහෝ ගැටුම් මඟහරවාගැනීමට හේතුවකි. මිතුරා වෙනුවෙන් සමාන සැලකීම් සිදුකිරීම නිසා මිත්‍රත්වය වඩා තහවුරු වේ. බොහෝ සමාජ ප්‍රශ්නයන්ට හේතුව සමාජය තුළ සමානාත්මතාව ක්‍රියාත්මක නොවීමයි. විවිධ දේ කියමින් අනෙකා රැවටීම සහ තාවකාලිකව ඔවුන් මුළාවට පත්කිරීම සුදුසු නොවේ. අනෙකා මුළාවට පත්කොට තම අභිමතාර්ථ ඉටුකරගැනීමට යාම දීර්ඝකාලීන අවාසි ඇතිවීමට හේතුවකි. රැවටීම මත සුළු සුළු ලාභ ඇතිමුත් ඒ මත දීර්ඝකාලීන මහත් විපාක ඇතිවිය හැකි ය. මිත්තානිසංස සූත්‍රයට අනුව ද මිතුරන් නොරැවටීම මහත් අනුහසකි.

ප්‍රමාදවීමේ ව්‍යසනය

මිතුදම් රැකගැනීමට නම් තම මිතුරාට පෙරළා යුතුකම් ඉටුකිරීම අවශ්‍ය ය. ප්‍රමාද වූ මිතුරා රැක ගනිමින් කටයුතු කිරීම සැබෑ මිත්‍රත්වයයි. මිතුරා ප්‍රමාදවීම තුළ බොහෝ ව්‍යයසනයන් ඇති කරගනී. එවන් අවස්ථාවන්වලදී මිත්‍රයන් ලෙස මැදිහත්වීම අවශ්‍ය වේ. මිතුරා සතු වස්තු සම්පත්තීන් ආරක්ෂා කිරීම සැබෑ මිත්‍රත්වයයි. ඔවුන්ගේ ප්‍රමාදයන් දැක සම්පත්තීන් තමා සතුකරගැනීමට යාම මහත් ව්‍යයසනයකි. විපත් ඇති අවස්ථාවන්වලදී මිතුරා අතහැර නොයාම මෙන් ම බියක් ඇති අවස්ථාවලදී මිතුරා රැකගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් ය. අවස්ථාවාදීව මිත්‍රත්වයන් පාවාදෙමින් කටයුතු නොකළ යුතු ය. මිතුරාට පමණක් නොව මිතුරාගේ දරු මුණුබුරන් ද ආරක්ෂා කිරීම සැබෑ මිත්‍රත්වයයි. භෞතික සම්පත් පමණක් නොව අවවාද අනුශාසනා මඟින් ආරක්ෂාව සැපයීම කළ හැකි ය. යම් සමාජයක් තුළ මෙම ලක්ෂණ ක්‍රියාත්මක වන්නේ නම් ඇතැම් මිතුරන් නිසා සිදුවන අපහාස උපහාස, මං පැහැරීම්, ජීවිත විනාශ, විවාහ දෙදරායාම් සිදුවීම වැළකී ඒ නිසා සිදුවන සමාජ ව්‍යසනයන් දුරුකර ගත හැකි ය. මේ තුළ සමඟිය සාමය ආරක්ෂා වේ.

සේව්‍ය සේවක අන්‍යෝන්‍ය සම්බන්ධය ඇති තැන ගැටුම් වැඩවර්ජන අසහනය අතෘප්තිය නැති වී යයි. සදිසා වන්දනය තුළ සේවක පිරිස් යට දිසාව ලෙස නම් කෙරෙනුයේ ගෞරවයෙනි. නමස්කාර කිරීම ආවාට ගියාට සිදු නොවන්නකි. එය ගෞරවයෙන් සිදුවන ක්‍රියාවකි. මේ අරුතින් ගත් විට රටක ශක්තිමත් පිරිස සේවකයන් ය. සේවකයන්ගෙන් සේවය ලබාගැනීමට සුහදත්වය, පි‍්‍රයවචනය අතිශයින් වැදගත් වේ. රටක ආයතනයක දියුණුව ඇතිවන්නේ එවන් පසුබිමක ය. අයිතිවාසිකම් පිළිබඳ සිතීම පමණක් සුදුසු නොවන අතර තම යුතුකම් පිළිබඳ සේවක ප්‍රජාව සැලකිලිමත්වීම අවශ්‍ය ය. එසේ ම සේවකයා අගයමින් ඔවුනට අවශ්‍ය තෘප්තිමත් ජීවිතය සකසාදීම හාම්පුතුන්ගේ යුතුකමකි.

ආයතන ප්‍රධානීන් විසින් තම සේවකයන්ට සුදුසු පරිදි වැඩකටයුතු පැවරිය යුතු වේ. රැකියාවට සුදුසු පිරිස් ඒ සඳහා බඳවා ගැනීමට වගබලා ගැනීම වැදගත් ය. කෙනෙකුට රැකියාවක් ලබාදීම වෙනුවට රැකියාවට සුදුසු කෙනෙකු බඳවා ගැනීම වැදගත් ය. පෞද්ගලික හිතවත්කම් හෝ දේශපාලන සුදුසුකම් රැකියාවට බද්ධ කරගත යුතු නොවේ. පුහුණුව සුදුසුකම් සහ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ සිතා වැටුප් දීමනා ආදිය ලබාදීම සුදුසු වේ. එවිට ඔවුන් තුළ කලකිරීම් ඇති නොවේ. තම ආයතනය පිළිබඳ හැඟීමක් නිර්මාණය වේ. තව ද, සේවකයන්ගේ මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍ය ය. බොහෝ ප්‍රශ්නවලින් ඔවුන් මිරිකී සිටින්නේ නම් නියමිත රාජකාරිය ඉටු කිරීමට නොහැකි වේ. දක්ෂව සහ කැපවීමෙන් කටයුතු කරන සේවකයන් අගය කොට නිවාඩු සහ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ සැලකිලිමත් වීම අවශ්‍ය වේ. එවන් පරිසරයක් තුළ කටයුතු කිරීමට සේවකයෝ මහත් කැමැත්තක් දක්වති. මෙම අවබෝධය ගිලිහීයාම තුළ අසමගිය අතෘප්තිය වර්ධනය විය හැකි ය.

හදවතින් තීරණ ගැනීම

තම ආයතනය ආරක්ෂාකර ගනිමින් කටයුතු මෙහෙයවීම සේවකයන්ගේ පරමයුතුකමකි. ආයතනය තුළ ප්‍රශ්න ඇතිවුව ද එය බාහිර පරිසරයට නොදැනෙන ලෙස ආයතනය තුළදීම විසඳා ගැනීමට සේවකයන් උත්සාහ කිරිම වැදගත් වේ. ආයතනයක, ප්‍රශ්න නිසා පොදු දේපළවලට හා පොදු මහත් ජනතාවට පීඩා කිරීම හා හානි කිරීම මහත් අනුවණකමකි. සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳා ගත නොහැකි යමක් මෙම මිහිපිට දැකිය නොහැක. සොර සිතින් වංචාවෙන් ආයතනය සතු දෑ ගැනීම මෙන් ම ආයතනික ක්‍රියාවන් කඩාකප්පල්් කිරීම අනුචිත ය. එවිට සිදුවන්නේ මහජන කැළඹීම් අනවශ්‍ය ලෙස ගොඩනැඟීමයි. තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම ගැටලුවක් නොවුනද හදවත් ඇති පිරිස් ලෙස තීන්දු තීරණ ගත යුතු ය. නොමිලේ ලබාදෙන මාසික වැටුපට සේවය කරන, ආයතනය තුළ වැඩ අත්හිටුවා පෞද්ගලික මුදල් එදිනෙදා ලැබෙන ක්‍රියාවන්වල යෙදී ම අපාගතවන පාපයකි. කුමන තරා තිරමක කෙනෙක් වුව ද මේ පිළිබඳ අවධානය යොමු කිරීම අවශ්‍ය ය. වෘත්තීය සටන් පරමාර්ථය වෙනුවෙන් නම් ආත්මාර්ථකාමී කටයුතුවලින් ඉවත්වීම අත්‍යවශ්‍ය ය. මෙම යුතුකම් එකිනෙකා තුළින් ඉටු වන්නේ නම් සාමය සහජීවනය ආරක්ෂා කරගත හැකි වේ. මේ ලෝකයේ සියල්ල පවතිනුයේ තව එකක් මත ය. එය තේරුම් ගනිමින් කටයුතු සම්පාදනය කරගත යුතු වේ.

යහපත් අරමුණු

ගිහි පැවිදි සබඳතාවය ද, ඉතා යහපත් වූ තැනක දියුණුව සාරධර්ම සංවර්ධනය ඇති වේ. පව පින විශ්වාස කරන එවන් පරිසරයක සියල්ල යහපත් ව සිදු වේ. අතීත ජනසමාජය ශක්තිමත්ව සෑම අභියෝගයක් ම ජයග්‍රහණය කළේ මෙවන් යහපත් ක්‍රියාකාරකම් හේතුවෙනි. භික්ෂුව භෞතික අරමුණුවලින් කටයුතු නොකොට ආධ්‍යාත්මය සංවර්ධනය කිරීමට උත්සුක වීම අවශ්‍ය වේ. එසේම තම ශික්ෂණය හා දැනුම භාවිත කොට සන්ථානගත සංවර්ධනය මෙන් ම සමාගත සංවර්ධනය සැකසිය යුතු ය.

භික්ෂුව නිරන්තරවම පාලනයට උඩින් යහපත් අරමුණින් අනුශාසනා කළ යුතු වේ. පාලකයන්ගේ යටහත් පහත් සේවකයන් වෙමින් ආර්ථික ලාභ වරප්‍රසාද ලැබිය යුතු පිරිසක් බවට භික්ෂුව පත් නොවිය යුතු ය. විවිධ සංවිධාන පිහිටුවාගත යුතු වන්නේ යහපත් අරමුණින් මිස පක්ෂයක පුද්ගලයෙකු නගා සිටුවීමට නොවේ. සිවුර පාවඩයක් නොකළ යුතු බව අවධාරණයෙන් සිහිතබාගෙන කටයුතු කිරීම වැදගත් ය.

ගිහි පිරිස් ද භික්ෂුවකගෙන් බලාපොරොත්තු විය යුත්තේ ආධ්‍යාත්මය සකසාගැනීම හා සාරධර්ම දියුණුකොට සමාජය යහමඟට ගැනීමයි.

භික්ෂුවට අවශ්‍ය සිව්පසය ලබාදෙමින් උන්වහන්සේලාගේ නිවැරදි අවවාද පිළිගෙන ගිහි පිරිස් කටයුතු කිරීම වැදගත් ය. ධර්මය මත පදනම් වූ එවන් අවවාද ඉතා යහපත් ය. මෙසේ ගිහි පැවිදි සබඳතාව ගොඩ නැඟීම තුළ රටක් ජාතියක් ලෙස සුරක්ෂිත හෙටක් බලාපොරොත්තු විය හැකි ය.