Print this Article


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 22: සුජාත ජාතකය: සුළු වරද අමතක කිරීම

සුජාත ජාතකය:

සුළු වරද අමතක කිරීම

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි මල්ලිකා දේවිය අරභයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. එක් දිනක මල්ලිකා දේවිය හා කොසොල් රජු අතර කිසියම් අර්බුදයක් හටගත්තේය. රජු, තමා සමඟ කෝපයෙන් සිටින බවත්, බුදුරදුන් එය නොදන්නවා විය හැකි බවත් මල්ලිකා දේවිය සිතා සිටියා ය. එහෙත් බුදුරදුන් දෙදෙනාගේ අර්බුදය පිළිබඳ මැනවින් කරුණු දැනගත් අතර දෙමහල්ලන් සමඟි කරවීමට අනුශාසනා කළ යුතුයැයි සිතා පෙරවරු කාලයේ කොසොල් රජුගේ මාලිගය බලා පිඬුසිඟා වැඩි සේක.

රජ මැදුරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පිළිගත් රජු උන්වහන්සේ වඩා හිඳුවා දන් පිළිගැන්වීමට සූදානම් විය. රජුගේ දන් පිළිගැන්වීම වැළක් වූ බුදුරජාණන් වහන්සේ මල්ලිකා දේවිය කොහි ගියේදැයි විමසා වදාළහ. බුදුරදුන්ට පිළිවදන් දුන් රජු ඇය දැන් තම ඉසුරුමත් බව නිසා අහංකාර වී ඇතැයි ද ඈ ගැන විමසීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි ප්‍රකාශ කළේ ය. රජු කෝපයෙන් සිටින බව දුටු බුදුරජාණන් වහන්සේ, මහ රජ ඔබ විසින් ම ඇයට සම්පත් පවරා දී, ඇය උසස් තත්ත්වයකට පත්කොට, ඇයගේ යම් වරදක් දුටුවිට එය ඉවසා දරා කටයුතු නොකිරීම වරදක් යැයි පැවසූ සේක.

කොසොල් රජු බුදුරදුන්ගේ අනුශාසනාව පිළිගෙන මල්ලිකා දේවිය කැඳවීය. මල්ලිකා දේවිය ද බුදුරදුන් වෙත ගොස් කිසිවක් සිදු නොවූ ආකාරයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව සියතින් ම දන් පිළිගැන් වූවා ය. දන් වැළදූ බුදුරජාණන් වහන්සේ දෙදෙනාටම සමගියෙන් කටයුතු කිරීමේ වටිනාකම පැහැදිලි කොට ධර්මය දේශනා කොට දෙව්රම් වෙහෙර බලා වැඩම කළහ. බුදුරදුන් විසින් කොසොල් රජු හා මල්ලිකා දේවිය සමගි කළ පුවත දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන්වහන්සේලා අතර සාකච්ඡා විය. එය දැනගත් බුදුරජාණන් වහන්සේ අතීත භවයෙත් තමන් වහන්සේ විසින් එම දෙපළ සමඟි කළ බව ප්‍රකාශ කොට අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ රජුට උපදෙස් සපයන අමාත්‍යයෙක් ව උපන්නහ. එක් දිනක් රජු උඩු මහලේ සිට රාජාංගණය බලන්නේ ඩෙබර ඵල විකුණන වෙළෙන්දෙකුගේ රූමත් දියණියක් ඩෙබර පැසක් හිස තබාගෙන වෙළෙඳාමෙහි යනු දුටුවේ ය. ඇගේ රූපයෙන් වසී වූ රජු ඈ ගැන තොරතුරු විමසා බලා අවිවාහක බව දැන තම අගමෙහෙසිය බවට පත්කරගත්තා ය. එක් දිනෙක අගමෙහෙසිය රජු රන්තලියක තිබූ ඩෙබර ඵලයක් අනුභව කරමින් සිටි අවස්ථාවෙහි ඒ ගැන කිසිවක් නොදත් අයෙකු සේ අනුභව කරන්නේ කවර ඵලයක්දැයි රජුගෙන් විමසා සිටියා ය.

පෙර ඩෙබර ඵල වෙළෙඳාම් කළ ඔබ දැන් ඒ ගැන නොදන්නාක් මෙන් ඉසුරු මදයෙන් මත් ව මගෙන් කරුණු විමසන්නේදැයි කෝපයට පත්වූ රජු ඇය නැවතත් පෙර සිටි තැනටම ගෙනගොස් දමන මෙන් සේවකයන්ට අණ කළේ ය. මෙය දැනගත් බෝසත් අමාත්‍යවරයා කෙසේ හෝ ඔවුන් දෙදෙනා සමගි කරවමියි සිතා රජු වෙත ගොස් මහරජතුමනි, මෙවැනි උසස් තනතුරුවලට පත් වුව ද ඇතැම් තැනැත්තියන්ගේ ප්‍රමාද දෝෂ තිබිය හැකි ය. එබැවින් ඇයට කමා කළ මැනවයි ඉල්ලා සිටියේ ය.

තම හිතවත් අමාත්‍යවරයාගේ වචනය පිළිගත් රජු ඇයට සමාව දී නැවතත් අග බිසෝ තනතුරෙහි පිහිටුවී ය. ඉතා කුඩා සිදුවීමක් පදනම්කරගත් ජාතක කථාවක් වුව ද එයින් ලැබෙන ආදර්ශය සාර්ථක පවුල් ජීවිතයක් ගොඩ නඟා ගැනීමට උපකාරී වේ. වර්තමාන කථාවෙහි එන මල්ලිකා දේවිය මෙන් ම අතීත කථාවෙහි එන ඩෙබර ඵල විකුණු කාන්තාව ද ඉසුරු මදයෙන් මත්ව වාසය කළ බව පැහැදිලි ය. මෙම කාන්තාවන් දෙදෙනා ම තම ස්වාමියා නොසළකා කටයුතු කර ඇත. අතීත කථාවෙහි එන ඩෙබර ඵල විකුණු කාන්තාව හා සමාන චරිත ලක්ෂණ සහිත තැනැත්තියන් කොතෙකුත් දක්නට ලැබේ. අතීතයේ ඉතා දිළිදුව සිටි ඇතැම් කාන්තාවන් පොහොසත් වූ පසුව තමා අයත් අතීතය සඟවා තබා අන්‍යයන් ඉදිරියේ පාරම්පරිකව ධනවත් තැනැත්තියක් යැයි හැඟවීමට දරණ ප්‍රයත්නය අන්‍යයන්ගේ ගැරහුමට හේතුවක් වන බව අතීත කථාවෙන් පැහැදිලි වේ.

එසේ ම ඇතැම් කාන්තාවන් තම ඉසුරුමත් බව නිසා තම ස්වාමියා වුව නොසළකා කටයුතු කරන බව වර්තමාන කථාවෙන් ප්‍රකට වේ. දිළිඳු ව සිට උත්සාහයෙන් ධනවත් වීම වරදක් නොවේ. එසේ ම ධනවත් වූ පසුව පැරණි ජීවිතය මෙන් දුක්ඛිතව වාසය කළ යුතු ද නොවේ. එහෙත් ධනයෙන් මත් ව අතීතය අමතක කොට කටයුතු කිරිම යහපත් ලක්ෂණයක් නොවේ. අභිනවයෙන් පොහොසත් වන බොහෝ ස්ත්‍රීන් හා පුරුෂයන් තුළ මෙම දුර්වලතාව බහුලව දක්නට ලැබේ. එවැනි පුද්ගලයන් ඉතා කඩිනමින් සමාජ අවමානයට පාත්‍ර වේ. ජීවිතය හැම විටම එක්ම ආකාරයෙන් පවතින්නක් නොවේ. මොහොතින් මොහොත විවිධ වෙනස්කම් සිදුවේ. අද ධනවත් ව ඉසුරුමත් ව වෙසෙන කෙනා හෙට දුප්පතෙකු විය හැකි ය. එසේ ම අද දිළිදුව වෙසෙන්නා හෙට ධනවතෙකු විය හැකි ය. ඉසුරුමත් බව ඇතිව නැතිවන දෙයකි.

එබැවින් එයින් මත්වීම අනුවණ කමකි. පවුල් ජීවිතය සාකල්‍යයෙන් ම සාමය හා සතුට පිරි තැනැක් ම නොවේ. ධනවත් වුව ද දුප්පත් වුව ද එහි විවිධ අර්බුද පවතී. එහි පවතින අර්බුද සංකීර්ණ ය. එසේ ම විවිධ විෂයයන්ට අයත් ය. කෙනෙකුට ප්‍රශ්නයක් වන දෙයක් තවත් අයෙකුට ප්‍රශ්නයක් නොවේ. එක් ප්‍රශ්නයක අවසානය තවත් ප්‍රශ්නයක ආරම්භයකි. පවුල් ජීවිතයද අටලෝ දහමට යටත්ය. එය වටහා ගැනීම අවශ්‍ය වේ. ඇතිවන ගැටලු විසඳාගත යුත්තේ නුවණින් කටයුතු කිරීමෙන් ය. කොසොල් රජු හා මල්ලිකා දේවිය සැදහැති බෞද්ධයෝ ය. බුදුරදුන් සමීපව ඇසුරු කළ හෙයින් ඔවුන්ට ඇතිවෙන අර්බුද පිළිබඳ උන්වහන්සේගේ අවධානය නිතර යොමු වූ බව රජු හා බුදුරදුන් අතර ඇති වූ සාකච්ඡාවලින් පැහැදිලි වේ. මල්ලිකා දේවිය හා කොසොල් රජු අතර ඇති වූ අර්බුදය දැනගත් සැනින් උන්වහන්සේ ඔවුන් දෙදෙනා සමඟි කිරීමට අවශ්‍ය අනුශාසනාව සිදු කළහ. උන්වහන්සේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් විශේෂත්වයක් නොදැක් වූහ. රජුට දන්වා සිටියේ කෝපය දිගින් දිගටම නඩත්තුකොට ඉදිරියට ගෙන යාම අර්ථවත් නොවන බවයි.

වර්තමාන කථාවේ මෙන් ම අතීත කථාවෙන් පෙන්වන තවත් ආදර්ශයක් නම් ඇතැම් පුද්ගලයන් තුළ පවතින දෝෂ වැළක්විය නොහැකි බවයි. මෙම දෝෂ ඔවුන් දිගුකලක් පුරුදු පුහුණු කළ දෑ විය හැකිය. කොතරම් උසස් තත්ත්වයකට පත් වූ කෙනෙකු තුළ වුව ද එවැනි නිජ දෝෂ තිබිය හැකි ය. පවුල් ජීවිතය සම්බන්ධයෙන් වුව ද මෙය සාධාරණය. ස්වාමියා මෙන් ම බිරිඳ තුළත් එවැනි කුඩා ගණයේ අඩුපාඩුකම් කොතෙකුත් තිබිය හැකි ය. මහත් ඉවසීමෙන් යුතුව එම දෝෂ පවුලෙන් පිට යා නොදී අභ්‍යන්තරයෙන් ම විසඳා ගැනීම බුද්ධිමත් පිළිවෙතයි. වර්තමාන කථාවෙහි බුදුන් වහන්සේ මෙන්ම අතීත කථාවෙහි එන බෝසත් ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් මහත් ඛේදවාචකයකින් අවසන් විය යුතුව තිබුණු අර්බුදයක් ආරම්භයේදී ම ඉතාම සරලව විසඳාගත හැකිවිය. මෙය වර්තමාන සමාජයට බෙහෙවින් වැදගත් උපදේශයකි.

බොහෝ සරල ප්‍රශ්න පසුව විශාල අර්බුද බවට පත්වන්නේ පුද්ගලයාගේ අනුවණ කම නිසා මෙන් ම ලැබෙන වැරැදි උපදෙස් හේතුවෙන් ය. අවස්ථාවාදී පුද්ගලයන්ගේ පිහිට නොපතා යහපත් මිනිසුන්ගෙන් ලැබෙන මාර්ගෝපදේශකත්වය අනුව කටයුතු කිරීමෙන් විවාහ ජීවිතයට අදාළ බොහෝමයක් ගැටලු නිරාකරණය කරගත හැකි ය. කොසොල් රජුට බුදුන්වහන්සේ කල්‍යාණ මිත්‍රයෙකු වූවා මෙන් ම බෝසත් ඇමතිවරයා ද රජුට උපදෙස් දුන් යහපත් අයෙකි. එවන් සත් පුරුෂයන්ගේ ඇසුර, මඟපෙන්වීම සෑම අයෙකුටම අවශ්‍ය වේ.


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 20: පවුලේ සාමයට බිරිඳකගේ වගකීම