Print this Article


දෙව් ලොවින් මනු ලොවට බුදුරදුන් වැඩි වග යි

දෙව් ලොවින් මනු ලොවට බුදුරදුන් වැඩි වග යි

" බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තීන්ට අනුව වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේ ද වප් පොහෝදා ය. ඊට හේතුව නම් වප් පෝයෙන් පසුව වස් කාලය අවසන් වීමත් ඒ අනුව භික්ෂූන් වහන්සේ නැවතත් ජනපද චාරිකාව ඇරඹීමත් ය. තවද වප් පොහොය දා පටන් විහාරස්ථානවල කඨින පින්කම් ආරම්භ වන අතර එතැන් පටන් ඉල් පොහෝදා තෙක් ඊට සුදුසු භික්ෂූන් වහන්සේලා වෙත කඨින චීවර පූජා කිරීමට පුළුවන."

කෘෂිකාර්මික පසුබිමක් සහිත අපගේ සංස්කෘතියේ වප් මාසයට ලැබී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ඊට හේතුව නම් වප් මාසය මුල්කරගෙන කුඹුරු වපුරා මනා අස්වැන්නක් ලබා ගැනීමට අප සමාජය පුරුදු වී තිබීම යි. එම වප් මාසයේ පුර පසළොස්වක දා බුද්ධ චරිතයේ විශේෂ සිද්ධීන් ගණනාවක් ම සිදු වී ඇති බව පෙනී යයි.

සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වී සතියකින් මහා මායා දේවිය මනුලොවින් නික්ම තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයා ලෙස උපත ලැබුවා ය. මාතෘදිව්‍ය රාජයාට කෘතුගුණ සැලකීම පිණිස උන්වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවීමට තීරණය කළේ එදා ඇසළ පොහෝ දින ගණ්ඩම්බ නම් අඹ රුක මුල යමා මහ පෙළහර පෑ අවස්ථාවේදී ය. තීර්ථකයන් දමනය කිරීම පිණිස යමා මහ පෙළහර පා වදාළ බුදුරජාණන් වහන්සේ එය අවසන්වීමත් සමඟ ම එකෙනෙහි ම අතුරුදහන් වූ සේක. රැස් වූ පිරිස බුදුරදුන් කොහි වැඩිසේක් දැයි සැරියුත් තෙරුන්ගෙන් විමසූ මොහොතේ එය අනුරුද්ධ තෙරුන්ගෙන් දැනගන්නැයි වදාළේ එහිමියන් තුළ පැවැති උසස් ගුණ ප්‍රකට කිරීමටය. වස් තුන් මස දෙව්ලොව වැඩ සිට වප් පොහෝදා මනුලොවට බුදුරදුන් වඩින බව උන්වහන්සේ වදාළෙන් එතැන් පටන් තුන් මසක් ගතවන තෙක් සැදැහැතියෝ සංකස්ස පුරයේ රැස්ව සිටියහ. වප් පුර පසළොස්වක පොහෝ දින බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට රැස්වූ සියලු දෙනාට පෙනෙන සේ දෙව්ලොවින් මනුලොවට විවර කළ රන් හිණිමගකින් මහ පොළොවට වැඩි සේක. අපමණ දෙව් මිනිසුන් හා බඹුන් විසින් මේ වේලාවේ දී බුදුරදුන්ට පුද පූජා පවත්වන්නට වූ අතර මෙය දේවාවරෝහණ පූජාව නම් වේ.

මෙම අප්‍රමාණ ප්‍රාතිහාර්යයන් සිදුවන මොහොතේ ඒ බව දුටු සංකස්ස පුරයේ සිරිවඩ්ඩන නම් තරුණ කුමාරයෝ බුදුරදුන් විසින් විමසූ පැන සැරියුත් හිමියන් විසැඳීම දැක පැහැදී පැවිදිව ආර්ය මෛත්‍රී නමින් ප්‍රසිද්ධව වූ අතර ඉල් පොහෝ දිනක උන්වහන්සේ විසින් බුදුරදුන් උදෙසා අගනා වස්ත්‍ර දෙකකින් වියන් බැඳ අනතුරුව උක්කුටියෙන් හිඳ කරන ලද අනිමිස ලෝචන පූජාව නිසා මෛත්‍රි නමින් මේ කල්පයේ දී ම බුදුවන බවට නියත විවරණ ලැබු සේක. උන්වහන්සේගේ පැවිදි වීම සිදුවූයේ ද එම වප්පුර පසළොස්වක පොහෝ දින දී ය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තීන්ට අනුව වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේ ද වප් පොහෝදා ය. ඊට හේතුව නම් වප් පෝයෙන් පසුව වස් කාලය අවසන් වීමත් ඒ අනුව භික්ෂූන් වහන්සේ නැවතත් ජනපද චාරිකාව ඇරඹීමත් ය. තවද වප් පොහොය දා පටන් විහාරස්ථානවල කඨින පින්කම් ආරම්භ වන අතර එතැන් පටන් ඉල් පොහෝදා තෙක් ඊට සුදුසු භික්ෂූන් වහන්සේලා වෙත කඨින චීවර පූජා කිරීමට පුළුවන.

සංකස්සපුරයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එදා සැරියුත් තෙරණුවන්ගෙන් විමසූයේ බුදුවරුන්ට පමණක් ම විෂයය වන ප්‍රශ්න රාශියකි. නමුත් සැරියුත් තෙරුන් ඉතා මැනවින් එම ප්‍රශ්න විසඳන ලද නිසා බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් තෙරණුවන් ප්‍රඥාලාභීන් අතර අග්‍රප්‍රාප්ත ශ්‍රාවක තනතුරට පත්කරන ලද්දේ ද එම වප් පොහෝදා ම ය.

ලංකා ශාසන ඉතිහාසයේ ඉතා වටිනා සිදුවීම් රැසක් ම සිදුවූ පොහෝ දවසක් ලෙස වප් පොහොය හඳුන්වා දීමට පුළුවන.

මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද පේතවත්ථු හා විමානවත්ථු මෙන් ම සච්ච සංයුත්තය ද ශ්‍රවණය කළ අනුලා දේවිය ඇතුළු පන්සියයක් දේවිවරු සෝවාන්ඵල ප්‍රත්‍යක්ෂ කළහ. ඉන් අනතුරුව දෙවන දින රජතුමාට දෙසන ලද වේළුවනාරාම වස්තුව ශ්‍රවණය කිරීමෙන් ඒ සියලු දෙනාම සකෘදාගාමී ඵලවලට පත්වූහ. ඒ උත්තමාවන් පැවිදි කරවීම පිණිස දෙවනපෑතිස් රජතුමා විසින් අරිට්ඨ කුමරු ඇතුළු පන්සියයක් දූතයන් දඹදිව පැලලුප්නුවර වෙත පිටත්කර හරින ලද්දේ ද වප් පොහෝ දිනක ය.

මිහිඳු මහරහතන් වහන්සේගේ මග පෙන්වීම මත දෙවනපෑතිස් රජතුමා විසින් ලංකාද්වීපයේ සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවීම පිණිස බොහෝ කටයුතු කරන ලදී. එසේ කරන අතරවාරයේ දී ‘ලක්දිව බුදුසසුන පිහිටියේදැ’යි දෙවන පෑතිස් රජතුමා විසින් මිහිඳු මහ රහතන් වහන්සේගෙන් විමසන ලදී. එවිට මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ “මහරජ ශාසනය පිහිටියේ ය. නමුත් එය තව ම මුල් බැසගෙන නැත.” කියා ය. ශාසනය මුල් බැස ගන්නේ කෙසේදැයි” රජු විමසූ විට උන්වහන්සේ පිළිවදන් දුන්නේ, “මහරජ, යම් කලක මේ ලංකාද්වීපයේ සිංහල මව්පියන්ට දාව උපන් දරුවකු මෙහි ම පැවිදිව විනය පිටකය ඉගෙන ගෙන මෙරට දී ම විනය සංගායනා කළහොත් බුදුසසුන මේ රටේ මුල්බැස ගත්තා වන්නේ ය යනුවෙනි. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුම පරිදි ලංකාවේ ථූපාරාම සෑ මලුවේ දී අරිට්ඨ මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දීපවාසී මහරහතන් වහන්සේ වප්පුර පසළොස්වක පොහෝ දිනක විනය පිටකය සංගායනා කළහ. එම සංගායනාවත් සමඟ ම ලංකාවේ බුදුසසුන පිහිටි අතර ඒ බව තහවුරු කිරීමට ලක්දිව පොළොව කම්පා වූ බව සඳහන් වී ඇත.

ලංකාවට වැඩම කරවීම සඳහා ධර්මාශෝක රජතුමා විසින් දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වෙන් කිරීම පිණිස රේඛාවක් ඇඳි මොහොතේ දී එම දක්ෂිණ ශාඛාව ඉබේටම මහා කඳින් වෙන් වී රත්තරං පාත්‍රයේ පිහිටි බව සඳහන් ය. එම ප්‍රාතිහාර්යය සිදුවූයේ ද වප් පුන් පොහෝ දිනක ය.