Print this Article


ජීවිතයතුළින් ජීවිතය අවබෝධ කරගත යුත්තේ කෙසේද ?

ජීවිතය තුළින් ජීවිතය අවබෝධ කරගත යුත්තේ කෙසේද ?

" ඉර පායන තැනත්, ඉර බැස යන තැනත් අතර දුර ප්‍රමාණය කොපමණ දැයි කිව නොහැකි ය. සඳ පායන තැනත් ,සඳ බැස යන තැනත් අතර පවතින දුර කොපමණ දැයි කිව නොහැකිය. මහපොළොවත් අවකාශයත් අතර පවතින දුර ප්‍රමාණය කිව නොහැකිය. නමුත් මහණෙනි, ඒවා කිව හැකි ඒවා යැයි සිතීමට හෝ පුළුවන්කමක් තිබේ. එහෙත් බාලයා සහ පණ්ඩිතයා අතර පවතින දුර ප්‍රමාණය ද, තැබිය යුතු දුර කෙතරම් දුරින් ද, යන වග පැහැදිලි කළ නොහැකි ය."

බුදුරජාණන් වහන්සේ ලෝකයේ ජීවත්වන මිනිසුන් නුවණ නැති මිනිසා සහ නුවණ ඇති මිනිසා යනුවෙන් කොටස් දෙකකට වර්ග කර ඇත. නුවණ නැති යහපත් ක්‍රියාවල නොයෙදෙන පුද්ගලයා බාලයා ලෙස බණ පොතේ සඳහන් වේ.

තමන්ගේ යහපත හා අන්‍යයාගේ යහපත, අර්ථය හිත සුව පිණිස කටයුතු කරන පුද්ගලයා පණ්ඩිතයා ලෙස අර්ථ දක්වා තිබේ. මේ දෙදෙනා අතර පවතින වෙනස, ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය අනුව පැහැදිලි කර ගත හැකි ය. ක්‍රියාවෙන්, හැසිරීමෙන්, සිතිවිලි වලින් වචන භාවිතා කරන පිළිවෙල අනුව එම වෙනස නිවැරැදිව හඳුනාගත හැකි වේ. නිරන්තරයෙන්ම අයහපත් සිතිවිලිවලින් සිත පුරවාගනිමින් අයහපත් දේ සිතීම බාලයාගේ ස්වභාවය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඔහු සමාජය තුළ ක්‍රියාත්මකවීමේ දී තමාගේ සහ සමාජයේ අයහපත පිණිසම හේතු වන අයහපත් ක්‍රියාම කරයි. බාලයා පිළිබඳව දක්වා තිබෙන කරුණු තුන ඔහුගේ සිතටද, වචනයටද, කයටද සම්බන්ධ කොට දක්වා ඇත. බාල ගති සිරිත් පිරි පුද්ගලයාගේ ස්වභාවය බණ දහමේ දක්වන්නේ ඔහු ඇසුරෙන් ඈත් කොට දැමිය යුතු පුද්ගලයෙකු ලෙස ය. මේ ආකාරයෙන් සමාජයේ ජීවත් වන විට ඒ ඒ පුද්ගලයන් අසුරු නිසරු කිරීමෙන් ඉවත් කර දමන්නට ගියහොත් ඇතැම් විට තමාට හුදකලාව ජීවත් වීමට සිදුවිය හැකි ය. එම නිසා එය නිවැරැදිව වටහා ගත යුතුය. පුද්ගලයන් ඇසුරට ගත යුත්තේ ඔවුන්ගේ ක්‍රියා කලාපය අනුවය. බාලයාගේ ක්‍රියා කලාපය දුර්ජන ස්වභාවයයි. අයහපත් සිතිවිලිම සිතා යහපත් වචන කතාකරන අයහපත් සිතිවිලිම සිතා සමාජ ප්‍රභාවිත ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන් සමාජයේ ඕනෑතරම් ජීවත් වේ. පුද්ගලයෙකු සිතන සිතිවිලි අනෙක් පුද්ගලයන් තේරුම් බේරුම් කරගන්නේ කෙසේද? කුමන ආකාරයේ සිතිවිලි සිතුවද ඒවා පුද්ගලයෙකුට තෝරා බේරා ගත හැකිවන්නේ වචනයෙන් කරන ප්‍රකාශ සහ ක්‍රියාත්මක වන ආකාරයෙන් ය. ක්‍රියාවෙන් මෙන්ම වචනයෙන්ද යම්දෙයක් අවබෝධ කරගත හැකි පුද්ගලයෙකුට සිතිවිලි හඳුනාගත හැකි වේ. පණ්ඩිතයා පිළිබඳව බුදුදහමෙහි හඳුන්වා ඇත්තේ බාලයාගේ ස්වභාවයට වඩා හාත්පසින් වෙනස් ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙකු ලෙසය.

ඔහු නිරන්තරයෙන්ම යහපත් සිතිවිලිම සිතන එම සිතිවිලිම සිතන්නට උත්සාහ කරන පුද්ගලයෙකි.

යහපත් වචනයම කතා කරන යහපත් වචනවලට පමණක් කැමැති පුද්ගලයෙකි.

යහපත් ක්‍රියාවන් කිරීමට උත්සාහ කරන පුද්ගලයෙකි.

එම කරුණු අනුව බාලයා සහ පණ්ඩිතයා අතර වෙනස ඔවුන්ගේ සිත, කය, වචනය ක්‍රියාත්මක වන විට සිතිවිල්ලෙන් ද, වචනයෙන්ද, ක්‍රියාවෙන්ද හඳුනාගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ එම කාරණා පිළිබඳව මෙසේ වදාරා ඇත.

මහණෙනි, ඉර පායන තැනත්, ඉර බැස යන තැනත් අතර දුර ප්‍රමාණය කොපමණ දැයි කිව නොහැකියි. සඳ පායන තැනත් ,සඳ බැස යන තැනත් අතර පවතින දුර කොපමණ දැයි කිව නොහැකිය. මහපොළොවත් අවකාශයත් අතර පවතින දුර ප්‍රමාණය කිව නොහැකිය. නමුත් මහණෙනි, ඒවා කිව හැකි ඒවා යැයි සිතීමට හෝ පුළුවන්කමක් තිබේ. එහෙත් බාලයා සහ පණ්ඩිතයා අතර පවතින දුර ප්‍රමාණය ද, තැබිය යුතු දුර කෙතරම් දුරින් ද, යන වග පැහැදිලි කළ නොහැකි ය.

ඒ අනුව මේ සමාජය තුළ එකට ගැටෙමින් එකට අදහස් හුවමාරු කරගනිමින් එකට ජීවත් වුවද,පුද්ගලයා තවත් පුද්ගලයෙකු හා සන්සන්දනය කර බලන විට ඔවුන් කෙතරම් විපරීතද යන බව මේ තොරතුරුවලින් පැහැදිිලි වේ.

දඹදිව පැවැති නැකැත් උත්සවයකදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළහ. එම උත්සවය බාල නක්කත්ත යනුවෙන් හඳුන්වා ඇත. එම උත්සවය සතියක් පුරාවටම එක්තරා ආකාරයක සැණකෙළි ස්වභාවයකින් පවත් වා ඇත. එම උත්සවය පවත්වන පිරිස් එක්තරා ආකාරයක අසෝභන හැසිරීම් රටාවක් අනුගමනය කර ඇත. ඔවුන්ගේ වචනය, ක්‍රියාව, ඉතාමත් අසෝභන විය. එම සිද්ධිය දර්ශනය වන ඥානවන්ත පුද්ගලයෙකුට බාලයා සහ පණ්ඩිතයා අතර පවතින වෙනස හඳුනාගත හැකි ය. එම සීමා මායිම් නිවැරැදිව ලකුණු කරන්නේ කෙසේද ? ජීවිතය තුළින් ජීවිතය අවබෝධ කරගත යුතු බව ඒ තුළින් වටහා ගත යුතු ය.