Print this Article


අධිපතිධර්ම සහජීවනය

අධිපතිධර්ම සහජීවනය

"අධිපති ධර්ම සමාජ සාමය, සමගිය, සහජීවනය ඇතිකිරීමට සමත් වේ. එමෙන් ම නීතිය, සාමය එකමුතුකම මේ තුළින් ඇති වේ. ඕනෑම ක්‍රියාවක දී මෙම අධිපති ධර්මතාවයන් මත පිහිටා කටයුතු සිදුවන්නේ නම් අනවශ්‍ය ගැටුම් ඇති නොවේ. ශිෂ්ට සමාජයක ජන කොටස් විසින් මෙය නො ඉක්මවා කටයුතු කළ යුතු ය. "

ආධිපතෙය්‍ය සූත්‍රයෙහි අධිපතිධර්ම තුනක් හඳුන්වාදී ඇත. අත්තාධිපති, ලෝකාධිපති, හා ධම්මාධිපති යනුවෙනි. මෙම අධිපති ධර්ම සමාජ සාමය, සමගිය, සහජීවනය ඇතිකිරීමට සමත් වේ. එමෙන් ම නීතිය, සාමය එකමුතුකම මේ තුළින් ඇති වේ. ඕනෑම ක්‍රියාවක දී මෙම අධිපති ධර්මතාවයන් මත පිහිටා කටයුතු සිදුවන්නේ නම් අනවශ්‍ය ගැටුම් ඇති නොවේ. ශිෂ්ට සමාජයක ජන කොටස් විසින් මෙය නො ඉක්මවා කටයුතු කළ යුතු ය.

හෘද සාක්ෂියට එකඟවීම

අත්තාධිපති යනු තම හෘද සාක්ෂියට අනුව වඩා නිවැරැදි දේ සිදුකිරීම යි. මුදල, බලය, තනතුර, ජාතිය, ආගම කුලය පිළිබඳ නොසිතා කටයුතු කිරීම යි. තමාට අනුව නිවැරැදි දේ බුද්ධියෙන් සිතීම යි. එය තමාට අනුව නිවැරැදි ලෙස අදහස් වන්නේ හිතුවක්කාර මුරණ්ඩු ක්‍රියා සිදු කිරීම නොවේ. තම මතය හුවා දක්වා අනෙකා පීඩාවට පත්කිරීම ද නොවේ. ඒ තුළ ඇතිවන්නේ අසාධාරණ ස්වභාවයකි. එසේම තමා යම් පමණකට උපමාකොට ගෙන කටයුතු කිරීම ද වැදගත් ය. තමන් අකැමැති යමක් නම් එය අනෙකා වෙනුවෙන් ද සිදුකිරීම බලවත් වරදකි. අත්තනෝමතිකව දැඩි තීන්දු තීරණ ගැනීම ද, අත්තාධිපති ධර්මයට පටහැනි ය. මෙහි දී විශේෂයෙන් හෘද සාක්ෂියට එකඟව වඩා යහපත් දේ සිදුකිරීමට වගබලා ගත යුතු ය. බුදුරදුන් කාලාම සූත්‍රයේ දී කාලාමයන්ට දේශනා කළ කුසලය අකුසලය යන ඉගැන්වීම මේ සඳහා යෝග්‍ය වේ.

“කාලාමයෙනි, මේ දහම් කුසල් ය. මේ දහම් නිවැරැදි ය. මේ දහම් පිළිපැදීම නිසා යහපත් ප්‍රතිඵල ලැබේ. සැප ලැබේ.”

මෙහිදී අකුසලෙන් ඈත්ව අයහපතින් වෙන් වී කටයුතු කිරීම අවධාරණය කෙරේ. තව ද අකුසල් අයහපත නිසා දුක්ඛ වේදනා නො අඩුව ලැබෙන බව සිහිපත් කරගත යුතු වේ.

තීන්දු තීරණ හිතුමනාපයට නොගත යුතු වේ. තර්කානුකූලව සිතා බලා හේතුන් සහිතව නිගමනයන්ට බැසිය යුතු වේ. සාමූහික තීන්දු තීරණයන්ට එළඹිය ත් තමන් නිවැරැදි නොවන අවස්ථාවල දී එහි සැලකිය යුතු පංගුවක් තමන්ට හිමි වේ. එම තීන්දු තිරණ යහපත් නම් විඳීමට හැකිවන අතර අයහපත්නම් විඳවීමට සිදු වේ. යථාර්ථවාදීව සිතා නො බලා තමන්ගේ සැපය පමණක් සිතා කටයුතු කිරීම බුදු දහමට එකඟ නොවේ. තමාට අනුව තීන්දු තීරණ ගැනීමේ දී අනෙකාට අයහපතක්, අසහනයක් ඇති නො විය යුතු වේ. බුදුරදුන් බොහෝ නීති රීති විනය කලාවන් අනුදැන වදාළේ එවන් යහපත් පදනමක පිහිටා සිට ය. නීතිරීති, අණ පනත් සැකසීමේදී තමන් ද එයට යටත්වීමට අවශ්‍ය බව මතකයේ තබා ගත යුතු වේ. එසේ නොමැති නම් එවන් විනය ශික්ෂාවන් නො පැනවිය යුතු වේ.

යම් ක්‍රියාවක් සිදුකිරීමේ දී එය දෙලොව අයහපත සඳහා හේතුවන්නේ නම් ඉවත්වීමට වගබලාගැනීම ද අන්තාධිපති ධර්මයකි. විඤ්ඤාණික මිනිසුන් ලෙස එසේ කටයුතු කළයුතුව ඇත. ඒ සෑම අවස්ථාවකම බුද්ධිය මෙන්ම කරුණාව ඉදිරිපත්වීම අවශ්‍ය ය.

සදාචාර සීමාව

සමාජයෙහි ඇති පිළිගැනීම්වලට අනුව කටයුතු කිරීම ලෝකාධිපති ධර්මය යි. සමාජ පිළිගැනීම් සදාචාර සීමාවන් උල්ලංඝනය කොට කටයුතු කිරීමට කිසිවෙකුට හෝ උචිත තත්ත්වයක් නොවේ. එය එසේ වුවද යම් සමාජයක ඇති ඇතැම් පිළිගැනීම් වැරැදි සහගතනම් එය ක්‍රියාත්මක කිරීමට යාම මේ යටතට නො වැටේ. සමාජය අනුමත කරන ක්‍රියා යහපත් මෙන්ම ධර්මයට අනුව පින් ය. අනුමත නො කරන ක්‍රියා පව් හෙවත් නරක ක්‍රියාවන් වේ. සමාජ සම්මතයන් ඉක්මවා කෙනෙකුට පැවැතිය නො හැක. උකුස්සෙකුට, කඟවේනෙකුට එසේ සිටිය හැකි මුත් මිනිසාට එසේ කටයුතු කළ නො හැක. සමාජයේ බහුතරය අනුමත කළද එය දෙලොව ඇවැඩ ඇති කරන්නක් නම් ඉන් බැහැර වීම අවශ්‍ය ය.

බාධාවක් නොවන නිදහස

බොහෝ ක්‍රියාවන් තුළදී තමා මත පමණක් පිහිටා කටයුතු කිරීම බුද්ධිගෝචර නොවේ. රටකනම් සංස්කෘතිය ආචාර ධර්ම සිරිත් විරිත් ආදියට එකඟව ක්‍රියා කිරීම අවශ්‍ය වේ. එසේ නොවන අවස්ථාවල දී අනවශ්‍ය ගැටුම් ඇතිවීම සාමාන්‍යය වේ. සෑම කෙනෙකුට ම නිදහසක් ඇති වුවද එම නිදහස අනෙකාගේ නිදහසට බාධාවක් නොවිය යුතු වේ. තමා සතු හැරමිටිය කරකැවිය හැකිමුත් එය අනෙකාගේ නාසය ළඟින් කෙළවර විය යුතු ය. එසේ නොවන විට ගැටුම් කලකෝලාහල වීම නො වැළැක්විය හැකි ය. සංස්කෘතික මංගල්‍යය, නිවෙස් තුළ ඇති උත්සව ආදියට ද මේ තත්ත්වය පොදු ය. පිරිත, ආශිර්වාද පින්කමක් වුවද එයද අනෙකාට බාධාවක්, හිරිහැරයක් නොවන සේ සිදු කිරීම අත්‍යවශ්‍ය ය. කෙනෙකු සුවපත් වන දෙයක් වුව ද අනෙකාගේ අප්‍රසාදයට පත්වන ලෙස සිදු නොවීමට වගබලා ගැනීම ඉතා යෝග්‍ය වේ. කෙනෙකු ට දවසකට හත් අටවතාවක් වුවද ආගම සිහිපත් කළ හැකි ය. එහෙත් ඒ තුළ තවත් පිරිසකට පාඩු අලාභ සිදුනොවි ය යුතු වේ. වාහනයකට නලාවක් තිබූ පමණින් තැන නොතැන නොබලා එය නාද නොකර යි. යහපත් රියදුරන් නලාව පාවිච්චි නොකරන තරම් ය. තමාට යම් ගමනක් වෙලාවටම යා යුතු නම් තරමක් වේලාසනින් පිටත්වීම බුද්ධිගෝචර වේ. එසේ නොකර මග තොටේ දී ගැටුම් හදා ගැනීම නුසුදුසු ය. රටක ආයතනයක දියුණුව ඇතිවන්නේ අන්‍ය මතයට ගරු කිරීම, අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීම සහ විකල්ප අදහස් වලට ඉඩහසර වෙන් කිරීම මත ය. තමා පමණක් සිටිය යුතු ය. තම මතය පමණක් සාධාරණ ලෙස සිතීම ඉතා අවදානම් ය. එහෙයින් ලෝකාධිපති ධර්මයන් පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු වේ.

දහමට එකඟ නොවන දේ

ධර්මාධිපති ධර්මයට අනුව කටයුතු කිරීම බොහෝවිට පුද්ගලයා වරදෙන් ඉවත් කිරීමට සමත් වේ. මෙය යහපත් ද අයහපත් ද වශයෙන් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් වේ. දහමට එකඟ නොවන දේ සිදු නො කිරීමට ඒ දර්ශන විශ්වාස කරන්නන් විසින් වගබලා ගැනීම මහත් සමාජ සත්කාර්යකි. ආගමක් හෝ දර්ශනයක් අවශ්‍ය වන්නේ යහපත් සමාජයක් නිර්මාණය කිරීමට මිස සමාජය භේද භින්න කිරීමට නොවේ.

කරන කියන දෑ දහමට එකඟ ද නැද්ද තීරණය කිරීම පිළිබඳ අනුගමනය කළ යුතු ආකාරය කාලාම සූත්‍රයේ දී බුදුරදුන් පැහැදිලි කළහ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කිරීම නිසා තමන්ට යහපතක් වේ ද සමාජයට යහපත් සිදුවේ ද යන්න නිතර විමසීම ඉතා යහපත් ය. එසේ තමන්ගෙන්ම ප්‍රශ්න කිරීම තුළින් යහපත අයහපත තේරුම් ගත හැකි ය. රාහුලෝවාද සූත්‍රයේ දී කැඩපත උපමාකොට රාහුල හිමියන්ට ලබාදෙන අවවාදය ද මේ හා සමාන වේ. කායික ක්‍රියා, මානසික ක්‍රියා මෙන්ම වාචසික ක්‍රියා පිළිබඳ නැවත නැවත මෙනෙහි කොට කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

පටු වුවමනාවන්

ලෝක ඉතිහාසයේ කිසිදු ශාස්තෘවරයෙක් අනෙකාට අයහපත් වන දෑ සිදු කිරීමට අනුමැතිය ලබා දී නැත. ඒ අතර බුදුරදුන් ඉතා සුවිශේෂී වේ. පසුකාලීනව භාවිතය තුළ ඇතැමුන් මෙම ඉගැන්වීම් තම පටු වුවමනාවන් වෙනුවෙන් භාවිත කොටගත්හ. මූල ධර්මවාදී කණ්ඩායම් සෑම ජන කොට්ඨාසයක ම ඇත. ඊට ආගම, ජාතිය, භාෂාව අදාළ නොවේ. ධර්මයෙහි නාමයෙන් දහමට පටහැනි එවැනි ක්‍රියාකාරකම් හඳුනා, තෝරාගෙන කටයුතු කිරීම ඉතා වැදගත් ය.

මෙම ආධිපත්‍ය ධර්ම වෙන වෙනම සාකච්ඡා කළ ද ක්‍රියාකාරීත්වයේ දී එකට යොදාගත යුතු ය. සෑම ක්‍රියාවක් ම සිදු කිරීමට යෑමේ දී එය තම හෘද සාක්ෂියට, ලෝක ධර්මතාවයන්ට මෙන්ම තම දර්ශනයට එකඟ ද, යන්න සලකා බැලිය යුතු ය. එසේ නො ගැළපේ නම් එවන් ක්‍රියාවන්ගෙන් ඉවත්විය යුතු ය. එසේ වීම නිසා සමාජයට මොනම ආකාරයකින් වත් හානියක් අපහසුවක් ඇති නොවේ. ඒ තුළ සමඟිය සාමය සහජීවනය ආරක්ෂා වේ. සැවොම විරිය වැඩිය යුත්තේ එවන් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ය.