Print this Article


ගෝණදූවේ ගුණානන්ද හිමියෝ 5 වන වරටත් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයට

ගෝණදූවේ ගුණානන්ද හිමියෝ 5 වන වරටත්

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයට

බුද්ධශාසන අමාත්‍යාංශයේ දී පසුගිය දා පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයේදී වාද්දුව කොරොස්දූව වජිරකොත් පුරාණ මහා විහාරය, බණ්ඩාරගම කිම්මන්තුඩාව දීපාරාමය යන උභය විහාරාධිපති කළුතර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ගෝණදූවේ ගුණානන්ද හිමියෝ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට 5 වන වරටත් පත්කර ගනු ලැබූහ.

2014 අංක 14 දරණ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල පනත පාර්ලිමේන්තුව මගින් සම්මත කරවීම, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල අරමුදල ආරම්භ කිරීම, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල නිල ලාංඡනය හා නව දහම් පාසල් ධජය නිර්මාණය කිරීමේලා උන්වහන්සේ පුරෝගාමීව ක්‍රියා කළහ. බුදුපුත් මව්පිය උපහාර නිවාස ව්‍යාපෘතිය (බුදු සසුනට දරුවන් පූජා කළ දෙමව්පියන්ට නිවාස තැනීම උදෙසා ආරම්භ කළ) දහම් පාසල් ගුරුසුව සවිය ( දහම් පාසල් ගුරුවරුන්ට හදවත් වකුගඩු හා පිළිකා සැත්කම් සඳහා ආධාර කිරීම) දහම් සිසු සවිය ( දහම්පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ආරම්භ කළ) ආදී වැඩසටහන් ගුණානන්ද හිමියන් විසින් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

1978 වසරේ දී කළුතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයට පත්වූ ගුණානන්ද හිමියෝ එම වසරේදීම කළුතර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරයට පත්ව 40 වසරක් මුළුල්ලේ අඛණ්ඩව එම තනතුරු –උසුලමින් ශාසනික , අධ්‍යාපනික හා සාමාජීය වශයෙන් සුවිසාල මෙහෙවරක් සිදුකරති.