Print this Article


සතර මහා භූත රූප:  තේජෝ ධාතුව - රූපය යම් තැනක ද තේජෝ ගුණය නිසැකව ම එහි ඇත

- තේජෝ ධාතුව -

රූපය යම් තැනක ද තේජෝ ගුණය නිසැකව ම එහි ඇත

" තේජෝ ධාතුව නිතර ම පාහේ ඇසට පෙනෙන්නේ එය ඉපදීමට අවශ්‍ය ප්‍රත්‍යයන් ඇතිවිට පමණි. තේජෝ බහුල වූ කල්හි එය ගින්දර නම් වන අතර අවම වූ කල්හි ජලය හා අයිස් දැකිය හැකි ය. එසේ වන්නේ සතරමහාධාතූන් එකකින් එකක් ඉවත් කළ නොහැකි සේ පවතින බැවිනි."

සංඛත සියල්ල දෙයාකාර වේ. ඒ නාමරූප වශයෙනි. නාම රූප යනු, රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පහයි. සත්ත්වයන්ගේ විඤ්ඤාණයන් හැර සමස්ත විශ්වය රූප නම් වේ. වැලිකැටයේ සිට සුවිසල් තාරකාව තෙක් සියල්ලත්, අඳුරු පදාර්ථ හා අවකාශයත් රූප ගණයටම අයත් ය. එසේ වූ විශ්වය තුළ ඒ ඒ අවකාශ තුළ අනන්‍යව පැතිරුණු සිතිවිලි ශක්තීන් හි එකතුව හා ක්‍රියාකාරීත්වය නාම නම් වේ. නාම රූප සැම විටම අන්‍යෝන්‍ය සාපේක්ෂ ය. එනම් ඒවා සැමවිට ම එකිනෙක අපේක්ෂා කරන බැවිනි.

සක්‍රීයව පවතින විඤ්ඤාණයක් ඇති සැම විටම ම එම විඤ්ඤාණය හා සමගම රූපය ද පැවැතිය යුතු ය. එම රූප ඕලාරික හෙවත් රළු හෝ සුඛුම හෙවත් සූක්ෂම හෝ විය හැකි ය. ඕලාරික හා සුඛුම රූප සියල්ලෙහි ම පවත්නා ලක්ෂණ අටකි. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා යන අටයි. ඒ අතරින් මෙහි විස්තර කෙරෙන්නේ තේජෝ ධාතුවයි.

ජීවයක් රහිත බව ධාතු යන්නෙහි අර්ථයයි. එනම් සත්ත්ව පුද්ගල වශයෙන් හැඳින්විය හැකි කිසිවක් නොමැති බවයි. එසේ වූ ධාතු හයක් ඇති බව ධාතුවිභංග සූත්‍රය දක්වයි. තේජෝ ධාතුව විස්තර විභාග කරමින් සැරියුත් මහරහතන් වහන්සේ මෙසේ වදාරන සේක.

“තේජෝධාතුව අජ්ඣත්තික – බාහිර වශයෙන් පවතී. අජ්ඣත්තික තේජෝ ධාතුව යනු තම අභ්‍යන්තරයෙහි පවතින උණුසුම දවන ශක්තිය ස්වභාව කොට පවතින ගතියයි. යමකින් සන්තාපනය, දිරායාම, දැවීයාම සිදු වේ ද යමකින් කන බොන ආහාරපාන ආදිය අවශ්‍ය පරිදි දිරවීම සිදු කෙරේ ද ඊට ද අමතර ව තමා තුළ ඇති මෙහි නොකී උණුසුමක් හා එවැනි ස්වභාවයක් වේ ද එය තේජෝ ධාතු නම් වේ. තම සිරුරෙහි යම් තේජෝ ධාතුවක් වේ ද සිරුරින් පිට යම් තේජෝධාතුවක් වේ ද ඒ සියල්ල ම තේජෝ ධාතුව යැයි කියනු ලැබේ.”

මෙහි තේජෝ ධාතුව දක්වා ඇත්තේ විදර්ශනා භාවනාවෙහි කායානුපස්සනා සතිපට්ඨානයට අවශ්‍ය වන පරිදි ය. යමෙකු තමා තුළ හා තමාගෙන් පරිබාහිර ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් දැකීමේ දී මෙම නිෂ්පුද්ගල සඤ්ඤාව උපදවන ධාතු මනසිකාරය අත්‍යවශ්‍ය ය. එබැවින් ඒ ඒ අංශ කෙරෙහි වෙන වෙන ම දකිමින් මෙනෙහි කරන්නට මෙසේ තේජෝ ධාතුව කොටස් දෙකක් වශයෙන් දක්වයි. මෙහි දක්වන පරිදි තේජෝ ධාතුවෙන් කාර්යයන් හතරක් (4) සිදු වෙයි. එනම්,

1. සන්තප්පති – තැවීම හා දැවීම ඉපිදවීම.

2. ජීරීයති- දිරායාම ඇති කිරීම.

3. පරිඩය්හති – හාත් පසින් ම සියල්ලෝ දවන ගතිය.

4. අසිතපීතකායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති – කන බොන වළඳන සියල්ල මනා සේ දිරවන ගතිය ද තේජෝ ය.

ඊට අමතර ව අජ්ඣත්තික ව හා බාහිරව පිහිටි උණුසුම හා ඊට මුල්වන ස්වභාවය තේජෝ ය.

තේජෝ ධාතුව නිතර ම පාහේ ඇසට පෙනෙන්නේ එය ඉපදීමට අවශ්‍ය ප්‍රත්‍යයන් ඇතිවිට පමණි. තේජෝ බහුල වූ කල්හි එය ගින්දර නම් වන අතර අවම වූ කල්හි ජලය හා අයිස් දැකිය හැකි ය. එසේ වන්නේ සතරමහාධාතූන් අවිනිබ්බෝග හෙවත් එකකින් එකක් ඉවත් කළ නොහැකි සේ පවතින බැවිනි. ජලය තුළ පවා යම් පමණකට තේජෝ ධාතුව ඇති නිසා එවැන්නක් සිදුවේ. තේජෝ ධාතුව ද මොහොතක් පාසා වෙනස් වෙයි. නමුත් රූප ජීවිතේන්ද්‍රියයෙහි බලය නිසා නැවත නැවත තේජෝ ශක්තිය උපදියි.

විසුද්ධි මග්ගයට හා චරක සංහිතා වැනි වෛද්‍ය ග්‍රන්ථවලට අනුව තේජෝ ධාතුව යමෙකුගේ සිරුරෙහි බහුලවීම මගින් පිත් රෝග බහුල වෙති. පිත අධික බව සේ ම චරිතයක් වශයෙන් ද තේජෝ ගතිය ඉහළ තැනැත්තා ද්වේෂ හෝ බුද්ධි චරිතයක් බවට පත්වෙයි. දවන තවන ගතිය හා තමන්ට හමුවන ඕනෑම අභියෝගයක් විනාශ කරගෙන යාම තේජෝ ශක්තිය බහුල සත්ත්වයන්ගේ චරිත ලක්ෂණයයි.

ලෝක විනාශයේ දී අකණිටා බඹලොව තෙක් ලෝක නසන බලවේග තුනෙන් එකක් තේජෝ ය. රූපය යම් තැනෙක වේද තේජෝ නිසැකව ම එහි ඇත. ඉහත දැක් වූ මහාහත්ථිපදෝපම සූත්‍රය අනුව ද පැහැදිලි වන්නේ යමක් කල් ඉකුත්වීමට හා දිරායාමට තේජෝ ධාතුව ප්‍රබල ව බලපාන බවයි. තද ගතිය, පැතිරෙන ගතිය හා පිම්බෙන හැකිළෙන ගතිය හෙවත් ඒ සඳහා ඇති හැකියාව ඉක්මවා පවතින වෙනස් ම ගතියක් වන තාපය හා උණුසුම තේජෝ ධාතුව යි.