Print this Article


අකුසල චෛතසික - විචිකිච්ඡාව: අටතැන් හි ඇතිවන සැකය

විචිකිච්ඡාව

අටතැන් හි ඇතිවන සැකය

"සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ විට බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි, මගේ ඇසට පෙනෙන මානයේ කෙත් යායක් ම අවසන් වූ බව යි. මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ විට බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි, ඒ කෙත් යායේ ඉතිරි ටිකත් අවසන් වූ බව යි. එසේනම් මේ ආර්ය පුත්‍රයන් පිළිබඳ ව කිසිදු සැකයක් ඇති කරගත යුතු නැහැ."

බුද්ධ ධර්මයේ දී “විචිකිච්ඡාව” හඳුන්වන්නේ බුද්ධාදී අටතැන් පිළිබඳව ඇති සැකය යන්න යි. විචිකිච්ඡාව සෑම පෘතග්ජන සිතකම පහළ වන දෙයක්. බුදුරජාණන් වහන්සේ අභිධර්මය කොටසේ දී අට ආකාරයකට මේ විචිකිච්ඡාව පැහැදිලි කොට වදාළා.

ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ දී ත් විචිකිච්ඡාව කුමක් ද කියා පැහැදිලිව, මනාව දේශනා කොට වදාළා.

එහිදී පළමු කරුණ නම් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් පිළිබඳ ව, අසූවක් අනුව්‍යංජනයන් පිළිබඳ ව, උන්වහන්සේගේ ෂඩ් වර්ණ බුද්ධ රශ්මියන් පිළිබඳව යම් කෙනෙක් සැකයක් ඇතිකර ගන්නවා. මේ වගේ ලක්ෂණ කෙනෙකුට තිබෙන්න පුළුවන් ද? කියා තර්ක කරනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ සිටියා ද? සැක කරනවා. උන්වහන්සේගේ් උපත, බුද්ධත්වය පිළිබඳව නොයෙක් ගැටලු හදාගෙන තර්ක කරනවා. එය පළමු කරුණයි.

දෙවැන්න නම් නිර්වාණය අවබෝධය සඳහා යන ගමනේ කෙලෙස් ප්‍රහීණය කළ උතුමන් සිටිනවා ද? කියා සැක කරනවා. සිත දූෂිත වන අකුසල ධර්මයන් ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, පළි ගැනීම ආදිය යි. ලෝභය කියන්නේ වස්තුවට ඇති ආශාව යි. ද්වේෂය යනු තරහව, මෝහය - මෝඩකම යි. මේවා සිතේ ඇතිවන අකුසල ධර්මයන්. කෙලෙස් යටපත් කර, නැතිකර, ප්‍රහීණ කර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා ගමන් කළ පිරිස් ලෝකයේ සිටි බවට සැක කරනවා. ඒ වගේ ම පුද්ගලයා, සත්ත්වයා, විශ්වය, මම මේ සියල්ල ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියා ත්‍රිලක්ෂණයේ අවබෝධය කළ උතුමන් පිළිබඳව සැක කරනවා. උන්වහන්සේ ගමන් කළ ආර්ය මාර්ගය පිළිබඳ ව සැක ඇති වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය, නවලෝකෝත්තර ධර්මය පිළිබඳව සැක ඇති වෙනවා. එය විචිකිච්ඡාවේ දෙවැනි කරුණයි.

තුන්වැනි කරුණ සංඝ රත්නය පිළිබඳව ඇතිවන සැකය යි. මහා සංඝරත්නය මේ, මේ ගුණයන්ගෙන් යුතුයි කියා ධර්මයේ සඳහන් වෙනවා. උන්වහන්සේ සෘජු ප්‍රතිපත්තියක ගමන් කරන දුර සිට හෝ වන්දනා කළයුතු පින් කෙතක් ය, කියන දේ පිළිබඳව සැක හිතනවා. උන්වහන්සේට දෙන දානයේ විපාක නැහැ, වැඳුම්, පිදුම් කළවිට විපාක නැහැ කියා සැක කරනවා. ධර්මයේ සඳහන් වන්නේ දානයක් පූජා කරන විට අඤ්ඤාකොණ්ඩඤ්ඤ, සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද, නන්ද, රාහුල ආදී නිකෙලෙස් මහරහතන් වහන්සේ අතීත, අනාගත, වර්තමානයේ වැඩ සිටින බව සිහිපත් කොට ඒ දානය පූජා කරන ලෙස යි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ විට බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි, මගේ ඇසට පෙනෙන මානයේ කෙත් යායක් ම අවසන් වූ බව යි. මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ විට බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි, ඒ කෙත් යායේ ඉතිරි ටිකත් අවසන් වූ බව යි. එසේනම් මේ ආර්ය පුත්‍රයන් පිළිබඳ ව කිසිදු සැකයක් ඇති කරගත යුතු නැහැ. සංඝ කියන්නේ සමූහය යි. උන්වහන්සේ ගමන නිර්වාණය උදෙසා යි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අර්හත් කියන මේ සතර මඟ සතර පිළිවෙලට ගමන් කිරීම මේ ආර්යයෝ හතර දෙනා බුද්ධ දර්ශනය තුළ පමණ යි හමුවන්නේ.

හතරවැනි කරුණ නම් ත්‍රිශික්ෂාව පිළිබඳ ව ඇතිවන සැකය යි. සීල,සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පිළිබඳ, දාන, සීල, භාවනා පිළිබඳව සැකයක් ඇති වෙනවා. ඒ ඔස්සේ වාද විවාද කරනවා. පින්කම් කරන පිරිසට නින්දා අපහාස කරනවා. මේ ත්‍රිශික්ෂාව පිළිබඳ ව ඇතිවන සැකයත් අකුසලයක්.

පස්වැනි කරුණ ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ අතීත භව පරම්පරාවක් තිබෙන්නටත් බැහැ. නො තිබෙන්නටත් බැහැ කියා සැකයක් ඇතිකර ගැනීමයි. තමන් අතීතයේ සිටියා ද? නැද්ද? ශරීරයක් තිබුණා ද? නැද්ද? කියා, අතීතයේ සිදුවීම් පිළිබඳව ඇති වන සැකයි.

හයවැනි කරුණ අනාගතය පිළිබඳ ව ඇතිවන සැකය. අනාගතයේ මම මොන ආත්මයක ඉපදුණත් මොක ද? අනාගතයක් කියා දෙයක් තිබෙන්නේ කොහි ද? ඒ නිසා මේ ජීවිතයේ හොඳින් කා බී සතුටින් සිටියාම ඇති කියා අනාගතය පිළිබඳව ඇතිවන සැකය.

හත්වැනි කාරණය අතීතයත් , අනාගතයත් දෙක ම පිළිබඳව ඇතිවන සැකය යි. අතීතයේ අප සිටියා ද? කියා කවුද දන්නේ කියා සිතනවා. අනාගතයේ දී අප කොහේ යයි ද? කියා සිතනවා. ඒ නිසා මේ ජීවිතයේ කා, බී විනෝද වෙමු කියා අතීත, අනාගත පිළිබඳව විශ්වාසයක් නැතිව ඒ ගැන සැකයෙන් ඉන්නවා. මේ සැකය බුද්ධ කාලයෙත් තිබුණා. අදත් තිබෙනවා. සමහර දියුණු රටවල කිසිම ආගමක් පිළිගන්නේ නැති පිරිස් සිටින්නේ මේ සැකය නිස යි.

අටවැනි කරුණ නම් හේතුඵල දහම නැතිනම් පටිච්ච සමුප්පාදය ගැන කිසිදු විශ්වාසයක් නො තිබීමයි. හේතුව හෝ ඵලය ගැන නිතරම සැක කරනවා. ලෝකය ඉබේ හට ගත්තා ද? කවුරුන් හෝ මැවුවා ද? ලෝකය, සත්ත්වයා, පුද්ගලයා, විශ්වය කෙනෙකුගේ මැවීමක් ද? කියා දේවත්වයට ආරෝපණය කරගෙන සැක කරනවා. එය අකුසලයක්. නමුත් අපට ධර්මයේ කියා දෙන්නේ හේතුවක් නිසා ඵලයක් හට ගන්නා බව යි. සංසාරයේ කරන හොඳ නරක දෙක මෙයට පදනම් වෙනවා.

මේ අට ස්ථාන පිළිබඳ ඇතිවන සැකය ධර්මයේ විචිකිච්ඡාව ලෙස හඳුන්වනවා. ගලා ගෙන යන වතුර දිගටම ගලාගෙන නො ගොස් මුහුදට නො වැටී අතරමඟ නතර වන්නා සේ මේ පිළිබඳව සැක කරන පුද්ගලයාට ආර්ය මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා මේ සැකය නැත්නම් විචිකිච්ඡාව ශ්‍රාවකයා විසින් අත්හැරිය යුත්තක් බව බුදුරජාණන් වහන්සේ වදාළා.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය හොඳින් ඉගෙන ගෙන, ධර්මය පිළිබඳ ව ඇතිවන සැකය දුරුකර මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නට ඔබටත් ශක්තිය ලැබේවා.