Print this Article


අකුසල චෛතසික - අනොත්තප්පය: ගින්නෙන් දැවෙන්නේ ඇයි?

අනොත්තප්පය

ගින්නෙන් දැවෙන්නේ ඇයි?

"කකාරාගත් කසායෙහි ජලය, සිත වැනි ය. එහි රසය චෛතසික වැනි ය. ජලය හා බෙහෙත් රස වෙන්කළ නො හැකි සේ සිත හා චෛතසික ද වෙන්කළ නො හැකි ය. ජලය හා බෙහෙත් රසවල ගුණය විවිධ ය. එමෙන් ම සිතෙහි හා චෛතසිකයන්ගේ ගුණ ද විවිධ ය."

සත්ත්වයා වරදට යොමුකරන අනොත්තප්ප චෛතසිකය චිත්ත, චෛතසික, රූප, නිබ්බාන පරමාර්ථ ධර්ම සතර අතුරින් චෛතසිකය දෙවන පරමාර්ථය වේ.

සිතට තනිව ඉපදීමට හෝ තනිව ඉපදිය හැකි ශක්තියක් ද නො මැත. සිතක් උපදින විට එය හා සර්ව ප්‍රකාරයෙන් ම මිශ්‍ර වීමට පැමිණෙන, සිත් හා එකවිට ම ඉපිද, එකටම පැවත, එකටම බිඳෙන, සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටස චෛතසික ලෙස හඳුන්වනු ලැබේ. සිතෙන් කරවනු ලබන යම් ක්‍රියාවක් වේ නම් චෛතසිකයන්ගේ ශක්තියෙන් ම කළ යුතු වේ. බලවත් සිත්වල යෙදෙන චෛතසිකයන් බලවත් වේ. දුර්වල සිත්වල යෙදෙන චෛතසිකයන් දුර්වල වේ.

සිත හා සම්ප්‍රයෝගවන චෛතසිකයන්ගේ ලක්ෂණ සතරකි. (කිසි ලෙසකින්වත් වෙන්කළ නොහැකි පරිදි මිශ්‍ර වීම)

එනම්, සිත සමඟ ඉපදීම, නිරුද්ධ වීම , සිත ගන්නා අරමුණ ම ගැනීම, සිත ඇසුරු කරන වස්තුව ම ඇසුරු කිරීම යනුවෙනි.

චිත්ත චෛතසිකයන්ගේ තත්ත්වය සඳහන් කිරීමේ දී නිදසුනක් ලෙස දැක්වුවහොත්, කකාරාගත් කසායෙහි ජලය, සිත වැනි ය. එහි රසය චෛතසික වැනි ය. ජලය හා බෙහෙත් රස වෙන්කළ නො හැකි සේ සිත හා චෛතසික ද වෙන්කළ නො හැකි ය. ජලය හා බෙහෙත් රසවල ගුණය විවිධ ය. එමෙන් ම සිතෙහි හා චෛතසිකයන්ගේ ගුණ ද විවිධ ය. ජලය නැති කල බෙහෙත් රස ද නැති බැවින් ජලය ප්‍රධාන ය. සිත නැති කල චෛතසික ද නැති බැවින් සිත ප්‍රධාන ය. චෛතසිකයන් අප්‍රධාන ය.

‘මනෝ පුබ්බං ගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝ මයා’ යනුවෙන් දක්වා ඇත්තේ එබැවිනි. සිත නො මැතිව චෛතසික නූපදනා සේ චෛතසික නැතිව සිත ද නූපදනුයේ ය. එහෙත් සියලු චෛතසිකයෝ එක සිතක් හා එක්වර ම නූපදිති. සිතක උපදින්නේ ඒ සිතට අයත් කාර්ය සිදු කිරීමට වුවමනා චෛතසික පමණකි. චෛතසික ධර්ම පනස් දෙක කි. ඒවා අතුරින් ඇතැම් චෛතසිකයන් සෑම සිතක ම යෙදෙන්නේ ය. තවත් සමහර චෛතසිකයෝ කුසල් අකුසල් දෙකෙහි දී ම අවස්ථා අනුව යෙදේ. තවත් චෛතසික ධර්ම අකුසල් සිත්වල පමණක් ද, ඇතැම් ඒවා කුසල් සිතවල පමණක් ද යෙදේ. සිතක අරමුණක් හටගන්නා විට මේ අරමුණ ගන්නා ආකාරය අනුව සිතෙහි පහළ වන්නා වූ චෛතසිකයෝ ද වෙනස් ස්වරූපයක් ගනී. අරමුණ වරදවා ගන්නා විට ඉපදෙන සිත්වලින් අනර්ථයක් ම සිදු වේ. එවැනි සත්ත්වයාට වැඩි වශයෙන් ඇති වන්නේ මුළා වූ ස්වභාවයකි. ඒ සෑම අවස්ථාවක ම සිත්වල යෙදෙන්නේ අනර්ථයක් ම ගෙන දෙන්නා වූ පහත් ගතිම ය. අකුසල චෛතසිකයෝ යැ’යි හඳුන්වන එය කොටස් දාහතරක් වේ. (මෝහ, අහිරික, අමෝතප්ප, උද්දච්ච, ලෝභ, දිට්ඨි , මාන , දෝස, ඉස්සා, මච්ඡරී, කුක්කුච්ඡ, ථීන, මිද්ධ, විචිකිච්ඡා) යන චෛතසිකයෝ විශේෂයෙන් ම යෙදෙන්නේ අකුසල සිත් දොළහේ පමණකි. එය අපායාදී අනේක දුක්ඛයන් ඇති කරන බැවින් බියවිය යුත්තකි. එය හැකිළීමක් පසුබැස්මක් නැතිව එඩිතරව කළ හැකි විට ම සිතෙහි බිය දුරු කරන බලයක් තිබේ.

සත්ත්වයන්ට බියක් නැතිව, එඩිතර ව අකුසලයක් කරන්නට ඉඩ දෙන්නේ ඒ බලයෙනි. එය අමෝතප්ප වේ. “න ඔත්තප්ත තීති අනොත්තප්තං” කාය දුෂ්චරිත ආදියෙන් බිය නො වන ස්වභාවය අනෝත්තප්ප වෙයි. එනම් පවට බිය නො වීම යි. “අනුත්තාප ලක්ඛණං අනොත්තප්තං” යනුවෙන් අත්ථකාලිනී අටුවාවේ දැක්වේ. කාය දුෂ්චරිත ආදීන්ට භය නොවීම හෙවත් තැති ගැන්මක් ඇති නො වීම ලක්ෂණය අමෝතප්ප යි. මෙහි කුසල චෛතසිකය ඔත්තප්ත වෙයි. එනම්, සිතෙහි ඇති වන පවට බිය වන ස්වභාවය යි. අරමුණු ස්වභාවය වරදවා ගැනීමේ දී බියක්, තැති ගැන්මක් ඇති නොවන්නේ අමෝතප්ප හේතුවෙනි. වරද කිරීමේ දී ඇතිවන අනිෂ්ඨ විපාකයන් මෝහයෙන් මුළා වූ තැනැත්තාට නො වැටහෙන්නේ ය. වරදෙහි ආදීනව නොදත් පුද්ගලයා චකිතයක් නැතිව ම වරද කරන්නේ ය. පව්කරන්නා හට මෙලොව දී පමණක් නොව පරලොව දී ත් සතර අපායේ දී ත් විඳින්නට සිදුවන දුක් ගැන සිතන විට බිය උපදවන්නේ ම ය. එහෙත් මෝහයෙන් වැසී ගත් සිත් ඇති තැනැත්තාට මේ බිය නො දැනේ. සසර ගත පුරුද්දක් සේ නොදැනුවත්ව ම පාපයට බිය නො වන අමෝතප්ප නම් ස්වභාවය පෘතග්ජන සත්ත්වයාට ඇති වේ. එයින් වැළකීමේ ශක්තියක් ද ඔහුට නැත.

පළගැටියා පහන් සිළුවේ අලෝකයට රැවටී පහන් වැටියේ ඇලීමෙන් පිළිස්සී දිවි නැසෙන්නා මෙන් අඥාන පුද්ගලයා ද ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද ආදී කාය වාග් දුශ්චරිතයන් ඉතා සැපවත් යැයි සිතා එයට රැවටී අමෝතප්පය හේතුකොට ගෙන දුෂ්චරිතයේ යෙදෙමින් පාපකාරී ගින්නෙන් දැවෙන්නේ ය. නොයෙක් දුක් පීඩාවන්ට ලක් වන්නේ ය. එහෙයින්, පාප ධර්මයක් වන අමෝතප්පය බැහැර කොට කුසල චෛතසික ඇතිකරගෙන මෙලොව පරලොව ජීවිත සැපවත් කර ගනිමු.