Print this Article


රාහුල මහරහතන් වහන්සේ

රාහුල මහරහතන් වහන්සේ

අප මහ බෝසතාණන් වහන්සේ පදුමුත්තර බුදුහිමි ජීවමානව සිටිය දී එම බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ දී ජටිල නම් රැටියෙක් ව බුදුපාමොක් මහා සඟනට ආහාර සහිත ව සිවුරු පූජා කිරීම සිදු කළහ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගෞතම බෝසතුන්ට දස වැනි නියත විවරණය ලබා දුන් සේක.

එකල රාහුල ස්වාමින් වහන්සේ හංසවතී නුවර සිටු ගෙදරක උපත ලැබුවා. තරුණ වියට පත් වූ ඔහු නිරන්තරයෙන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මය ශ්‍රවණය කළා. පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි මහදන් පවත්වමින් සිටිය දී උපරේවත නම් කුඩා රහත් තෙරනමක් ඍද්ධි ප්‍රාතිහාර්ය පාන බව දැක සතුටට පත් වුණා. ඒ උපරේවත තෙරුන් පදුමුත්තර බුදුරදුන්ගේ ගිහි කාලයේ පුතනුවන් බව දැන, එදා පටන් ඔහු බොහෝ සංඝෝපස්ථාන කළා. සේනාසන ආදිය පිරිසුදු කරමින්, දානමාන පූජා කරමින් ජීවිතයට පින් රැස්කර ගත්තා. දිනක් ඉතාමත් සෝභමාන අගනා ඇතිරිල්ලක් මේ තරුණයා විසින් අප්‍රමාණ පැහැදීමෙන් ‘මේ අගනා ඇතිරිල්ල දෙපා ඇත්තවුන්ට අග්‍ර වු, නරශ්‍රේෂ්ඨ වු, තාදි ගුණැති මහා මුනි පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුජා වේවා’යි පවසා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තුළ ඇතිරුවා. දහසක් මහ රහතුන් පිරිවරා ගෙන ගන්ධ කුටියට පිවිසි උන්වහන්සේ මේ ඇතිරිල්ල පූජා කොට රැස්වූ පිනෙන් ‘කල්ප ලක්ෂයක් අවෑමෙන් පහළ වන ගෞතම බුදු සසුනේදී මේ තරුණයා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග තනතුරු ලබන්නේය’ යැයි අනාගතය දෙස බුදුනුවණින් බලා පවසා වදාළා.

අතිශයින් ම සතුටට පත් වූ ඒ තරුණයා එදා පටන් දිවි අති තෙක් තවත් බොහෝ පින්දහම් රැස් කළා. ඒ අගනා ඇතිරිල්ල පූජා කළ පින මේ තරුණයාට මරණින් මතු බොහෝ සැප ලබා දුන්නා. හැට හතර වතාවක් සක් දෙව් පදවිය ලබා, දෙදෙව් ලොවට අධිපති ලෙස සැපසේ වාසය කළා. අනතුරුව ‘විමල’ නම් සක්විති රජු ලෙස ඉපදී මුළු පෘථිවිය ම ධාර්මික ලෙස පාලනය කළා. සක්විති රජු වු ඔහුගේ රාජධානිය යොදුන් තුන්සීයක් විශාල ‘රේණුවතී” නම් නගරයක්. එහි සත්රුවනින් නිමවන ලද උස් වූ කුළු ගෙවල් ඇති’සුදර්ශන’ නම් සුවිශාල ප්‍රාසාදයක් ඔහුගේ මාලිගය වුණා. මේ සෑම උපතකදීම ඔහු උදෙසා රන්,රිදී, වෛරෝඩි ආදි වටිනා දේ පහළ වුණා. මේ අයුරින් බුදුරදුන් උදෙසා කළ පූජාවේ විපාක ඔහු භුක්ති වින්දා.

රාහුල මහරහතන් වහන්සේ ගේ ප්‍රාර්ථනාව ඉටුවුන භවය මේ මහා භද්‍ර කල්පයේ ඒ වන විට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 ක් වී තිබුණා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මේ මනුලොව ඉපදී දහසය වැනි වියේ දී යශෝධරාවන් හා විවාහ වුණා. තුසිත ලොවින් චුත වු මොහු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට දාව යශෝධරාවන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අතීත ජීවිතයේ “පඨවින්ධර’ නම් නා රජෙකු ව ඉපදී සිටිය දී බෝසතාණන් වහන්සේ නමකගේ පුත්‍රයෙකු ලෙස ඉපදේවායි බුදු කෙනකු හමුවේ කළ පැතුමක් නිසයි. ඒ අනුව මහා පුණ්‍යවන්තයෙකු වූ මොහු සිද්ධාර්ථ, මහා බෝසතාණන් වහන්සේගේ විසිනව වැනි වියේ දී ඇසළ පුන් පොහෝ දිනයක යශෝධරාවගේ කුසින් ‘රාහුල’ නමින් උපත ලැබුවා. පුතු උපත ගැන සැළ වු මහ බෝසතාණන් "රාහුලයෙක් උපන්නා. තවත් බන්ධනයක් ඇතිවුණා" යැයි පැවසුවා. එදා තමා අප මහ බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට වදාළ උතුම් ඇසළ පුන්පොහෝ දිනය.

එදා පටන් තම මෑණියන් වු යශෝධරාවගේ තුරුලේ සුද්ධෝදන රජුගේ රාජධානියේ රාහුල කුමාරයා ඇති දැඩි වුණා. රාහුල කුමරුට වයස අවුරුදු සතක් පමණ වන විට සුදොවුන් රජුගේ ඇරයුමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස විසිදහසක් භික්ෂු සංඝයා පිරිවරාගෙන කපිලවස්තු පුරයට වැඩමකොට වදාළා. ‘යමක මහා ප්‍රාතිහාර්යය’ පවත්වා ඥාතීන් දමනය කොට වදාළා. එදින තරු පිරිවැරූ සඳ මඩල සේ බබළමින් බුදුරජාණන් වහන්සේ වඩිනා අයුරු යශෝධරාව සමඟ සිටි රාහුල කුමාරයාට දැක ගන්නට ලැබුණා.

“පුතා මුත්තණුවන්ගෙන් පස්සේ රජකම උරුම වෙන්නේ ඔබේ පියතුමාටයි. නමුත් එතුමා රජකම් කරන්නට එන්නේ නෑ. ඒ නිසා ඊළඟට ඔටුන්න හිමි මගේ පුතාට යි. පියතුමා සතු මහ නිදන් වස්තු රාශියකුත් තියෙනවා. එතුමා නුවරින් පිටවෙන්නට කලින් දුවලා ගිහින් පියතුමාගෙන් පුතාට දෑවැද්දක් හැටියට ඒ ඔක්කොම වස්තුව ඉල්ලාගන්න. යන්න, දුවලා යන්න, “කියමින් යසෝදරා බුදුහාමුදුරුවන් වෙත පුතු පිටත් කළා.

වේගයෙන් දිව ගිය ළදරු රාහුල කුමරුට සන්සුන් ගමනින් වඩිනා බුදුහාමුදුරුවන් සමීපයට ළඟා වීමට වැඩි වේලාවක් ගත වුණේ නෑ. උන් වහන්සේ පුතුගේ සුරත අල්ලාගත්තා. සන්සුන්ව පියවර තබන පියාණන් සමඟ පුතු ද නිහඬව ඉදිරියට පා නැගුවා. මේ දසුන දුටු මග දෙපස රැඳී සිටි දහස් ගණන් පිරිසගේ හදවත් දාරක ස්නේහයෙන් පිරී ඉතිරී ගියා. සත්අවුරුද්දක් අහිමි ව තිබුණු පිය සෙනෙහස රාහුල පුතුට යළි ලැබී ඇති අයුරු දුටු ඇතැමුන්ගේ දෑස්වලින් සතුටු කඳුළු වැගිරුණා.

“ඔබේ හෙවණේ ඉන්න විට මගේ ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. පියාණනි,” කියමන් කුමරු හිස ඔසවා බුදුපියාණන්ගේ මුහුණ දෙස බැලුවා.

“පුතාට විතරක් නො වෙයි, මා ළඟ ඉන්න ඕනෑම කෙනෙකුගේ ගත – හිත දෙකට ලොකු සුවයක් දැනෙනවා” යැයි බුදුහාමුදුරුවන් පවසද්දී ඒ වදන් වැටහුණු බව ඇඟවීමට මෙන් සුරතල් සිනාවක් පෑ කුමරු “පියාණනි” ඔබට ලොකු වස්තුවක් තිබෙන බව අම්මා කීවා. ඒ ඇත්තද?” යි ඇසුවා.

“ඒ කථාව ඇත්තක් පුතා, මීට අවුරුද්දකට කලින් ගයාවේ ඇසතු ගහක් මුලදී ලැබුණ ඉතා වටිනා වස්තුවක් මා සන්තකව තිබෙනවා. ඒ තමයි සප්තාර්ය ධනය” පුතු දෙස බලා මඳ සිනාවක් පාමින් බුදුහාමුදුරුවෝ වදාළා.

“හොඳයි”. මම එය පුතාට දෙන්නම්, හැබැයි මාත් එක්ක ආරාමයට ගිහින් මහණ වුණොත් තමා එය ලබාගන්නට පුළුවන් වෙන්නේ. මගේ පුතා කැමති ද මහණ වෙන්න?” යනුවෙන් අසමින් බුදුහාමුදුරුවෝ කුමරු දෙස බැලූහ. ඔහු එයට කැමති බව ඇඟෙව්වේ කිරිසුදු දසන් පෙන්නා සිනා සී හිස වැනීමෙනි.

රාහුල පුතු බුදු පියාණන්ගේ අත අල්ලාගෙන යන අයුරු යසෝදරා සොම්නසින් බලා සිටියා. පුතු වහා ම ආපසු එති යි ඇය සිතුවා . එහෙත් ඔහු බුදු හාමුදුරුවන් සමඟ ඈතින් ඈතට යන බව ඇය දුටුවා. ‘මගේ බුදුහිමි දින කීපයකට කලින් නන්ද කුමරු විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කළ අන්දමට මගේ පුතාත් පැවිදි කරයිද? යන සැකය ඇයට ඇති වුණා. ඒ නිසා ඇය, පුතා බුදු හාමුදුරුවන් සමඟ ගිය බව සුදොවුන් රජුට වහාම දැන්වූවා .

පුත් කුමරු කැඳවාගෙන නිග්‍රෝධාරාමයට වැඩි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන් ඇමතූහ. “සාරිපුත්ත , මේ මගේ පුතා – රාහුල , මා සමඟ පැමිණියේ මා සන්තක වස්තුව ලබාගන්නටයි. ඔහු මෙලොව එළිය දුටු දවසේ මා අභිනිෂ්ක්‍රමණය කළ නිසා පියකු වශයෙන් මගෙන් ලැබිය යුතු දරු සෙනෙහස හෝ මගපෙන්වීම් ඔහුට ලැබුණේ නෑ. බුදුවරයකු සතු මහා කරුණාවෙන් ලෝවැසි සියලු දෙනාම දරුවන් මෙන් සලකා ඒ සැමටම සෙත සලසන මම මගේ ම පුතාටත් සෙත සැලසිය යුතු යි.

“සාරිපුත්ත , රාහුල පැවිදි වීමට කැමැතියි. ශ්‍රද්ධාව, සිල්වත්කම, පව් කරන්නට ලජ්ජාව හෙවත් හිරිය, ඒ සඳහා බිය හෙවත් ඔත්තප්පය, දැන උගත්කම හෙවත් ශ්‍රැතමය ඥානය, පරිත්‍යාගශීලි භාවය හා ප්‍රඥාව යන සප්තාර්ය ධනය තමයි ඔහුට දීමට මා සතුව ඇති වස්තුව, ඔහුගේ ජීවිතය සැපවත් වන්නේ එයිනුයි. ඒ නිසා රාහුල පැවිදි කරන්න” යැයි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දැන්වූහ. ඒ අනුව උන් වහන්සේ කුමරු පැවිදි කළා.

රාහුල හිමියන් පැවිදි කළ ආචාර්යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේයි. උපාධ්‍යායන් වහන්සේ වූයේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේයි.

රාහුල හිමියන්ට තිබුණේ ඉතාමත් ම වාසනාවන්ත, පුණ්‍යවන්ත ගුණවත් ජීවිතයක්. නිතර නිතර බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට මේ අයුරින් අවවාද කළා. ‘පින්වත් රාහුලය, සැදැහැ සිතින් බුදු සසුනේ පැවිදි වු ඔබ පස්කම්සැප අත්හැර දමා දුක කෙළවර කර ගැනීමට මහන්සි වෙන්න. කල්‍යාණ මිත්‍රයන් අසුරු කරන්න. හුදෙකලාවේ වාසය කරන්න. නුවණින් යුතුව දානය වළඳන්න. සිවුපසට ගිජු නොවී වාසය කරන්න. ආයේ කවදාවත් මේ ලෝකයට නම් එන්න එපා! හොඳින් සිල්වත් වී ඉඳුරන් සංවර කර ගන්න. කායානුපස්සනාවේ යෙදෙන්න. මේ සසර කෙරෙහි කළකිරෙන්න. රාගය ඇති කරන සුභ නිමිති අත්හැර දමන්න. අසුභ භාවනාවේ මැනවින් යෙදෙන්න. රාහුලයෙනි, හොඳින් විදසුන් වඩන්න. මාන්නය දුරින් ම දුරු කරන්න. කෙලෙස් සටහනක් නොමැති ව උපශාන්ත බවට පත්වී සැනසීමෙන් කල් ගෙවන්න.

රාහුල හිමියන් ද භාග්‍යවතුන් වහන්සේගෙනුත් තම ආචාර්ය උපාධා්‍යයන් වහන්සේලාගෙනුත් අවවාද අනුශාසනා ලැබීමට අතිශයින් ම ආශා කළා. උදෑසන ම මුහුණකට සේදීමටත් පෙර මිදුලෙන් වැලි දෝතක් ගෙන, “මේ වැලි දෝතේ වැලි කැට ප්‍රමාණයට මට අවවාද අනුශාසනා ලැබේවා’ය සිතමින් එය උඩට විසි කිරීම උන්වහන්සේගේ සිරිතක් වුණා. මේ සිදුවීම සැලවූ බුදුරජාණන් වහන්සේ අතීත පුවතක් ගෙනහැර දක්වමින් ‘මිග ජාතකය’ දේශනා කළා. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ හමුවේ රාහුල හිමියන් ලැබු අවවාද අනුශාසනා අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, චූල රාහුලෝවාද සූත්‍රය ආදි සූත්‍රවලත් රාහුලෝවාද සූත්‍ර වශයෙන් බොහෝ සූත්‍ර ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ අන්තර්ගත වෙනවා.