Print this Article


පින නිබඳව ම කළ යුතු ය

පින නිබඳව ම කළ යුතු ය

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථෙ’තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයො

යම් පුද්ගලයෙක් පින්කම් කරන්නේ නම් නැවත නැවත ඒවා කරන්නේ ය. එහි කැමැත්ත තබා ගන්නේ ය. පින් රැස් කිරීම සැප ලැබීමට හේතු වන හෙයිනි,’ යනු මෙහි සරල අර්ථය වේ.

මිනිසෙකු වශයෙන් උපත ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවක් බැවින් ඉන් උපරිම ඵල නෙළා ගැනීම බුද්ධිමත් පුද්ගල ලක්ෂණයක් වේ. පින වූ කලී සෑම පුද්ගලයෙකු ම ලද අවස්ථාවේ රැස් කළ යුතු ධර්මයක් වේ, ඒ සඳහා මොහොතක් හෝ ප්‍රමාද වීම දුර්වලතාවයක් වේ. මෙහි වැදගත් පදයක් වනුයේ ‘පුඤ්ඤ’ යන්නයි, එය නිතර නිතර සිදු කළ යුතු ය යන්නෙන් මෙහි වටිනාකම තවත් තීව්‍ර වේ.

මෙහි පින් යනුවෙන් අදහස් කොට ඇත්තේ දාන, සීල, භාවනා වශයෙන් දැක්වෙන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ය. තවද මෙය දස වැදෑරුම් ව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එම දස වැදෑරුම් පුණ්‍ය ක්‍රියා නම් දන් දීම, සිල් රැකීම, භාවනා වැඩීම, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම හා සම්‍යක් දෘෂ්ඨියෙන් යුතුව වාසය කිරීම යන කරුණු දහයයි. මිනිසත් භවය ඵලදායක වීමට නම් මෙම පුණ්‍ය ක්‍රියාවන් නිතර සිදු කළ යුතු ය.

දානය නම් තමන් සන්තක වූ යමක් වෙනත් පුද්ගලයෙකු වෙත පරිත්‍යාග කිරීම යි. පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ තමන්ට අයත් වස්තුවක් අනෙකෙකුට පරිත්‍යාග කිරීම මින් අදහස් කෙරේ. මෙහිදී තමාට වඩා ගුණයෙන් හීන හෝ සම අයෙකුට අනුග්‍රහ වශයෙන් යමක් දීම දානය ලෙසත් ගුණයෙන් තමාට වඩා උසස් වූ බුද්ධාදි උතුමන්ට යමක් දීම පූජාව ලෙසත් නම් වන බව දත යුතු ය. මෙම පූජාව වස්තු පූජා, ස්තූති පූජා හා ප්‍රතිපත්ති පූජා ලෙස තෙවැදෑරුම් වේ.

බුද්ධාදී උතුමන් සඳහා විෂයෙහි ආහාර පාන, වස්ත්‍ර, ගන්ධ, දීප, ධූපාදිය පූජා කිරීම වස්තු පූජා ලෙසත්, ගෞරවයෙන් ස්තූති පූර්වක ව ගාථාදිය සජ්ඣායනය කිරීම ස්තූති පූජා ලෙසත්, සිල් රැකීමාදී ප්‍රතිපත්ති පූරණය ප්‍රතිපත්ති පූජා ලෙසත් හඳුන්වයි.

යම් ප්‍රතිපත්තියක් මාර්ගයෙන් කය හා වචනය සංවර කර ගනී නම් එම ප්‍රතිපත්තිය සීලය ලෙස හැඳීන්විය හැකි ය. සීලය පුද්ගලයා යහපතෙහි යෙදවීමට ඇති එකම මාර්ගය වේ. සිල් සමාදන් වීම යනු එම සීලයන් පිළිගැනීම ය. එක් ඇසක් ඇති පුද්ගලයා ඒ ඇස ආරක්ෂා කරන්නා සේ, මවක් තම එකම පුතු රක්ෂා කරන්නා සේ සීලය ආරක්ෂා කළ යුතු ය.

භාවනාමය කුසලය වනාහි කුශලයන් අතුරෙන් අග්‍රතම කුසලය වේ. තවද සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් වැඩීම ද භාවනාව ලෙස දක්වා ඇත. ප්‍රධාන වශයෙන් සමථ භාවනා, විදර්ශනා භාවනා ලෙස භාවනාව දෙවැදෑරුම් වේ. සමථ භාවනාව, සමාධිය දියුණු කිරීමය, විදර්ශනා භාවනාව යනු ප්‍රඥාව දියුණු කිරීම ය. සමාධිය නිතර දියුණු කළ යුතු දෙයකි, ඒ සඳහා නිතර භාවනාවේ යෙදීම අත්‍යවශ්‍ය ය. භාවනාවේ යෙදීම මඟින් සිත කිළිටි කරන දුබල කරන නීවරණාදිය මැඩ පැවැත්විය හැකි ය. පුද්ගලයා එකිනෙකාට වෙනස් වන හෙයින් ඒ ඒ චරිතයාට අදාළ වන පරිදි භාවනා හතළිහක් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

අපචායන පුණ්‍යක්‍රියාව වනාහි දස පුණ්‍ය ක්‍රියාවන්ගේ සිව්වැන්න යි. ගරු කළ යුත්තන්ට ගරු කිරීම මින් අදහස් වේ.

පස්වන පුණ්‍ය ක්‍රියාව ලෙස වෙය්‍යාවච්චය දැක් වේ, එනම්, බුද්ධාදි උතුමන්ට, දෙමාපියාදීන්ට, මහල්ලන්ට, ආගන්තුකයන්ට හෝ අන්‍ය සුදුස්සන්ට වතාවත් කිරීම යි. තවද, විහාරමලු බෝමලු ආදිය පිරිසුදු කිරීම, ගමන් මාර්ග පිරිසුදු කිරීම, මහජන ප්‍රයෝජනය පිණිස මංමාවත් වැව්, ළිං, පොකුණු ආදිය ඉදි කිරීම ද මෙහිලා ගැනේ. සිත පහන් වීම, දෙවියන් සතුටු වීම, මරණින් මතු සුගතිගාමි වීම, යනාදී අනුසස් රැසක් මින් ලැබිය හැකි ය.

පින් දීම සය වන පුණ්‍ය ක්‍රියාව වේ. තමන් සිදු කළ පින් අන් අයට අනුමෝදන් කිරීම මින් අදහස් වේ. පින් අනුමෝදන් වීම හෙවත් පත්තානුමෝදනා යනු සත්වන පුණ්‍ය ක්‍රියාව යි. අනුන් දෙන පින අනුමෝදන් වීම මෙයින් අදහස් කෙරේ. යමෙක් සිදු කළ පින සඳහා ඊර්ෂ්‍යා නොකොට ඒ සඳහා අනුග්‍රහ කිරීම මඟින් මෙම පින සිදු වේ.

අටවන පුණ්‍ය ක්‍රියාව වන්නේ ධර්මශ්‍රවණයයි, පුද්ගලයා සසර බැඳෙන්නේ අවිද්‍යාව මුල් කොට ගෙන ය. අවිද්‍යාව දුරු කිරීමට ධර්ම පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය ය, ඒ සඳහා ධර්ම ශ්‍රවණය සිදු කළ යුතු ය. ධර්මය වූ කලී පුද්ගලයා සසරින් එතෙර කිරීමට හැකි යානයක් වේ. ධර්මය ගෞරවයෙන් ශ්‍රවණය කිරීම තුළින් මනා අනුසස් ලැබිය හැකි ය.

නවවන පුණ්‍ය ක්‍රියාව වනුයේ ධර්ම දේශනය යි. සත්වයා සසරින් එතෙර කිරීමේ පරමාර්ථයෙන් හා ඔහු කෙරෙහි කරුණාවෙන් යුතුව ධර්මය දේශනා කළ යුතු ය, එහි ලාභාපේක්ෂාවක් නො තිබිය යුතු ය. එලෙසින් සිදු කරන ධර්ම දේශනයෙන් ධර්ම දේශනා පින ලැබේ. ධර්ම දේශනා පුණ්‍ය කර්මය අන් සියලු දානමය පුණ්‍ය කර්මයන් පරදා පෙරටුව සිටී.

දිට්ඨිජ්ජුකම්ම යනු දසවන පුණ්‍ය ක්‍රියාව යි, දෘෂ්ටි පිරිසුදු කර ගැනීම මින් අදහස් වේ. එනම් සම්‍යක් දෘෂ්ඨියෙන් යුක්ත වීම යි. කර්මය කර්ම ඵලය පිළිබඳ විශ්වාසී වීම හා පමණ ඉක්මවා නොපිළිගැනීම, පින් පව් වටහා ගැනීම, වැරැදි නිවැරැදි වටහා ගැනීම ආදිය මෙහිලා ප්‍රධාන වේ. සියලු අනුසස් ලැබීමෙහි පිහිටාධාරය වන්නේ සම්‍යග් දෘෂ්ඨිය යි.

බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කිරීමට අරමුණු වූයේ ලාජා නම් දෙව් දුවකි. ඇය සම්බන්ධ කථා ප්‍රවෘත්තිය සැකෙවින් පහත අයුරෙනි. ‘එක්තරා කලෙක මහා කස්සප තෙරුන් වහන්සේ රජගහ නුවර පුළිලලෙණ වාසය කළ සේක. දිනක් උන්වහන්සේ සමවත් සුවෙන් නැඟී සිට එදින තමන්ගෙන් උපකාර ලැබීමට සුදුස්සා කවරෙක් දැයි බැලූ සේක, එවිට හැල් හේනක් රකින එක්තරා දිළිඳු එහෙත් සැදැහැවත් කාන්තාවක් දුටු සේක. ඇය හැල් හේනට ගොස් හැල් කරල් නෙළා ගෙනවිත් විළඳ බදී. මැය තමන් වහන්සේගෙන් පිහිට ලැබීමට සුදුසු යැයි නිශ්චය කොට පා සිවුරු ගෙන ඇගේ පැල් කොටයට වැඩම කොට දොරකඩ අසල වැඩ සිටි සේක. ඒ දිළිඳු තැනැත්තිය තමාට අද දින කිසි දිනෙක උදා නොවූ සැපතක් උදා වූයේ යැයි සිතා පිරිසුදු සැදැහැයෙන් යුතුව විළඳ සකස් කොට පිදුවා ය. ඈ එදින ම නයෙක් සපා මිය ගොස් ඒ පින් බලෙන් තව්තිසා දෙව් ලොව දෙවඟනක් ව උපන්නා ය.

ඒ දෙවඟන මෙබඳු සම්පත් ලබන්නට තමන් කළ පින කුමක්දැයි බලන්නේ මිනිස් ලොව දිළිඳු ව ඉපි ද සැදැහැයෙන් විළඳ පිදීමේ අනුසසින් ලැබූ සම්පතක් ලෙස දැක සතුටු වූවා ය. තමන් කෙරෙහි කරුණාවෙන් සෙත සැලසූ තෙරුන් කෙරෙහි මෛත්‍රීයෙන් ඇය උදෑසන ම පුළිලලෙනට පැමිණ හැමඳීම් ආදි විහාර වත් කොට යන්නී ය. එක් දිනක් තෙරුන් වහන්සේ මැය දැක පුවත් විමසා තමන් පෙර විළඳ පුදා දෙව් සැපත් ලද ලාජා නම් දෙවඟන යැයි කී විට නැවත මේ පෙදෙසටවත් නො පැමිණෙන ලෙස දැන්වූවා ය.

මේ පිළිබඳ දොම්නසට පැමිණි ඈ සෝ දුකින් පෙළෙණු දුටු බුදුරජාණන් වහන්සේ රැස් විහිදුවා ඈ ඉදිරියේ පෙනී සිට ‘පුඤ්ඤං චෙ පුරිසෝ කයිරා’ ගාථාව වදාළ සේක. ගාථා අවසානයේ ඈ සොවාන් ඵලයෙහි පිහිටියා ය.’ මෙම කථා ප්‍රවෘත්තියට අනුව ලාජා දෙව්දුවට උතුම් දේවත්වය උරුම වන්නේ පෙර භවයේ දි දිළිඳු ව ඉපිද මහා කස්සප තෙරුන් වහන්සේට විළඳ පිදීමේ අනුසස හේතුවෙනි. දිළිඳු වුවත් ඈ සතුව ශ්‍රද්ධාව පැවැති හෙයින් ඇයට මෙබඳු උතුම් දේවත්වයක් උරුම විය. ඒ සිදු කළ පුණ්‍ය කර්මයන් නතර නො කළ යුතු බව ද, නැවත නැවත ඒවා සිදු කිරීම යෝග්‍ය බව ද බුදුරජාණන් වහන්සේ ඇයට වදාළහ.