Print this Article


පූජාච පූජනියනං

වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නා හිමි
 

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී, මල්වතු මහා විහාරයීය වල්ගොව්වාගොඩ පන්සල, යටිනුවර පිළිමතලාව ඉළුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරය, මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමය යන විහාරයන්හි අධිපති මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙන් හි විශ්‍රාමික පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නා හිමිපාණන් වහන්සේ, 2017 සැප්තැම්බර් මස 17 වන දින හැත්තෑ හය වන වියට තැබූහ.

යටිනුවර කඳුපළාත වල්ගොව්වාගොඩ හිටපු ගම්පති දුනුවිල මුදියන්සේලාගේ කළුබණ්ඩාර නිළමෙතුමන් සහ මාරසිංහ මුදියන්සේලාගේ පහළගෙදර බිසෝමැණිකේ මාතාව දෙගුරුන් කොට 1941 සැප්තැම්බර් මස 17 වන දින මහනුවර දී ජන්ම ලාභය ලද මුන්වහන්සේගේ ගිහි නාමය දුනුවිල මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා නම් විය. යටිනුවර රත්මීවල කණිෂ්ඨ විද්‍යාලයෙන් සහ පසුව කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද අතර, යටිනුවර ඉළුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරය, වල්ගොව්වාගොඩ මෙයියාගොඩ පුරාණ විහාරය යන විහාරද්වයාධිපතිව වැඩසිටි වල්ගොව්වාගොඩ ජිනරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමාධිපතිව වැඩසිටි මල්වතු මහා විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පණ්ඩිත යටිගම්මන ශ්‍රී විමලඤාණාභිධාන ගංගාරාම රජමහා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන්, 1956 පෙබරවාරි 16 දින වල්ගොව්වාගොඩ මෙයියාගොඩ පුරාණ විහාරයේ දී පැවිදි බිමට පත් විය.

ගිහි කල සිටම ඉගෙනුම ලැබූ මහනුවර සංඝරාජ මහා පිරිවෙනෙහි හා හැරමිටිගල ශ්‍රී ශාස්ත්‍රාලංකාර පිරිවෙනෙහි මෙන්ම විද්‍යොදය මහ පිරිවෙනෙහි ඉගෙනුම ලබා ප්‍රාචීන විභාග වලින් ද විශිෂ්ට ලෙස සමර්ථව විද්‍යොදය පිරිවෙනෙහි ප්‍රාරම්භ පරීක්ෂණයේ දී සියලුම විෂයන් වෙනුවෙන් ත්‍යාග සහිතව සමත් වී අනතුරුව විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අමරසූරිය ත්‍යාගය හිමිකරගනිමින් බුද්ධ ධර්මය පිළිබඳ ගෞරව උපාධිය සමත් වූහ.

සපිරූ විසි වයස් ඇතිව සිටි හෙයින් 1961 දී ස්වකීය මූලික ආචාර්යයන් වහන්සේලාට අමතරව අනුරාධපුර ඓතිහාසික ඉසුරුමුණි රාජමහා විහාරය සහ එම විහාර ගණයෙහි අධිපතිව වැඩසිටි ඉසුරුමුණියේ ශ්‍රී සංඝරක්ඛිතාභිධාන උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ලන්ඩන් සහ නිව්යෝර්ක් බෞද්ධ විහාරවාසීව වැඩසිටි හිග්ගොඩ ඛේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද ආචාර්යත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබීය. පසුව පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ඉන්දියාවේ බරණැස විශ්ව විද්‍යාලයට ඇතුළත්ව එහි අධ්‍යයන කටයුතුවල නිරත වූහ.

ඉන්පසු කලක් පරිවෙණාචාර්යවරයෙකු ලෙස සේවය කර, අනතුරුව මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනෙහි සහ දන්තුරේ රත්තේපිටිය ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනෙහි පරිවේණාධිපති ලෙස සේවය කොට විශ්‍රාම දිවියට එළඹීය.

1986 දී මහනුවර උපොෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්හ විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ සූවිසිවන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහය මත මල්වතු මහා විහාරයීය වින්සත්වර්ගික ගරුතර කාරක මහා සංඝ සභාවේ සභික ධූරය සඳහා පත්වීම සිදුවූ අතර, එතැන් සිට ගරුතර කාරක මහා සංඝ සභාවේ සභික ධූරයට අදාළ කුදුමහත් කාර්යයන් හි දී ක්‍රියාකාරී ලෙස කටයුතු කරන ලදී.

2004 නොවැම්බර් මස මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ සවිසි වන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහය මත ගරුතර කාරක මහා සංඝ සභා සම්මතයෙන් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරීධූරය සඳහා පත් කරන ලදී.

ප්‍රධාන ලේඛකාධිකාරී ලෙස ස්වපාර්ශ්වීය විහාරස්ථානයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රාදේශීය සමුළු පැවැත්වීම සඳහා මූලිකත්වය ගැනීම, මල්වතු මහා විහාරය වෙනුවෙන් රජයේ ආරාධනා සඳහා සහභාගිවීම, රාජ්‍ය උත්සව ආදියෙහි මූලාසනය ගනිමින් මහා විහාරය නියෝජනය කිරීම, සුනාමි ව්‍යවසනයේ දී මහා විහාරයීය සහන සැළසීමේ කටයුතු සඳහා මූලිකත්වය ගැනීම, සාමය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ මූලාසනය දැරීම, 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවෙහි ප්‍රධාන නියෝජනය දැරීම ආදී කටයුතු මෙන්ම, මල්වතු මහා විහාරයීය ලේකම් කාර්යාලය ශ්‍රී පාද අරමුදල මඟින් අලුත්වැඩියා කරවීම, නිදහස් විදුලි පහසුකම් සලසා ගැනීම, නව දුරකථන සහ ෆැක්ස් පහසුකම් ලබා ගැනීම, පරිගණක ඡායා පිටපත් යන්ත්‍ර ආදිය සපයා ගනිමින් ලේකම් කාර්යාල කටයුතු ක්‍රමවත් කිරීම, මල්වතු මහා විහාරය සඳහා තැපැල් පහසුකම් සපයා ගැනීම ආදී සංවර්ධන කටයුතු ද සිදු කරන ලදී.

එසේම, නිකාය ලේකම් කාර්යාල සඳහා වාර්ෂික කාර්ය මණ්ඩල ප්‍රතිපාදන රජය මඟින් වෙන්කරගැනීම උදෙසා යෝජනා කර ඊට සම්බන්ධ ආයතන මඟින් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම නිසා දිවයිනේ අනෙකුත් නිකාය ලේකම් කාර්යාල සඳහා ද එම වරප්‍රසාදය හිමි වීම සුවිශේෂී අවස්ථාවක් විය.

2008 දී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ තේවා කටයුතු සඳහා ද සම්බන්ධවීමට භාග්‍ය ලද මුන් වහන්සේ, ප්‍රාදේශීය නායක පදවිලාභී නාහිමිවරුන්ගේ ආරාධනා මත ඒ ඒ පළාත් වල සිදුකරනු ලබන උත්සව සඳහා සහභාගී වීම මෙන්ම ඉන්දියාව, නේපාලය, මැලේසියාව, තායිලන්තය, මියන්මාරය, සිංගප්පූරුව, වැනි රටවල ද මල්වතු මහා විහාරය නියෝජනය කරමින් ආගමික වැඩසටහන් සඳහා සම්බන්ධ වී ඇත.

ස්වකීය ආධිපත්‍යය යටතේ පවතින විහාරස්ථාන වන යටිනුවර පිළිමතලාව ඉළුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරයෙහි නව ප්‍රවේශ මාර්ගය ඉදිකරවීම, පැරණී විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කරවීම, නව විහාර මන්දිරය ඉදිකරවීම, නව ආවාස ගෘහය ඉදිකරවීම, සත්සති පිළිම වහන්සේ කරවීම, විහාරස්ථානය සඳහා ජල විදුලි දුරකථන පහසුකම් ලබා ගැනීම, ජපානයේ කියෝතෝ ජුරිංජි විහාරාධිපති මහාචාර්ය ඉසුමි කෝයෝ හිමියන් ගේ මූලික අනුග්‍රහය සහිතව, පෞද්ගලික ධනය ද යොදවා නව ධර්මලශාලා සංකීර්ණය ඉදිකරවීම, බෝධි ප්‍රාකාරය සහ රන්වැට ඉදිකරවීම, තායි පිළිමගෙය ඉදිකරවීම, වළාකුළු බැමි ඉදිකරවීම, 1956 සිට ශ්‍රී ජිනරුවන් දහම් පාසල පවත්වාගෙන යෑම සහ තරගවලට ශිෂ්‍යයන් ඉදිරිපත් කොට ත්‍යාග ලබා දීම, මිහිඳු පෙරහර පැවැත්වීම ග්‍රාම සංවර්ධන, මරණාධාර, යෞවන, වැඩිහිටි ආදී සමිති සමාගම් 15 ක් පමණ ඇති කිරීමට මූලික වී ක්‍රියා කළ උන්වහන්සේ සිදු කරනු ලැබූ එකී සේවාවන්හි ප්‍රතිඵල අද වන විට භුක්ති විඳිනු දැකීම උන්වහන්සේට නිරාමිස සතුටකි.


අපවත්වී වදාළ හබරකඩ ඉන්දරතන නා හිමි

කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කීර්ති ශ්‍රී පර්යාප්ති විශාරද, හබරකඩ ඉන්දරතන නාහිමියෝ ඔක්තෝබර් මස 01 වන දින අපවත් වූ සේක. ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම් පත්තුවේ හබරකඩ ග්‍රාමයේ දී ජේ. ඩබ්ලිව්. කරුණාරත්න ලොකු මහත්මයා සහ දෙල්ලව ඩී. එල් මිසිනෝනා යන දෙපළට දාව 1937 ඔක්තෝබර් 16 දින ජන්ම ලාභය ලැබූ මෙම කුමරු මූලික අධ්‍යාපනය තවලම හබරකඩ රජයේ විද්‍යාලයෙන් ලැබීය.

අනතුරුව හබරකඩ ශ්‍රී විජයානන්ද විහාරස්ථානයේ දී හබරකඩ ඉන්දරතන නමින් 1951 දෙසැම්බර් මස 05 වන දින පැවිදි දිවියට පත් මෙම කුමරු එතැන් පටන් වසර 66ක් බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් අපමණ වූ සේවයක් ඉටු කළේ ය. මානව වර්ගයාගේ පැවැත්ම සහජිවනය හා උන්නතිය වෙනුවෙන් බුදුදහමේ ජීව ගුණය විද්‍යුත් සන්නිවේදනය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කරමින් සිදු කළ ධර්ම ප්‍රචාරක කටයුතු මෙන් ම 1963 වර්ෂයේ සිට 1975 වර්ෂය දක්වා මෙරට බොහෝ පාසල් හා විද්‍යායතනවලත් 1975 සිට 1996 වර්ෂය දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයේත් සිදු කළ ධර්මශාස්ත්‍රීය සේවය දෙස් විදෙස්හි සදානුස්මරණීය ලෙස පෝෂණය වී ඇත. උන්වහන්සේ ගොඩ නැගූ දැන උගත් ශිෂ්‍ය ප්‍රජාව ලොව කොතනක හෝ සිට ලෝක ශාසනික සේවාව ඉටු කරනු ඇතැයි යනු අපගේ විශ්වාසයයි. හබරකඩ ග්‍රාමයේ සිට ස්වකීය පැවිදි දිවිය ආරම්භ කළ ඉන්දරතන හිමියන් ප්‍රදේශ ගණනාවක ගොඩ නගා ඇති විහාරස්ථාන පිරිවෙන් මෙන් ම අධ්‍යාපනික මධ්‍යස්ථාන රාශියකි. අහිංසක දුප්පත් ගැමියාගේ සිට නගරයේ ඉහළ පුරවැසියා දක්වා සමාන ව සලකමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා උදව් උපකාර කරමින් කළ සේවය අපමණ ය. සුනාමි ව්‍යසනය, වරින් වර ඇති වූ මහා ජල ගැලීම් රට තුළ ඇති වූ නියඟයන් ආදී විවිධ ආපදා තත්ත්වයන්හි දී ඉන්දරතන හිමියන් ඉටු කළේ කිසිවෙකුටත් සම කළ නො හැකි කාර්යභාරයකි. උන්වහන්සේ ගොඩ නැගූ පැවිදි ශිෂ්‍ය පරපුර ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ථෙරවාදී බුදුදහම වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරනු ලබයි. අපවත් වී වදාළ හබරකඩ ඉන්දරතන නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනයේ තැන්පත් කොට තබා ඔක්තෝබර් මස 02 වන දින හිනිදුම හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙන් විහාරස්ථානයට විශේෂ රිය පෙරහරකින් වැඩම කරවූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මෙම මස 04 වන දින සවස තවලම විද්‍යාරාජ පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.