Print this Article


සදාචාරයේ අඩිතාලම

සදාචාරයේ අඩිතාලම

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි බරණැස්නුවර අසූ කෝටියක් ධනය ඇති පවුලක සිටුපුත්‍රයෙක් විය. මහාධන සිටු පුත්‍ර යන නමින් ඔහු ප්‍රසිද්ධි විය. ධනය ඇති නිසා වෙනත් ඉගැන්වීම්වලින් මොහුට ප්‍රයෝජනයක් නැතයි සිතා මොහු පි‍්‍රයකරන සංගීතය හා වාදනය පමණක් ඉගැන්වීම ප්‍රමාණවත් යැයි සිතූ මවුපියෝ ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. මේ සිටුපුත්‍රයා විවාහ වූ යේද අසූ කෝටියක් ධනය ඇති පවුලක සිටු දියණියක සමඟ ය.

ඇයට ද වෙනත් ඉගැන්වීම්වලින් ප්‍රයෝජනයක් නැතැයි සිතා නැටුම් හා ගැයුම් පමණක් ඉගැන්වූහ. මේ දෙපළගේ විවාහයෙන් ටික කලකට පසු දෙමව්පියෝ මරණයට පත්වූහ. මේ සිටු පුත්‍රයා දවසට තුන් වරක් රජුගේ වැඩවලට උදව්වීම සඳහා රාජමාලිගයට යයි. මොහු ගැන සෝදිසියෙන් සිටි මත්පැන් ලෝලීහු පිරිසක් මොහු මත්වතුර පානයට හුරු කරගත්තොත් තමන්ට ලොකු වාසියක් වන බව සිතා ඒ සඳහා ක්‍රමෝපායයන් යොදමින් මිත්‍රත්වයක් ඇතිකරගත්හ. මේ අනුව සෑම දා ම මත්පැන් පානයට හා සූදුවටත්, නැටුම් ගැයුම්වලටත් තම ධනය නාස්ති කරමින් තමා සතු මුළු ධනස්ඛන්ධයම විනාශ කර ගත්තේ ය. තම භාර්යාව සතු ධනයත්, ගෙවල් දොරවල් ඇතුළු සියලු සම්පත් විකුණා මහමගට බැස්සහ. ජීවත්වීම සඳහා ගෙයක් ගෙයක් පාසා සිඟමනේ යමින් ඉවත දමන ඉඳුල් බත් කමින් ජීවත් වන්නට සිදුවිය.

එක් දිනෙක , බුදුරදුන් වැඩ සිටින ආරාම දොරටුව අසල දී කුඩා සාමණේර හිමිවරුන් විසින් දෙනු ලබන ඉඳුල් බත් බාර ගන්නා මේ දෙපළ දැක බුදුරදුහු සිනා පහළ කළහ. මෙය දුටු අනඳ හිමියෝ කුමන කරුණක් නිසා සිනා පහළ කළේදැ’යි බුදුරදුන් ගෙන් විමසූහ. ආනන්ද මේ මහා ධන සිටු පුත්‍රයා ප්‍රථම වයසේ දී තම ධනය වැදගත් කර්මාන්තයන්හි යෙදවූයේ නම් අද මේ නගරයේ අග්‍ර සිටුවරයා වනු ඇත. ගිහි ගෙයින් නික්ම පැවිදි වූයේ නම් රහත් ඵලයට පත්වනු ඇත. සිටු භාර්යාව ද අනාගාමී ඵලයට පත්වනු ඇත. මධ්‍යම වයසේ ද ධනය නාස්ති නොකොට කර්මාන්තවල යෙදැවූයේ නම් මේ නගරයෙහි දෙවන සිටු තනතුර ලබන්නේ ය. පැවිදි වූයේ නම් අනාගාමී වන්නේ ය. භාර්යාව ද සකෘදාගාමී වනු ඇත. පශ්චිම අවධියේ දී වත් තම ධන විනාශය තේරුම් ගෙන එයින් වැළකී කර්මාන්තවල යෙදුණේ නම් නගරයෙහි තුන්වන සිටුවරයා වන්නේ ය. පැවිදි වූයේනම් මේ සකෘදාගාමි වන්නේ ය. භාර්යාවද සෝවාන් ඵලයට පත්වන්නී ය. දැන් ගිහි ජීවිතයෙන් මෙන් ම පැවිදි ජීවිතයෙන් ද පරිහානියට පත්ව ඇත.

පැවිද්දට සුදුසු තරුණ වියේදී පැවිදි වී බඹසර නොවැසීමෙන් ද, ගිහියෙකු වශයෙන් ගොවිකම් වෙළෙඳ ව්‍යාපාර ආදිය නොකර ධනය උපයන්නේ නැතිව ප්‍රමාද ජීවිත ගත කිරීමෙන් ද කල්ගෙවන අඥානයාට සිදුවන්නේ විපතකි. ඒ පුද්ගලයා දිය සිඳී ගිය නිසා මසුන් නැති විලෙක, මඩමත හිඳ තැවෙන පියාසාර කළ නොහැකි කොස්වා ළිහිණියකු මෙන් තැවෙන, පීඩාවට පත්වෙන ජීවිත ගත කරන්නේ ය. මෙම අදහස පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ

"අචරිත්වා බ්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනෙ ධනං......"

යන ගාථා ධර්මය දේශනා කළහ.

මේ ගාථාව අද තරුණ ජීවිතවලට වැදගත් පාඩමක් පෙන්වා දෙයි. ළමා කාලය ඉගෙන ගත යුතු යි. තරුණ අවධිය තම ශ්‍රමය වැය කරමින් ධාර්මිකව හරි හම්බ කළ යුතු යි. උපයන ධනය විනාශ වන්නට නොදී පරිහරණය කළ යුතුයි. නමුත් අද සමහර තරුණ දරුවෝ මංමුළාවූ ගමනක යෙදෙති. බොහෝ දෙනෙකුට තම ජීවන ගමනේ අරමුණක් නැත. ඉලක්කයක් නැත. පිළිවෙළක් නැත. සමහරු මත්වතුර, මත්ද්‍රව්‍ය, මත්කුඩු හා සූදුව වැනි විනාශකාරි දෙයට පෙළඹී සිටිති . හරි හම්බ කරන ධනයත්, මාපිය උරුමයෙන් ලත් දේපළත් විනාශ මුඛය කරාගෙන යන බව බොහෝ විට අපට දැකගන්නට පුළුවන. අපාය සහායක යහළුවන් නිසා විෂම චර්යාවන්ට යොමුවන චරිත බහුල ය. ජීවිතය, ධන සම්පත්, පරපුර විනාශට යොමු කරන, රෝගී පරපුරක් ඇතිකරන මත්වතුරවලට යොමුවීමේ ඇති බර පතළ විනාශය තේරුම් ගන්න. මෙලොවත් පරලොවත් පරිහානියට පත්වන අයුරු දකින්නට උත්සාහ කරන්න. ඔබ මත් බවට පත්කරන්නේ මත්වතුර පමණක් නොවේ. මේ සඳහා මත් කුඩු වර්ග මෙන්ම එන්නත් වර්ගද ඇත. මේ සියලු දේම ඔබ සිහිවිකල් බවට පත් කරයි. මනෝ ලෝකයක් කරා ඇද දමයි.

සිඟාලෝවාද සූත්‍රයෙහි දී මත් වතුර නිසා වන දුර් විපාක රැසක් පෙන්වා දී ඇත.

බලා සිටියදීම ධනය විනාශවීම කලකෝලාහල වැඩිවීම , රෝග කාරකවලට සුදුසු තැනක් වීම අපකීර්තියට පත්වීම , ලජ්ජා රහිතවීම, නුවණ දුර්වල වීම යනුවෙනි.

මත්වතුර පානය සඳහා වැයකළ යුතු මුදල විශාල ය. දිනපතා පුරුද්දක් බවට පත්වීම ධනය පමණක් නොව තමා සතු සියලු සම්පත් ද වැනසීමකි. සොරකම් කර හෝ තම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට එවැන්නෝ පෙළඹෙති

මත්වතුර සිහි විකල් කරයි. පෙර එක් රජ කෙනෙක් සුරාපානයෙන් මත් වී තම පුත්‍රයා මරවා ආහාරයට ගත් අයුරු බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ය. පසුව තමා කළ දේ ගැන සෝකයටත්,වේදනාවටත් පත් වු අයුරු දක්නට පුළුවන.

මත්වතුර ඔබ රෝගියෙකු බවට පත්කරයි. වකුගඩු දුර්වල කරයි. ශරීරය දුර්වල කරන අතර විවිධ රෝගවලින් පෙළෙන අයෙකු බවට පත් කරයි. සමාජය මොවුන්ගේ පිළිකුල් කරති. කිසිදා විශ්වාසයක් නැත. හදිසියක දී කිසිවෙකු ගෙන් වත් උදව්වක්, උපකාරයක් නොලැබිය මෙවැනි අයගේ දරුවන්ට ද සමාජයේ දී විවිධ ප්‍රශ්න ඇතිවිය හැකි ය.

මෙවැනි අය මොළයේ ශෛල විනාශවී මානසික වශයෙන් විකෘති බවට පත්වෙති. සිහිවිකල් වෙති. නිරවුල් මනසක් නැත. කල්පනා ශක්තිය දුර්වල ය.

බුදු දහමට අනුව සුරාව පානය කිරීම, නිතර සිදුකිරීම, බහුල වශයෙන් කිරීම් අපායගාමී වීමට හේතුවකි. පේ‍්‍රත ජාතියෙහි ඉපදීමටද හේතුවකි. ඉතා අඩු විපාක වශයෙන් ගත්කල මිනිස් ලොව උපන්නත් උමතු බව ඇතිකරව යි. මේ සියලු කාරණා සලකා බලා මත්ද්‍රව්‍යවලින් වැළකීමට අදිටන් කරගත යුතු ය.

අද සමහර නිවෙස්වල උපන්දින සාද ඇතුළු විවිධ සමාජගත උත්සවවලදී මත්පැන්වලට ප්‍රමුඛස්ථානයක් හිමිව ඇත. මේ භයානක අනතුරින් ළමා ලෝකය මුදා ගැනීම දෙමාපියන් සතු ප්‍රබල වගකීමකි. ධනය විනාශ වී යන දොරටු (අපායමුඛ) හයක් ගැන සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ඉන් පළමුවැන්න ලෙස දක්වන්නේ මත්ද්‍රව්‍ය භාවිතය යි.

සිඟාලෝවාද සූත්‍රයට අනුව ධනය නැති දිළිඳු යමෙක් මත්පැන් බොන්නේ ද ඔහු පොකුණක් වෙත ගිය අයෙකු දිය පානය කරන්නා සේ මත්පැන් බීමෙහි ගිජු වන්නේ ය. ණයකාරයෙකු බවට පත්වන්නේ ය. ඉතා ඉක්මනින් ඔහුගේ පවුලද පිරිහීමට පත්වන්නේ ය.

ස්ත්‍රීන්ට ලොල්වීම හා මත්ද්‍රව්‍යවලට ලොල්වීම පරිහානියට ගෙන යව බව පරාභව සූත්‍රය සඳහන් කරයි. ධම්මපදයේ මල වර්ගයේ සඳහන් ආකාරයට යමෙක් සතුන් මරයි ද බොරු කියයි ද, නොදුන් දෑ ගනීද, පර අඹුවන් කරා යයිද මත්පැන් බොයි ද ඔහු මෙලොවදීම තමාගේ වල හාරාගන්නෙකු බවට පත්වනු ඇත.

පංචශීලය සුරැකීමට අප අධිෂ්ඨාන කරගත යුතු පන්සිල් පද පහ සදාචාරායේ අඩිතාලමයි. පන්සිල් රකින්නා ශීලාචාර හැදිච්ච අයෙකු ලෙස සැලකේ. සමාජය ඔහුට ගරු කරයි. ඔහු /විශ්වාසවන්තයෙකු බවට පත්වේ. පන්සිල් සුරැකීම යනු මානව සමාජයට පමණක් නොව සමස්ත පරිසරයටද ගරු කිරීමකි. අනුන් සතු අයිතීන් සුරැකීමක් මෙ මගින් සිදු වේ. පන්සිල් සුරකින සමාජය ශිෂ්ට සමාජයකි.

එතැන අන්‍යෝන්‍ය විශ්වාසය ඇත. සුහදත්වය, ලෙන්ගතුකම පි‍්‍රයශීලිබව ඇත