Print this Article


දැනගෙන කළයුතු පින්කම්

දැනගෙන කළයුතු පින්කම්

" කඨිනානිසංස විඳින විට, වෙනත් අකුසල කර්මයක විපාකයන් පලදීමට අසමත් වෙයි. එහෙයින් කඨින පින්කම මහා බලගතු අනුසස් ලැබෙන පින්කමකි.විනයානුකූලව කඨින පූජාව සිදු වන්නේ, ගිහි හෝ පැවිදි සැදැහැ ඇත්තෙක් කඨිනාස්තරණයට නියමිත කාලය තුළ, පෙර වස් වැස පවාරණය කළ භික්ෂු සංඝයා විෂයෙහි හිරු උදාවන වේලෙහි කඨිනය පිණිස වස්ත්‍රයක් හෝ චීවරයක් පූජා කිරීමෙනි. කඨින පූජාව විනය කර්මයකි."

ජීවිතය පවත්වාගෙන යාමට ආහාර, ජලය, වාතය වැනි දෑ අවශ්‍යයෙන් ම තිබිය යුතු සේ ම, පින ද හැම කෙනෙකුට ම අවශ්‍යයෙන් ම තිබිය යුතු සාධකයෙකි. කොපමණ ධන සම්පත් තිබුණත්, බල පුළුවන්කාරකම් තිබුණත් පින නැතිනම් ජීවිතය වුව ද පවත්වාගෙන යාමට නොහැක.

‘සුඛස්ස ඒතං අධිවචනං පුඤ්ඤං’ යනුවෙන් පින නම් සැපයට යොදන තවත් නමකැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ද එබැවිනි. ආයු, වර්ණ, සැප, බල ආදී ලෞකික සියලු සම්පත් ළඟා කර දීමට පිනට හැකියාව තිබේ. අප යමක් කරන්නේ එයින් කිසියම් ප්‍රතිඵලයක්, ප්‍රතිලාභයක් ලැබේ නම් පමණි. පින්කමක නිරත වන්නන්ට ද කිසියම් ප්‍රතිලාභයක් තිබිය යුතුයි. ගොවිතැනෙහි නිරත වන ගොවියෙකු අස්වනු ලබන ක්‍රම තුනක් පිළිබඳ ව, බුදුරජාණන් වහන්සේ ඛෙත්තූපම සූත්‍රයෙන් අනාවරණය කොට තිබේ. එක් ගොවියෙකු, ගොවිතැනට ආයෝජනය කළ මුදලවත් උපයා ගැනීමට නොහැකි ව පාඩු ලබයි. තවකෙනෙක් වැයකළ මුදලට සරිලන ප්‍රමාණයේ අස්වැන්නක් ලබයි. මේ අතර තවත් කෙනෙක් බලාපොරොත්තු වූ ප්‍රමාණය ඉක්මවා අධික ලාභයක් උපයා ගැනීමට සමත් වෙයි.

මෙසේ විවිධත්වයක් ඇතිවීමට බලපාන හේතු කීපයකි. එනම් ගොවියාට ලැබෙන කුඹුරේ ස්වභාවය, බීජවල ප්‍රරෝහණ ශක්තියේ අඩු වැඩි බව, කාලගුණික දේශගුණික තත්ත්වය හා ගොවියාට ගොවිතැන පිළිබඳ ඇති පළ පුරුද්දේ අඩු වැඩිකම යන, සාධක ඒ අතර ප්‍රමුඛ වෙයි. ගොවිකම පිළිබඳ මනා පළපුරුද්දක් හා අත්දැකීමක් ඇති ගොවියෙකුට, මුලින් දක්වන ලද සාධකත් සම්පූර්ණ වුවහොත්, ඔහුට අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා වැඩි අස්වැන්නක් ලබාගත හැක. පින්කම් කරන අයටත් පින් සිද්ධ වන්නේ ද එලෙසිනි. බොහෝ වියපැහැදම් කොට පින්කම් කළත්, ඇතැමුන්ට පින්සිද්ධ නොවේ.

ඇතැමෙකුට අපේක්ෂා කළ පින අත්කර ගැනීමට හැකියාව ලැබේ. තව කෙනෙකුට බලාපොරොත්තු වූ පමණට වඩා වැඩි පිනක් අත්කර ගත හැකිවෙයි. කොතරම් ධනය විය පැහැදම් කළත් අවබෝධයෙන් තොරව පින්කම් කළොත් පින් සිදු නොවෙන බව වේලාම සූත්‍රයෙන් පෙන්වා දී තිබේ. වේලාම ගෘහපතියා කිසිවෙකුත් නොදුන් ආකාරයේ දන් වැටක් දුන්නත්, දානය ලබාගත් අය අතර සිල්වත් එක පුද්ගලයෙකු හෝ නොසිටි නිසා, ඔහුගේ පින්කම නිරර්ථක වූ බව එහි සඳහන් වෙයි. පින්කමක නිරත වන්නාට තමන් කරන පින්කම පිළිබඳ නිරවුල්, පැහැදිලි අවබෝධයක් තිබිය යුතු යි. වර්තමානයේ ඇතැම් පින්කම් කෙරෙන ආකාරය දෙස බලනවිට, පින්සිදු වන ආකාරයට සිදු නොවන බවක් පෙනෙයි. සිහියෙන් යුතුව කිසියම් ක්‍රියාවක නිරතවන විට සිතේ ඇතිවන සිතිවිලි සමූහයේ ශක්තිය, පින හෝ පව බවට පත්වෙයි.

තථාගතයන් වහන්සේ ඇතුළු ආර්යයන් වහන්සේලා විසින් කළයුතු යැයි අනුදැන වදාළ කටයුත්තක නිරතවීමෙන්. පින්සිදු කරගත හැකිවෙයි. ඒවා සමචරියා ලෙස දහමෙහි සඳහන් වන අතර, එසේ නොවන ක්‍රියාවල යෙදීමෙන් පව්සිදු වේ. එවැනි ක්‍රියා විෂම චරියා නම් වෙයි. සිදුරු නොවූ කළයකට ජල බිංදුව බිංදුව වැටීමෙන් කළය පිරී යන්නාසේ, කුඩා වුව ද පින්කම්, නිතර නිතර කර ගැනීමෙන් පිනෙන් පිරීයයි.

රූපවාහිනී වැඩසටහනක් නරඹන විට ඔබට එහි පසුතලයක් දැකිය හැක. පසුතලය වැඩ සටහන නොවේ. එය වැඩ සටහනේ එක් කොටසක් පමණි. පින්කම්වල ද පසුතලයක් තිබේ. නිවෙසක පින්කමක් කෙරෙන විට නිවස අලංකාර කොට පිරිසුදු කිරීම, නිවසෙහි බඩු භාණ්ඩ අතරින් නොගැළපේයැයි සිතන භාණ්ඩ බැහැර කොට වෙනත් තැනක තැබීම, විදුලි බුබුළු යෙදීම, කොඩිවැල් ඇදීම, ගොක් රෑන් ඇදීම ආදී සැරසිලි කිරීම ආදී සියල්ල ඇතුළත් වන්නේ, පසුතල සැකසුමටයි. අද බොහොමයක් පින්කම්වල දී වැඩි මුදලක් යොදන්නේ ද මේ පසුතල සැකසීමටයි. පින්කමක් කෙරෙන නිවසත්, විවාහ මංගල්‍යයක් කෙරෙන නිවසත් වෙන්කර හඳුනා ගත නොහැකි තරමට සැරසිලි කරති. ඒ සඳහා වෙන්වුණු ව්‍යාපාරික ආයතන ද දැන් තිබේ. එමෙන් ම බොහෝ තැන්වල පින්කමට සහභාගී වීමට පැමිණෙන අයට සංග්‍රහ කිරීම, පින්කමේ අත්‍යවශ්‍ය හා ප්‍රමුඛ කාර්යයක් කරගෙන තිබේ. පැමිණෙන පිරිසට සංග්‍රහ කිරීම්, බෞද්ධ සංස්කෘතිකාංගයක් මිස පින්කමට අදාළ කටයුත්තක් නොවන බව දන්නේ ස්වල්ප දෙනෙකි.

අනාගතයේ දී කෑම වේලක් නොදෙන පින්කමකට සහභාගි කරවීම ද ගැටලුවක් වෙයි. පින්කම කර ගැනීමට වුවමනාව ඇති දායකත්වය දරණ පිරිස ද, පින්කමේ නිරත නොවී එන යන අය පිළිගැනීම, කතා බහ කිරීම හා සංග්‍රහ කටයුතුවල යෙදීම් ආදියට ප්‍රමුඛ තැනක් ලබා දෙති. එහි අවසාන ඵලය වන්නේ පින්කමට දෙවන, තෙවන ස්ථානය හිමිවීමයි. කඨින පින්කම්වලට ද බොහෝ විට මෙම තත්ත්වය උද්ගතව තිබෙන බව, ඇතැම් කඨින පින්කම් සිදු කෙරෙන ආකාරය දෙස විමසිල්ලෙන් බලන විට පෙනීයයි.

බොහෝ විට කඨින චීවර පූජාවට වඩා පෙරහර පැවැත්වීම, දහස් ගණනක් විදුලි බුබුළුවලින් විහාරස්ථානය ඒකාලෝක කිරීම, ලක්ෂ ගණනක් මුදල් වැයකොට විහාරස්ථානයේ කුමන හෝ දෙයක් ඉදි කිරීම වැනි, අවශේෂ කටයුතු කඨින පින්කමේ ප්‍රමුඛ හා අනිවාර්ය අංග බවට පත්කර ගෙන තිබේ. මේ තත්ත්වය නිසා ඇතැම් විහාරස්ථානවල වස් ආරාධනා කරන පිරිස, ලක්ෂ දහයක් දොළහක් වැය කළහැකි පිරිසක් විය යුතුව තිබේ. වස් ආරාධනාවත් සමඟ කඨින සිවුරයැයි සකසාගත් චීවරයක්, සතිපතා වස් කාලය තුළ නිවෙස්වෙත ගෙනගොස්, පුද පූජා පවත්වන අවස්ථා පිළිබඳවද තොරතුරු ලැබී තිබේ. කඨිනය යන්නට අර්ථ නිරුක්ති රාශියක් තිබේ. කර්කෂ, රළු, ගොරෝසු, තද, තියුණු, වැඩුණු හා ගැඹුරු යනු එයින් කීපයකි. නාගිතාපදානයට අනුව මහා පෘථිවිය මෙන් කම්පා නොවෙන, මහාමේරු පර්වතය මෙන් නොසැලෙන, වජ්‍ර පර්වතයක් මෙන් ඝණ වූ නොබිඳෙන හෙයින් කඨිනය යැයි දක්වා තිබේ. මෙම විස්තරයට අනුව කඨිනය අරුත් ගන්වා ඇත්තේ, එහි අනුසස් පැත්ත සැළකිල්ලට ගෙන බව පෙනෙයි.

කඨිනානිසංස විඳින විට, වෙනත් අකුසල කර්මයක විපාකයන් පලදීමට අසමත් වෙයි. එහෙයින් කඨින පින්කම මහා බලගතු අනුසස් ලැබෙන පින්කමකි.විනයානුකූලව කඨින පූජාව සිදු වන්නේ, ගිහි හෝ පැවිදි සැදැහැ ඇත්තෙක් කඨිනාස්තරණයට නියමිත කාලය තුළ, පෙර වස් වැස පවාරණය කළ භික්ෂු සංඝයා විෂයෙහි හිරු උදාවන වේලෙහි කඨිනය පිණිස වස්ත්‍රයක් හෝ චීවරයක් පූජා කිරීමෙනි.

කඨින පූජාව විනය කර්මයකි. සුදුසු වස්ත්‍රයක් ඒ සඳහා ලැබුණොත් එය භික්ෂූන් එකතුව, සිවුරක් බවට පත් කරති. ඊට සම්බන්ධ වන සංඝයාට දානය පිරිනැමීම, කඨින දානය බව විනය අට්ඨ කතාවේ සඳහන් වේ. මේ සඳහා යොදා ගනු ලබන අට පිරිකර, අවශේෂ පිරිකර, ගරු භාණ්ඩ, කප්රුක් ආදිය කඨින පූජා නමින් ම හැඳින් වේ. එකී පූජාවන් ගෙන් දායක පිරිසට, කඨිනානිසංසම ලැබිය හැක. වැඩිදෙනෙකුගේ සහභාගීත්වය ඇති ව, දකින්නන්ගේ සැදැහැ ගුණය වැඩි දියුණු වන ආකාරයෙන් පින්කම් සැලසුම් කරගෙන කිරීමේ කිසිදු වරදක් නැත.

පින්කම කරන්නාට එය කරදරයක්, අපහසුවක් ඇති කරන්නේ නම්, එහි කිසියම් අඩුවක් තිබෙන බව කිව යුතු ය.

පින්කමක වටිනාකම රඳා පවතින්නේ ඒ සඳහා වැය කරන මුදලේ ප්‍රමාණය මත නොවේ. සහභාගී වන පිරිසේ අඩු වැඩි බව මත ද නොවේ. පින්කම් කරන අයට, තමන් කරනු ලබන පින්කම පිළිබඳ නිසි අවබෝධයක් තිබිය යුතු ය.

දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග යැයි පැරණි කියමනක් තිබේ. එය පින්කමටද එලෙසින් ම වලංගු වෙයි. පින්කම් දැන දැන ම කළයුතු ය. අනුසස් ලැබෙන්නේ පින්කම කරනු ලබන්නන් තම සිත, පින්කම විෂයෙහි යොදාගෙන, සෝමනස්ස සහගත බවක් ඇතිකර ගැනීම තුළිනි.