Print this Article


සම්බුදු ගුණමහිම:  දීපංකර පාදමූලයේ දී සුමේධ මහ බෝසත්තුමා නියත විවරණ ලැබූ වගයි

සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 04

දීපංකර පාදමූලයේ දී සුමේධ මහ බෝසත්තුමා නියත විවරණ ලැබූ වගයි

‘නෙයියෝ බෝධි සත්තෝ සද්ධාධිකෝ’

නෙයිිය කියන මහා බෝසතාණන් වහන්සේ ශ්‍රද්ධා අධිකයි. උන්වහන්සේ නියත විවරණ ගන්න මත්තෙන් සිතින් බුදු බව අසංඛෙය්‍ය හතක්, වචනයෙන් අසංඛෙය්‍ය නවයක් කියන අසංඛෙය්‍ය දහසයක් පාරමී පුරා අවසානයේ දී බුදුරජාණන් වහන්සේ නමක් ළඟ නියත විවරණ අරගෙන අසංඛෙය්‍ය දහසයකුත් කල්ප ලක්ෂයක් නැවත පාරමී පුරන්නට ඕනේ.

බුදු බව පතාගෙන, එනම් සොළසාසංඛය්‍ය කල්ප ලක්ෂයක් ය. මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ශ්‍රද්ධා අධික මහා බෝසතාණන් වහන්සේ නමක්. අපේ ශාන්ති නායක ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥා අධික මහා බෝසතාණන් වහන්සේ නමක්. දැන් පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිතුවොත් උන්වහන්සේ ඈත අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් නැති කාලයක ඉතාමත් ම හොඳ තරුණ ජීවිතයක් ගත කරන කාලේ තමන්ගේ අම්මාත් සමඟ මහ මුහුදෙන් වෙළෙඳාමේ යන අතරතුරදී විශාල කුණාටුවක් පැමිණ සම්පූර්ණයෙන් මේ නැව සුන්බුන් වීමෙන් මේ වයස් ගත අම්මා ලෑලි කෑල්ලක ආධාරයෙන් පණ ගැට ගහගන්න මහන්සි ගන්න හැටි මේ තරුණ ජවසම්පන්න දරුවා දැක්කා. මේ දරුවත් දැන් පණ බේරගන්න මහන්සිගන්නෙ.

මේ දරුවා හිතනවා ‘මගේ පණට වඩා මගේ අම්මාගේ ජීවිතය බේරෙන්ට ඕනෙ කියල. එතෙරක් මෙතෙරක් නොපෙනෙන මහ ජල සාගරය මැද මේ අම්මව කරපිටට ගත්තා. මේ දරුවා එක දවසක් එක මොහොතක් නොවෙයි පින්වතුනි, දින හතක් ම එක දිගට ම මේ අම්මව කරේ තියාගෙන මහා සාගරයේ පීනනවා. මේ පීනන ගමන් පුදුමාකාර දෙයක් සිද්ධ වුණා. පංච සුද්ධාවාසයේ වාසය කරන අරිහත් බ්‍රහ්ම රාජයෙක් සමාපත්ති සුවයෙන් නැගිටලා බලනවා මේ ලෝකය දිහා ඊයේත් බුදුකෙනෙක් පහළ වුණා. පෙරේදාත් බුදු කෙනෙක් පහළ වුණා. අදත් බුදුකෙනෙක් මේ ලෝකයේ පහළ වෙලා ද කියල තමයි මේ මහා බ්‍රහ්මයා බලන්නෙ. මේ පංචසුද්ධාවාස අර්හත් බ්‍රහ්ම රාජයාණන් වහන්සේ එසේ බලනකොට බුදුකෙනෙක් නම් පහළවෙලා නෑ.

ඒ වෙලාවේ බලනවා බුදුවෙන්නට පුළුවන් කෙනෙක්වත්, ශක්තිසම්පන්න පාරමී පුරන්න පුළුවන් කෙනෙක්වත් ඉන්නවා ද කියලා. එසේ බලනකොට තමයි අර අම්මව කරපිට තියාගෙන මහා සාගරයේ පීනන මේ දරුවා දැක්කේ. දැකල මේ අරිහත් බ්‍රහ්මරාජයාණන් වහන්සේ මෛත්‍රී චිත්ත තරංග එවමින් අධිෂ්ඨාන කරනවා මේ වගේ දරුවන්ට නම් මේ ජල සාගරයෙන් එතෙර වන්නා සේ සංසාර සාගරයෙන් තමන් එතෙර වෙලා අන් අයත් එතෙර කරන්න පුළුවන්. මහ බෝසත් සිත් පහළ කරගෙන පාරමී පුරන්ට පුළුවන් ඇත්තො කියලා. අධිෂ්ඨාන කරනවා. ඒ චිත්තබලය ඇතිව තමයි මේ දරුවා දින හතකින් අම්මා ව සාගරයෙන් එතෙර කළේ. සාගරයෙන් එතෙරකළ මේ අම්මා, දරුවාට කියනවා ‘පුතේ මේ වයස්ගත මගේ ජීවිතය ගැන හිතා, නුඹගේ ජීවිතය ගැන පමණක් හිතන්නේ නැතිව මේ සාගරයෙන් මාව එතෙර කළා. මගේ රත්තරං පුතාට එක අම්මා කෙනෙක් නෙවෙයි.

අම්මලා සියදහස් ගණන් සහිත මේ ලෝකයා ම සංසාර සාගරයෙන් එතෙර කරවන්නට මතු ලොව්තුරා බුදු බව ලැබේවා’. මේ අම්මාගේ ආශිර්වාදය මේ දරුවාගේ සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු දක්වා විනිවිදයමින් බෝසත් සිතක් පහළ වුණා. මීට කලින් නැති, මීට කලින් පහළවෙලා නැති, අදහසක්වත් නොතිබුණ බෝසත් සිත පහළ වෙලා ප්‍රීති වාක්‍යයක් ඉදිරිපත් වුණා.

“බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝ හං මෝචයේ පරේ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා’

මේ සංසාරේ නමැති රෝගය මහත් බයක්. මහත් බිය කරුයි. එ නිසා ම ‘බුද්ධෝ හං බෝධයිස්සාමි’ මම පළමුවෙන් ම ලොව්තුරා බුදු වී මේ ලෝක සත්වයන්ට මේ ධර්මය අවබෝධ කරන්නෙමි. ‘මුත්තෝ හං මෝචයේ පරේ’ මේ සංසාර සාගරයෙන් මම එතෙර වෙලා අනෙක් සත්වයන් ද අත මුදවන්නෙමි. ‘තිණ්ණෝ හං තාරයිස්සාමි’ මහා සාගරයෙන් මම එතෙර වෙලා අන් අය ද එතෙර කරවන්නෙමි කියන ප්‍රීති වාක්‍ය පහළ වුණා. පින්වතුනි, එදා පටන් උන්වහන්සේ අසංඛෙය්‍ය හතක් තුළ බුදු පියාණන් වහන්සේලා එක් ලක්ෂ විසිපන්දහසක් මුණ ගැසුණා.

ඒ අසංඛෙය්‍ය හතක් තුළ බුදුරජාණන් වහන්සේලා එක්ලක්ෂ විිපන්දහසක් මුණගැහිලා ඒ බුද්ධශාසනයන් හි මහණ වෙමින්, දානාදී කුසල් කරමින්, සීල ආදි ගුණ පිළිවෙත් වඩමින්, ප්‍රතිපත්ති පුරමින් සිතින් පමණක් අධිෂ්ඨාන කළා. මටත් මතු අනාගතයේ දී බුදුබව ලැබේවා කියන ප්‍රාර්ථනාව. එසේ සිතින් බුදු බව පතල පාරමී පිරුණාට පස්සේ උන්වහන්සේ දැන් වචනයෙන් බුදු බව පතන්න පටන් ගන්නවා. එසේ වචනයෙන් බුදු බව පතන්න පටන් අරගෙන අසංඛෙය්‍ය නවයක් යනතුරු බුදුපියාණන් වහන්සේලා හමුවෙනවා තුන්ලක්ෂ අසූ හත් දාහක්. මේ තුන්ලක්ෂ අසූහත් දහසක් පමණ වූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනයන්හි දී දන් දෙමින්, සිල් රකිමින්, භාවනා කරමින්, මහණදම් පුරමින්, ත්‍රිපිටක ධර්මය ඉගෙන ගනිමින්, දරා ගනිමින්, අනුගමනය කරමින්, ධර්ම දේශනා කරමින්, අප්‍රමාණ ව පින් කුසල් රැස්කරගෙන පැමිණියා අපේ මහා බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ එසේ පාරමී පුරාගෙන පැමිණියාට පස්සෙ තමයි දීපංකර පාද මූලයේ දී සුමේධ නමින් උප්පත්තිය ලබා උන්වහන්සේට නියත විවරණ ලැබුණේ.

මේ සුමේධ තාපස තුමා කියලා කියන්නේ බොහෝ ම බලසම්පන්න බ්‍රාහ්මණ වංශිකයෙක්, තමන් සතු විශාල ධනස්කන්ධයක් තිබුණා. අම්මයි, තාත්තයි දෙන්නා මේ දරුවාගේ තරුණ වයසේ දී ම හදිසියේ මිය පරලොව ගියා. ඒ සියල්ලක් ගැන ම කලකිරුණු මේ බෝසතාණන් වහන්සේ, මේ බෝසත් දරුවා ඒ භාණ්ඩාගාරයන් භාරව සිටින ඇත්තො ගෙන්නල රත්තරන්, රිදී, මුතු, මැණික්, කහවනු ආදී වටිනා සම්පත් සියල්ලක් ම අරගෙන දුගී මඟී යාචක අසරණයන්ට සියල්ලක් ම දන් දීලා උන්වහන්සේ හිමාල වනාන්තරයට ගියා, මහණදම් පුරන්නට. එසේ ගිහින් ටික දවසක් යන විට තමන්ට තිබුණ මහා සැප සම්පත් ඇති මාළිගය වගේ වස්තු ඒ වගේ ධන සම්පත් සියල්ල අයින්කරල යන ගමනේ දී විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවල තිබුණ ආශ්‍රම පථයක්. මේ පථයට ගිහින් තාපසයන්ට අදාළ වූ වස්ත්‍ර ඇඳගෙන ඒ වස්ත්‍ර පෙරවාගෙන පුදුමාකාර සැහැල්ලු ජීවිතයක් ලැබුවා. සියල්ල ම අත්හැරියා කියලා හිතේ සතුට ඇතිකරගෙන සාංසාරික පුරුද්දටත් අනුව කසිණ භාවනා වැඩුවා තම නිවසේ දී ම.

කසිණ භාවනාව වඩලා ඒවා දහහතර ආකාර වශී ක්‍රමය පුරුදු කරලා පංච අභිඥාවන් උපදවා ගත්තා. එසේ පංච අභිඥාවන් උපදවාගෙන බොහෝම සැහැල්ලු ජීවිතයක් ගතකරන කාලේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වුණේ.

පසළොස්වක, අවඅටවක, අමාවක සහ පුර අටවක යන සතර පෝදා දිනයන්හි ම පළවන ලිපි මාලාවේ සිව්වන කොටස මෙසේ පළවේ. මෙහි පස්වෙනි කොටස නොවැම්බර් 03 වන දා ඉල් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවේ.