Print this Article


කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂික ඇසළ මහා පෙරහර 15 දා

කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂික ඇසළ මහා පෙරහර 15 දා

කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මෙම 15 වනදා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ය .

ඒ නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. 9 වනදා ගණදෙවි ප්‍රතිමාව රැගත් පෙරහර බම්බලපිටිය ගණදෙවි කෝවිල දක්වා ගමන් කිරීමද, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද, 10 වනදා කොළඹ මහානාම විද්‍යාලයේ සිට මල්පෙරහර විහාරස්ථානයට පැමිණීමද, 11 වනදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිට මල් පෙරහර විහාරස්ථානයට පැමිණීමද ,12 වනදා කොළඹ රාජකීය විද්‍යාලයේ සිට මල්පෙරහර විහාරස්ථානයට පැමිණීමද , 13 වනදා කොල්ලුපිටිය පොලිස්ස්ථානයේ සිට මල් පෙරහර පැමිණීමද, 14 වනදා බෝධි පූජාව දහම් දෙසුම හා පාවාඩ පෙරහරද, 15 වනදා අවසන් මහා පෙරහර වීථී සංචාරය කිරීමද සිදු කෙරේ.


අපමණ සතුටට කරුණක්

රටක වටිනාකම් තීරණය කිරීමට යොදා ගන්නා මිනුම් දඬු අතර එරටෙහි ඇති අධ්‍යාත්මික සංවර්ධනය ද එකක් ලෙස පිළිගැනේ. අධ්‍යාත්මික සංවර්ධනය ඇති වන්නේ හුදෙක් ආගමික අදහස්වලින් පමණක් ම නොවේ. ජනකණ්ඩායමක් විසින් සාධුත්වයෙන් පිළිගෙන අනුගමනය කරනු ලබන සංස්කෘතිය ද ඔවුන්ගේ අධ්‍යාත්මිකත්වයේ ස්වභාවය ප්‍රකට කරයි. සිංහල බෞද්ධ සමාජයේ අධ්‍යාත්මික සංවර්ධනය ප්‍රකට කරන තවත් එක් අවස්ථාවක් ලෙස පෙරහර සංස්කෘතිය හැඳින්විය හැකි ය.

කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහරේ අරමුණ වන්නේ ධාර්මික විනෝදාස්වාදය සපයමින් බෞද්ධ සමාජය තුළ ශ්‍රද්ධාව වර්ධනය කිරීම ය. ජනාකීර්ණ මෙන්ම කාර්ය බහුල ප්‍රජාවක් වාසය කරන කොළඹ වැනි නගරයක එම ජනතාවගේ මානසික සමබරතාව රැක ගැනීමට මෙබඳු පෙරහරකින් ලැබෙන්නේ ඉමහත් අනුබලයකි. අනෙක් අතට බහුවාර්ගිකත්වයක් සහිත කොල්ලුපිටිය වැනි ප්‍රදේශයක පෙරහරක් පැවැත්වීමමෙන් එකී ජාතීන් අතර සමඟි සම්පන්න බවද වැඩේ.

කොල්ලුපිටිය වාළුකාරාමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර කොළඹ අග නගරය ආලෝකමත් කරන පැරණිතම බෞද්ධ පෙරහර අතර ප්‍රමුඛ පෙරහරකි. මෙහි නිර්මාතෘවරයාණන් වහන්සේ කොල්ලුපිටිය වාළුකාරාමාධිපතිව වැඩ විසූ ගරුකටයුතු නිවන්තිඩියේ ආනන්ද හිමිපාණන් වහන්සේ ය.

උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ වන කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරයන්හි ආධිපත්‍යය හොබවන කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය දරන අප සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය සරභඤ්ඤ විශාරද පරිත්තධජ අපේ මහරගම නන්ද නායක ස්ථවිරපාදයන් වහන්සේ තම ගුරුදේවයන් වහන්සේ ආරම්භ කොට පවත්වාගෙන ආ මෙම සංස්කෘතික මංගල්‍යය නොකඩකොට පවත්වා ගෙන යාම අපමණ තුටට කරුණකි.

පෙරහර වනාහි තුනුරුවන් විෂයෙහි කරනු ලබන උපහාර උත්සවයකි. එනිසා එය ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රද්ධාව මූලික කරගෙන ය. බුදුරජාණන් වහන්සේ වීදි සැරීම පෙරහරෙන් සංකේතවත් කෙරේ.

පෙරහරක විශේෂය වන්නේ බුදුදහම හා දේශීය කලාව සුසංයෝග කිරීම ය. අතීත පරම්පරාවන් විසින් දේශීය සිංහල කලාවට එකතු කර ඇති වටිනාකම් සුරක්ෂිත කිරීම වර්තමාන පරම්පරාවේ වගකීමකි. පෙරහර දේශීය සංස්කෘතිකාංග ප්‍රදර්ශනය කරන අතර පෙරහර පැවැත්වීමට දායකවීම සංස්කෘතිකාංග ආරක්ෂා කිරීමට දායක වීමක් ලෙස ද සැලකිය හැක. අනෙක් අතට පෙරහරක අරමුණ වන්නේ රටට හා ජනතාවට ආශිර්වාද කිරීම ය.


සංස්කෘතික සන්හිඳියාවේ නිරූපණයකි

පෙරහර වූ කලි මානව සංස්කෘතික සබඳතා රසාවේශයෙන් හා සන්හිඳියාවෙන් පණ ගන්වන කලාත්මක විචිත්‍ර මංගල්‍යයක් සේ හැඳින්වීම නිවැරැදිය. සංස්කෘතියෙන් හික්මුණු මනසක් නැති විදග්ධයන් එහි අගයක් නො දැකිය හැකි ය. එහෙත් පෙරහර නම් වූ කලාංගය, රටක සංස්කෘතික ජන මනස සහජීවනයෙන්ද, සන්හිඳියාවෙන් ද, සහානුභූතියෙන් ද පෝෂණය කිරීමට සුවිසල් මෙහෙයක් කරයි. ඒ සුවිශේෂතා අත්විඳිය හැක්කේ ජාති, ආගම් පටු සීමාවන් තුළ කොටු වී සිටීමෙන් නොව, එකී සීමා මායිම් බිඳ දැමූ ජාතික මනසකින් ඒ දෙස බැලීමෙනි.

කොල්ලුපිටියේ ශ්‍රී වාළුකාරාම විහාරස්ථානය මඟින් වසර පනස් තුනක් තිස්සේ පවත්වාගෙන එන වාර්ෂික මහා පෙරහර එබඳු ගණයේ කලා විසිතුරකින් පිරිපුන් මනස්කාන්ත සංස්කෘතික සන්දර්ශනයකි. 1963 දී අතිගරු නිවන්තිඩියේ ආනන්ද නාහිමිපාණන් විසින් අරඹන ලද මෙම පෙරහර වත්මන් විහාරාධිපති, විචිත්‍ර භාණී, සරභඤ්ඤ විශාරද මහරගම නන්ද නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි නව අංගයන්ගෙන් සංවර්ධිතව පැවැත්වීම අගය කළ යුතු කරුණෙකි.

මේ වෙනුවෙන් බම්බලපිටියේ කදිරේශන් කෝවිලෙන් දෙන අගනා සහයෝගය ආගමික සහජීවනයට නිදසුන් වේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතික කලා හා මානව ධර්ම පුනර්ජීවනයට ශ්‍රී වාළුකාරාම පෙරහර මංගල්‍යය අත්‍යන්තයෙන් ම උපකාර වේවායි ආශිංසනය කරමි.


ශාසනික සේවාවක් සිදුකරන විහාරස්ථානයකි
 

කොළඹ කොල්ලුපිටියේ ශ්‍රී වාළුකාරාම මහා විහාරය අගනුවර පිහිටි ඉතා සම්භාවනීය විහාරස්ථානයකි. සර්වභෞම පණ්ඩිත වළානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමියාණන් වහන්සේ ව්‍යවහාර වර්ෂ 1834 දී මෙම විහාරස්ථානය ආරම්භ කරන්නට යෙදුන අතර මේ දක්වා ඉතා මාහැඟි ලෝක ශාසනික සේවාවක් සිදු කරන විහාරස්ථානයකි.

ස්‍යාම වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවට අයත් මෙම වටිනා විහාරය මහනුවර මල්වතු මහා විහාරයටත් අත්‍යන්ත සම්බන්ධතාවක් ඇතිව කටයුතු කරනු ලබයි. ශ්‍රී වාළුකාරාම ඇසළ පෙරහර මංගල්‍යය 1963 දී එවකට විහාරාධිපතිව වැඩ විසූ ගරු කටයුතු නිවන්තිඩියේ ශ්‍රී ආනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ආරම්භ කරන්නට යෙදුණි.

මේ වර්ෂයේ දී මෙම පෙරහර (53 වැනි වරට) විචිත්‍රභාණි කොල්ලුපිටියේ ශ්‍රී වාළුකාරාම විහාරාධිපති ‘සරභඤ්ඤ විශාරද’ – ‘සද්ධර්මකීර්ති ශ්‍රී පරිත්තධජ’ – ‘කම්මවාගාචාර්ය’ මහරගම ශ්‍රී නන්දා’භිධාන කොළඹ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඇතුළු රාජ්‍ය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමටත් කටයුතු යොදා ඇත. එම පෙරහර පූජාවේ සියලු කටයුතු සාර්ථක වේවායි ආශිංසනය කරමු.


ගෞරවයට හා පුණ්‍යානුමෝදනාවට හේතුවේ

කොල්ලුපිටිය මහානාම විද්‍යාලයට යාබදව පිහිටා ඇති වාළුකාරාම විහාරස්ථානයේ ආරම්භය 1841 වසර දක්වා දිවයයි. මාවිත්තර රේවත නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු එම විහාරස්ථානයේ ආධිපත්‍ය ආගමික, ජාතික, සාමාජික කටයුතුවල මූලික බවක් ඇතිව ක්‍රියා කළ නිවන්තිඩියේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේට හිමි විය. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක මහරගම නන්ද ස්වාමීන් වහන්සේට විහාරාධිපතිත්වය ලැබිණි. ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ කාල වකවානුවට අනුව මෙම වාලුකාරාමය සංවර්ධනය වූ අතර වර්තමානයට ගැළපෙන ලෙස තත් ශිෂ්‍ය නන්ද නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සංවර්ධනය වී ඇත.

1970 දසකයේ මුල්භාගයේ සිට අප නන්ද නායක ස්වාමීන් වහන්සේගේ ගුරුදේවෝත්තම නිවන්තිඩියේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ හිතවත්ව සමීපව ඇසුරු කරන්නට මට වාසනාව ලැබුණි. උන්වහන්සේට පින්සිදුවන්නට මටද දඹදිව වන්දනාවේ යන්නට 1979 වසරේ අවස්ථාව ලැබුණි. සිඟාලෝවාද සූත්‍රයට අනුව දෙමව්පියන් දරුවන්ගෙන් යුතුකම් පහක් බලාපොරොත්තු වෙයි. ඒ අතරින් එකකි කිච්චංනේසං කරිස්සති’ තමන්ගේ ඇවෑමෙන් පසු තමන් කර ගෙන ආ කුදුමහත් කටයුතු අඩුවක් නැතිව කරගෙන යාවි යනු එහි අදහසයි. එය පැවිදි පක්ෂයටද සාධාරණයි. ගුරුදේවයන් වහන්සේලා සිසු දරුවන් සකස් කරන්නේ එබඳු අදහසින් ය. රේවත නායක ස්වාමීන් වහන්සේගේ එම බලාපොරොත්තුව ශිෂ්‍ය ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමාණානුකූලව සිදුකළ අතර උන්වහන්සේගේ ඇවෑමෙන් තත් ශිෂ්‍ය අප හිතවත් මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ එම සේවාව දෙගුණ තෙගුණ වන ආකාරයෙන් සිදුකොට ගුරු පූජාව සම්පූර්ණ කොට ඇත.

මීට වසර 53 කට පෙර නිවන්තිඩියේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ සුළුවෙන් ආරම්භ කළ ඇසළ මහා පෙරහර මේ වන විට මහා පරිමාණ වශයෙන් සංවර්ධනය කොට තිබීම අප කාගේත් ගෞරවයට හා පුණ්‍යානුමෝදනාවට හේතු වේ. එසේ සංවර්ධනය කළ මෙම ඇසළ පෙරහර සංවිධානය කිරීම නන්ද නායක ස්වාමීන් වහන්සේට උඩවෙල කෝලිත ස්වාමීන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසෙන් සහ දායක පක්ෂයෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණ කළ නොහැක.


සහජීවනය සේ ම ජාතීන් අතර සංහිඳියාව ද ගොඩනගන වටිනා අවස්ථාවක්

කොළඹ කොල්ලුපිටියේ ශ්‍රී වාළුකාරාම විහාරස්ථ ඇසළ මහා පෙරහර මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන අවස්ථාවට සැදැහැති සැම සමඟ එක්වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව ය.

අනාදිමත් කාලයක් පුරා අපේ සංස්කෘතිය පෝෂණය කළ පෙරහර මංගල්‍යය පිළිබඳ බොදු ජන හදවත් තුළ ඇත්තේ මහත් ප්‍රසාදයකි. ආගමික ජීවිතයට වඩාත් සමීප චාරිත්‍රයක් ලෙස පෙරහර මංගල්‍යය පැවැත් වු ව ද සමාජීය වශයෙන් ඉන් ඇති කෙරෙන උද්දීපනය ද සුළු පටු නොවේ. එය වඩාත් පැහැදිලි වන්නේ අගනුවර කේන්ද්‍ර කර ගනිමින් පවත්වන පෙරහර මංගල්‍යයන් තුළිනි. ඒ සමාජීය හා ආගමික විවිධත්වය වඩාත් පිළිබිඹු වන්නේ අපේ රටේ නගරය කේන්ද්‍ර කර ගනිමින් වන බැවිනි. එනයින් සලකන විට විවිධ ජාතීන්, ආගමිකයින් එක්ව පවත්වන කොල්ලුපිටිය වාළුකාරාම ඇසළ මහා පෙරහර ද ආගමික සාමාජීය සහජීවනය සේ ම ජාතීන් අතර සංහිඳියාව ද ගොඩනගන වටිනා අවස්ථාවක් ලෙස මම දකිමි.

මෙවර අග්‍රාමාත්‍ය කාර්යාලය හා එක්ව සංවිධානය කරන පෙරහර මංගල්‍යය සැදැහැතියන් සැමට නවමු අත්දැකීමක් එක්කරන අවස්ථාවක් වනු ඇතැයි ද මම විශ්වාස කරමි.

වාළුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යයේ ආරම්භක කර්තෘන්වහන්සේ වන අපවත්වී වදාළ නිවන්තිඩිය ආනන්ද ස්වාමීන් වහන්සේ සිහිපත් කරන අතර පෙරහර සංවිධාන කමිටුවේ අනුශාසක කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක මහරගම නන්ද ස්වාමීන් වහන්සේටත්, පෙරහර භාරයේ සැමටත්, කලා කරුවන්ටත් මාගේ සුබපැතුම් පිරිනමමි.


 

දිගු කාලීනව ඉටු කරන ආගමික සහ සමාජයීය මෙහෙවර අගය කරනවා

විවිධ ආගමික, සංස්කෘතික පසුබිමකින් හෙබි ජනතාවක් වෙසෙන කොල්ලුපිටිය ප්‍රදේශයේ එම සංස්කෘතික විවිධත්වය අගයමින්, සාමය සංහිඳියාවට ප්‍රමුඛත්වය දෙමින් කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානය දීර්ඝ කාලීනව ඉටුකරන ආගමික සහ සමාජයීය මෙහෙවර මම විශේෂයෙන් අගය කරමි.

එකී මෙහෙවරේ තවත් උත්කර්ශවත් අවස්ථාවක් ලෙස 53 වන වරටත් ඇසළ මහා පෙරහර මංගල්‍යය සමස්ත කොළඹ නගරය ඒකාලෝක කරමින් පවත්වන්නට සැරසීම සතුටට කරුණකි.

1963 වසරේ මෙම විහාරස්ථානය මුල් කර ගෙන ආරම්භ කරන ලද ඇසළ මහා පෙරහර, ථෙරවාදී සම්ප්‍රදාය තුළ අතීත උරුමයේ විශිෂ්ටත්වය වත්මන් පරපුර හමුවේ තබමින්, විවිධ ජන කොටස්වල එකමුතුවෙන්, සාම්ප්‍රදායික සංස්කෘතික අංග එක්කර ගනිමින් අඛණ්ඩව පවත්වන්නට හැකිවීම මහත් අභිමානයකි.

අනාගත පරපුර වෙනුවෙන් ගැටුමින් තොර සාමකාමී, නිදහස් සමාජයක් ගොඩනැංවීම උදෙසා, ඇසළ පෙරහර මංගල්‍යය තුළ අප අත්දකින ආගමික සහ වාර්ගික සමගිය සමස්ත සමාජය වෙත ගෙන යන්නට මෙම අධ්‍යාත්මික ප්‍රබෝධය මහඟු අත්වැලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

අති උත්කර්ෂවත්ව පැවැත්වෙන මේ උතුම් පූජෝත්සවය සඳහා කැප වන කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු සැමට ගෞරවණීය ස්තුතිය පුදකරමින්, කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන්නට මෙත් සිත් පෙරදැරිව සුභාශිංසන පිරිනමමි.