Print this Article


දළදා තේවාව හා බැඳුණු මල්වතු අස්ගිරි මහා විහාරයන්හි චාරිත්‍ර වාරිත්‍ර

දළදා තේවාව හා බැඳුණු මල්වතු අස්ගිරි මහා විහාරයන්හි චාරිත්‍ර වාරිත්‍ර

දළදා තේවාව හා බැඳුණු මල්වතු අස්ගිරි මහා විහාරයන්හි චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් සඳහන් කළ හැකියි. 1815 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් අනතුරු ව, දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා නියම භාරකාරත්වයක් නොතිබුණත්,1853 න් පසු දළදා හාමුදුරුවන් වහන්සේගේ භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහා නායක මාහිමිපාණන් වහන්සේලාට ත් , දියවඩන නිලමේතුමාටත් භාරදුන් අවස්ථාෙවි දී මල්වතු අස්ගිරි උභය මහා විහාරීය කාරක සංඝ සභාව වෙන වෙන ම රැස්වී දළදා තේවාව හා එහි භාරකාරත්වය පිළිබඳ ව සුදුසු තීරණ හා ක්‍රියාමාර්ග සම්මත කරගෙන ඇත.

දළදා තේවාව සම්බන්ධව අනුගමනය කරනු ලබන චාරිත්‍ර, වාරිත්‍ර සමූහය වර්තමානය දක්වා ම පැවතගෙන එන බවට සඳහන් කළ හැකි යි.

ඒ අනුව දළදා තේවාව වසරින් වසර මල්වතු මහා විහාරයටත්,අස්ගිරිමහා විහාරයටත්,භාරකෙරෙන අතර එම භාරදීම සිදුවන්නේ සෑම වර්ෂයකදී ම ඇසළ පුර පසළොස්වක පොහොය දිනයට පසු දින පෑළවිය දිනයේදී යි. භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වන දිනයෙහි දවල් තේවාව අවසානයේ දී උභය මහා විහාරයේ මහා නායක මා හිමිපාණන්වහන්සේලා දෙනමත්, අස්ගි්රි මල්වතු මහා විහාරයන්හි අනු නායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන කොට ඇති නේවාසික භික්ෂූන් වහන්සේලා කිහිප නමකුත් දළදා මාලිගාවට වැඩම කරති. දියවඩන නිලමේතුමා ඇතුළු ව කාර්ය මණ්ඩලයේ සිටින ප්‍රධාන ලේකම්තුමා ආදී කොට ඇති නිල‍්‍රධා රීන් කිහිප දෙනෙකු ද එම අවස්ථාවට සම්බන්ධ වෙන බවට සඳහන් කළ හැකි යි.

පස්වරු 1.00 ට පමණ මාලිගාෙවි දී හමුවන මේ සියලුදෙනා දළදා හාමුදුරුවන් වහන්සේ වැඩසිටින මාලිගා කුටිය විවෘත කරමින් , දළදා තේවාව සඳහා ප්‍රයෝජනයට ගන්නා රන් පාත්‍රා ,රීදී පාත්‍රා, කෙණ්ඩි, කැඩපත, අටපිරිකර,බන්දේසි ආදී සියලු උපකරණ ලිඛිත ලේඛනයකට අනුව ඉතා නිවැරැදි ව ගණන් බලා තේවාව බාරගන්නා මාලිගාවේ නායක හාමුදුරුවන් වහන්සේ් ඉදිරියේ දී වට්ටෝරු රාළට භාරදෙනු ලබ යි.එම භාණ්ඩ පිළිබඳ සම්පූර්ණ වගකීම නායක හාමුදුරුවන් වහන්සේලාගේ අධීක්ෂණය යටතේ, වට්ටෝරු රාළට භාරවෙයි. එම ලේඛනයට අනුව ඇතැම් භාණ්ඩ ,කැඩී බිඳී ඇත්නම්,ඒ අවස්ථාෙවි දී ීම මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුමැතියෙන් හා දියවඩන නිලමේතුමාගේ සුපරීක්ෂාවෙන් යුතු ව ලේඛනයෙන් ඉවත් කර නැවත භාණ්ඩ ගබඩාවට භාරදෙයි. යම්කිසි ආකාරයකින් අලුතෙන් භාණ්ඩයක් ලැබුණ හොත් ඒ ආකාරයෙන් ම ලේඛනයට ඇතුළත් කරමින් නිලධාරීන්ට භාරකිරීම සිදුකර යි.

මේ ආකාරයට පල්ලෙ මාලයට අයිති සියලු උපකරණ ගණන් බලා තේවාවාට වැඩම කරන පල්ලෙ මාලෙ හාමුදුරුවන් වහන්සේ ඉදිරිපිට පල්ලෙ මාලෙ රාළ නමින් හඳුන්වන ප්‍රධානියාට භාරදෙනු ලබයි. නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන තේවාව සඳහා වැඩම කරන හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටින ආවාස ගෘහයෙහි තබා ඇති ඇඳ පුටු ආදී සියලු උපකරණ ලේඛනයට අනුව ගණන් බලා කාමරවල වැඩ සිටීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ කටයුතු සිදු වෙ යි. මේ ආකාරයෙන් භාණ්ඩ සහ උපකරණ ලබාදීමෙන් අනතුරු ව, තේවාව බාරගනු ලබන මහාවිහාරයේ අතිගරු මහානායක මා හිමිපාණන් වහන්සේ සියල්ල බාරගත් බවට ලේඛනය අත්සන් තැබීමෙන් අනතුරු ව,තේවාවට වැඩම කරන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුදැනුම ඇතිව තේවාව සඳහා භික්ෂූන් වහන්සේලා පස්නමක් වැඩම කරති. එම භික්ෂූන් වහන්සේ පස්නමට සියල්ල භාරකිරීමෙන් අනතුරු ව පෙර තේවා කටයුතු සඳහා සහභාගි වූ විහාර පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා මාලිගාවෙන් බැහැරව යන අතර, වස් සමාදන් වන භික්ෂූන් වහන්සේලා එම ස්ථානයේ ම වැඩ සිටිති.

මල්වතු මහා විහාරයේ තේවාව සිදුකිරීමේ දී ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේලා පත්කිරීමේ වගකීම සම්පූර්ණයෙන් ම මහා නායක මා හිමිපාණන් වහන්සේ සතුව පවතී. අස්ගිරි මහා විහාරයේ තේවාව මැද පන්සල් පරම්පරාව සහ පහළ පන්සල් පරම්පරාව යනුවෙන් පරම්පරා දෙකකට අයත් වෙයි. එක වර්ෂයකදී මැද පන්සලේ ප්‍රධාන නායක හාමුදුරුවන් වහන්සේ වෙනුවෙනුත් , ඊළඟ වර්ෂයේ දී පහළ පන්සල් පරම්පරාවේ ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙනුවෙනුත් තේවා කටයුතු සඳහා සහභාගි වෙයි. එහිදී පහළ පන්සල් පරම්පරාව උරුලෑවත්ත පරම්පරාව සහ පොතුහැර පරම්පරාව යනුවෙන් කොටස් දෙකකට අයත් වෙ යි. උරුලෑවත්ත පරම්පරාවට එක් වර්ෂයකදී ප්‍රධානත්වය ලැබෙන අතර දෙවන පරම්පරාවට ඊළඟ වර්ෂයේ දී ප්‍රධානත්වය හිමි වෙයි. ඊළග වර්ෂයේ දී පොතුහැර පරම්පරාවෙන් වැඩම කරන විට උරුලෑවත්ත පරම්පරාවට දෙවැනි භාරකාර පදවිය හිමි වෙයි. මේ ආකාරයට අස්ගිරි මහා විහාරයේ තේවා කටයුතු සිදුවන ආකාරය සඳහන් කළ හැකි යි.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයෙහි තේවාව සඳහා වැඩම කරන භික්ෂූන් වහන්සේලා පස්නමගෙන් ස්වාමීන් වහන්සේ තුන් නමක් උඩ මහලේත් , එක ස්වාමීන් වහන්සේ නමක් පහත මාලයේත් එක නමක් පත්තිරිප්පුව වශයෙන් හඳුන්වන ස්ථානයෙහිත් තේවා කටයුතුවල නිරත වෙමින් වැඩසිටිති. මෙහි දී ප්‍රධාන කාර්යභාරය ප්‍රධාන නායක හාමුදුරුවන් වහන්සේගෙන් ඉටුවෙයි. උන්වහන්සේට නායක පදවියක් නොතිබුණත් ,උන්වහන්සේ මාලිගාවේ නායකහාමුදුරුවන් යන ගෞරව නාමයෙන් ඇමතීම සාමාන්‍ය සිරිත වෙයි. උන්වහන්සේට සහාය පිණිස වැඩම කරන දෙවන, තුන්වන හාමුදුරුවන් වහන්සේලාත්, ,පල්ලෙ මාලය බාරව කටයුතු කරන හාමුදුරුවන් වහන්සේත් යන සියලු ස්වාමීන් වහන්සේලාගේ වගකීම බවට පත්වන්නේ තේවා කටයුතු හරියාකාරව නිරීක්ෂණය කිරීම යි.ඒ වගේම එම කටයුතු වට්ටෝරු රාළත් පල්ලෙ මාලෙ රාළත් යන දෙදෙනාගේ උපකාරයෙන් යුක්තව සියලු කටයුතු නියම ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කිරීම උන්වහන්සේලාගේ වගකීම බවට පත්වෙයි. පල්ලෙ මාලෙ තේවාව සඳහා සහභාගි නොවන කිසිම භික්ෂූන් වහන්සේ නමකට උඩමාලයේ තේවා කටයුතු සඳහා අවස්ථාවක් නොලැබෙයි. පල්ලෙ මාලයේ තේවාව සිදුකිරීමෙන් අනතුරුව, උන්වහන්සේ උඩමාලයට වැඩම කර එහි දී තේවාව සිදුකළ හැකි යි. පල්ලෙ මාලේ තේවාව සිදුකරනු ලබන්නේ ,බුදුරජාණන් වහන්සේට තේවාව සිදු කිරීමට ලබාගන්නා හුරුවක් ලෙස සලකනු ලබයි.

බදාදා දිනයට පමණක් සිදුකෙරෙන විශේෂිත චාරිත්‍ර , වාරිත්‍රවලදී භික්ෂූන් වහන්සේලා නානුමුර මංගල්‍ය ස ඳහා කටයුතු සිදුකරනු ලබයි. තේවාව සිදුකෙරෙන කාල වකවානුුව තුළ දී උන්වහන්සේලා අතිශයින් ම පිරිසුදුව කටයුතු කිරීමට අවශ්‍යය නිසා තමාගේ ළඟම ඥාතිවරයෙකුගේ මළගමක් සිදුවුව ද , උන්වහන්සේලා සහභාගි නොවිම වර්තමානය දක්වාම ඒ ආකාරයෙන් පවතී. බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් යුතුව තේවා කටයුතු සිදුකළ යුතු නිසා කිලිවලට හසුවීමෙන් වැළකී සිටීමටත් , ඥාති මළගෙදරකට හෝ සහභාගි නොවී කටයුතු කිරීමට පාර්ශවයන් දෙකෙහිම ස්වාමීන් වහන්සේලා වගබලා ගනී.


ශ්‍රී දළදා පුරාණය:- 9 : ගෞරවණීයවූ අසිරිමත් දළදා පූජාවන්