Print this Article


ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව -අංක 10 සසර දුක් පැතිර පවතින තිරිසන් භවය

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව - අංක 10:

සසර දුක් පැතිර පවතින තිරිසන් භවය

"තිරිසන් ආත්ම ලැබුවත් සමහර සත්වයෝ තම සිත දමනය කර ගැනීමෙන් දෙව්ලොව උපත ලැබීමට වාසනාව ලබා ගත්හ. චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙකු කිසිම තේරුමක් නොදැන දහම් දෙසන හඬ පමණක් අසා මරණින් මතු දෙව්ලාව උපන් බව විමාන වත්ථු ප්‍රකරණයෙහි සඳහන් වෙයි"

තිරිසන් ජාතිය උපනත් පව් කො ට
අවසන් නොව බිය පවතී පිට පි ට
මඳ සන් සුන් කමකුත් නැත හැම වි ට
සලසන්නේ කෙලෙස ද සිත පින ක ට

පව් කොට තිරිසන් ජාතියේ උපන්නොත් අවසන් නොවී හැමවිට ම නැවත නැවත බිය පවතින්නේ ය. සෑම විට ම තිරිසන් සතුන්ගේ සිත් හි මද සන්සුන් කමකුත් නැත. ඒ නිසා තිරිසන් ජාතියෙහි පිනකට සිත යොමු කරන්නේ කෙසේ ද? යනු ඉහත දැක්වූ කවියෙහි සරල අදහසයි.

යම් සත්වයෙක් හරහට (තිරස්ව) ගමන් කරයි ද , හරහට නිදයි ද ධර්මයට පටහැනි වූ සිත් ඇත්තේ ද ඔවුහු තිරච්ඡාන (තිරිසන්) යනුවෙන් හඳුන්වති. මෝහාධික ව යම් කෙනෙක් අකුසල කර්ම රැස්කරත් ද ඔවුහු මරණින් මතු තිරිසන් යෝනියෙහි උපත ලබත්. කාම, ගෝචර, මරණ යන සංඥා තුන තිරිසන් ව උපන් සත්වයන් කෙරෙහි දක්නට ලැබේ. මරණ බයෙන් යුක්තව කාම සේවනය කරන්නෝත්, ගොදුරු සොයන්නෝත් තිරිසන් සත්තු වශයෙන් හැඳින්වේ.

සතර අපාය අතුරෙන් නිරන්තරයෙන් අපට පැහැදිලිව දක්නට ලැබෙන්නේ තිරිසන් ආත්ම භාවය යි. බුදුබව පතා පෙරුම්දම් පුරන බෝසත්වරු පවා බොහෝ අවස්ථාවල තිරිසන් ආත්ම ලබා සිටිහ. බුදුරදුන්ගේ අතීත ආත්මභාව ප්‍රකාශිත ග්‍රන්ථයකි, ජාතක පොත. එහි දක්නට ලැබෙන කතා වස්තු පන්සිය හතළිස් හතෙන් මනුෂ්‍ය ආත්ම භාව ලබා ඇත්තේ තුන්සිය පණස් හතර වාරයක් පමණි. සිංහරාජ ව දස වාරයක් ද , හස්ති රාජව හත් වරක් ද, අස්ව රාජව සතර වරක් ද මහිෂ රාජව එක් වරක් ද උපත ලබා ඇති බව ජාතක පොත පෙන්වා දෙයි. විශේෂයෙන් විවිධ සිව්පා සතුන් ව පණස් අට වරක් ද, උරග වශයෙන් හත් වරක් ද පක්ෂීන් වශයෙන් පණස් පස් වරක් ද මත්ස්‍යව තුන් වරක් ද උපත ලැබූ බව සඳහන් වේ.

පව් කම්කොට තිරිසන් යෝනියෙහි උපත ලැබුවත් බොහෝ දුරට අන් සතුන්ට වඩා ඥානයෙන් උසස් ව ක්‍රියා කළ අවස්ථා ඇති බව පැහැදිලි ය. එක්තරා අවස්ථාවක අප මහා බෝසතාණෝ මුව දෙනක කුස පිළිසිඳ ගත්හ. එයින් බිහිවූ මුව පැටියා රන් වන් සිරුරකින් යුක්ත විය. අනෙකුත් අවයව ද ඉතා දර්ශනීය විය. වැඩිවියට පත්වන විට නිග්‍රෝධ නම් වූ මේ මුව පැටියාට පන්සියයක් පිරිවර මුවෝ වූහ. මේ ආසන්නයේ පිහිටි වනයේ පන්සියයක් මුව පිරිවර ඇති රන්වන් සිරුරක් ඇති ශාඛමෘග නම් තවත් මුව රජෙක් විසී ය. මෙකල මස් නොමැති ව ආහාර ගත නොහැකි බරණැස් නුවර රජතුමා දිනපතා මිනිසුන් පිරිවරාගෙන දඩයමේ යයි. රජතුමාගේ මේ ක්‍රියාව වැසියන්ට මහත් හිරිහැරයක් විය. එය වළකා ගැනීම පිණිස වැසියෝ මුළු කැලය ම වටකොට දහස් ගණනක් මුවන් ගෙනවුත් රජවාසල උයනෙහි ආරක්ෂිතව බැඳ වූහ. මේ බව දැනගත් රජතුමා මහත් සේ සතුටට පත්විය.

දිනපතා ආහාරය සඳහා රජතුමා හෝ අරක්කැමියා දුන්නෙන් විද සතුන් මරණයට පත් කිරීමට යාමේ දී බොහෝ සත්තු තුවාල ලැබූහ. මේ පිළිබඳ නිග්‍රෝධ මුව නායකයා සහ ශාඛ මෘග නම් නායකයා සාකච්ඡා කොට පිළිවෙලින් එක් මුවෙකු බැගින් දංගෙඩිය වෙත එවීමට කටයුතු සැලැස්වී ය. එක් දිනක් ශාඛ මෘගයාගේ පැත්තෙන් දංගෙඩියට ගෙල තැබීමට නියම වූයේ ගැබිනි මුවදෙනකට ය. තමා නැසුවොත් දරුවාත් වැනසෙන හෙයින් වෙනත් දිනයක් තමාට ලබා දෙන මෙන් ගැබිනි මුවදෙන තම මුව නායකයාගෙන් ඉල්ලා සිටිය නමුත් එයට කිසිදු පිහිටක් නො ලැබුණි. පසුව ගැබිනි මුව දෙන නිග්‍රෝධ මුව නායකයා වෙත ගොස් එම ඉල්ලීම ඉදිරිපත් කළා ය. මුව දෙනගේ ඉල්ලම ඉටු විය. නියමිත වේලාවට දංගෙඩි වෙත ගියේ නිග්‍රෝධ නම් මුව නායකයා ය.

මුවා මැරීමට පැමිණි අරක්කැමියා මෘග රාජයා දංගෙඩියට හිස දී සිටින බව දැක රජතුමාට ඒ බව සැල කළේ ය. රජතුමා වහා අවුත් පරීක්ෂා කොට බලා කරුණු වටහාගෙන නිග්‍රෝධ මුවාගේ ඉල්ලීම පරිදි සියලු මුවන්ටත්, පසුව සියලුම සත්වයන්ටත් අභය දානය ලබා ගැනීමට හැකි විය. තිරිසන් ව උපත ලැබූ නමුත් ප්‍රඥාවන්ත ව ක්‍රියා කළ මෙවැනි අවස්ථා කොතෙකුත් දක්නට ඇත.

තිරිසන් ආත්ම ලැබුවත් සමහර සත්වයෝ තම සිත දමනය කර ගැනීමෙන් දෙව්ලොව උපත ලැබීමට වාසනාව ලබා ගත්හ. චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙකු කිසිම තේරුමක් නොදැන දහම් දෙසන හඬ පමණක් අසා මරණින් මතු දෙව්ලාව උපන් බව විමාන වත්ථු ප්‍රකරණයෙහි සඳහන් වෙයි. ලක්දිව කුඹල්තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් දැන නොගත්තත් සතුටු සිතින් ධර්මය දේශනා කරන හඬ අසා පැහැද මරණින් පසු මිනිස්ලොව උපන් බව සඳහන් වෙයි. තලගුරු වෙහෙර ධම්මදින්න හිමියන් දෙසූ බණ සතුටින් අසා සිටි ගැරඬියෙකු ඒ පිනෙන් මිනිස් ලොව ඇමති කුලයක උපන් බව සඳහන් වෙයි. මේ අන්දමට දෙව් මිනිස් සම්පත් පමණක් නොව නිවන් අවබෝධ කර ගැනීමට ද සමහර තිරිසන් සතුන්ට වාසනාව ලැබුණි.