Print this Article


අකුසල චෛතසික - මිද්ධය: සිත දුබලවූ විට සිතිවිලි දුබල වේ

මිද්ධය

සිත දුබලවූ විට සිතිවිලි දුබල වේ

" ථීන, මිද්ධ, දෙක පංච නීවරණ ධර්මවලට ද අයත් ය. නීවරණ යනු නිවන් මඟ අහුරණ ධර්මයෝ ය. මිද්ධයද, නීවරණයක් ව නැගී සිට චිත්ත සමාධිය වළක්වන හෙයින් මෙයට ඇතුලත් කොට තිබේ. කුසල් සිත් සමඟ යෙදෙන ‘කාය චිත්ත මුදුතා ලහුතා කාය පාගුඤ්ඤතා’ ආදී ධර්මයන් නිසා කුසල සිතෙහි මිද්ධය ඇතිවීමට ඉඩක් නැත. "

අභිධර්මයේ චෛතසික විභාගයේ එන අකුසල චෛතසික අතර 13 වැන්න මිද්ධයයි. මෙහි දී වෙන්කොට ගන්නා නමුදු ථීනය සහ මිද්ධය වෙන් කළ නොහැකි ධර්ම දෙකක් බව ආචාර්ය මතයයි. ථීනය නම් සිතෙහි ගිලන් බව, දුබලබව, අප්‍රාණික බව , මලානික බව හැකිලෙන හෙවත් උත්සාහවත් නොවන ස්වභාවය යි. මිද්ධය යනු චෛතසිකවල ඇතිවන ගිලන් බවයි. දුබල, අප්‍රාණික, හැකිලෙන හෙවත් උත්සාහවන්ත නොවන ස්වභාවයයි.

සිත දුබල වූ විට සිතිවිලි දුබලවීම, මලානික වීම පුදුමයක් නොවේ. මෙය වෙන් කළ නොහැකි ධර්ම දෙකක් සේ ගැනෙන්නේ එබැවිනි. සිත හා සිතිවිලි දුබල වූ විට එයින් කිසියම් යහපත් දෙයක් කළ නොහැකි ය. පින් කිරීමට ඇති මැලිබව මිද්ධය ලෙස ඇතැම් අභිධර්ම ග්‍රන්ථවල සඳහන් ව ඇත්තේ මේ නිසා ය.

මේ ධර්මයන් බලවත් ව ඇති විට සාමාන්‍යයෙන් එදිනෙදා සිදුකරන යෑම්, ඊම් ආදි ක්‍රියා සිදුකිරීමට නොසමත්වන තරමට සිතත්, සිතිවිලිත් අකර්මණ්‍ය වේ. එහි දී රූපකාය ද දුබලවීමෙන් පුද්ගලයා නිද්‍රාශීලි බවට පමුණුවයි.

භාවනා කිරීමට උත්සාහ කරන විට, ඇතැම් කනෙකුට නිදිමත ගතිය ඇති වන්නේ, මිද්ධය ක්‍රියාත්මක වීමෙනි. බවුන් වැඩීමට සූදානම් වී සිටිය ද අප ගන්නා අරමුණු කුමක් ද කියාවත් ඇතැමෙකුට නොදැනෙන්නේ අපටත් හොරාම මිද්ධය අප ගොදුරුකර ගෙන සිටීම නිසාවෙනි.

ථීන, මිද්ධ, දෙක පංච නීවරණ ධර්මවලට ද අයත් ය. නීවරණ යනු නිවන් මඟ අහුරණ ධර්මයෝ ය. මිද්ධයද, නීවරණයක් ව නැගී සිට චිත්ත සමාධිය වළක්වන හෙයින් මෙයට ඇතුලත් කොට තිබේ. කුසල් සිත් සමඟ යෙදෙන ‘කාය චිත්ත මුදුතා ලහුතා කාය පාගුඤ්ඤතා’ ආදී ධර්මයන් නිසා කුසල සිතෙහි මිද්ධය ඇතිවීමට ඉඩක් නැත.

ථීනය නිසා මිද්ධය නැවත, නැවත ඇතිවීම නිසා එයින් හට ගැනෙන චිත්ත රූප ශරීරයේ සෑම තැනක ම පැතිර යාමෙන් වීර්ය ඇති කරවන චෛතසික දුබල බවට පත්වේ. ඒ නිසා ම කය බර බවට, පීඩාකාරී බවට පත්වීමෙන් නිදිමත අලස බව ඇති කරවයි. මේ ස්වභාවයට රූප මිද්ධයයි කියනු ලැබේ. එලෙස ම සිතිවිලිවල හෙවත් චෛතසික වල ඇතිවන මැලිබවට නාම මිද්ධ යැයි කියනු ලැබේ.

එක් අතකට මේ අලසබව ව්‍යාපාදයේ කොටසක් හෝ එයට සමීප සම්බන්ධ කමක් ඇති ධර්ම ලෙස සැලකීම වරදක් නොවේ. පවතින ගැටලුවකට විසඳුමක් නොගෙන එයින් පලා යෑමට තැත් කිරීමේ දී ද උදාසීනත්වය මතුවිය හැකි ය. කෙසේ වුව ද මෙම ස්වභාවය සුවදායක එකක් නොවන අතර වැඩදායක ද නොවේ.

අප්‍රමාදී බව නිවනට හේතුවන බව බුද්ධ දේශනාව යි. එනිසා වටිනා කාලය අලසකමට ඉඩ හැර සිටීම කිසිසේත් ප්‍රඥා ගෝචර වූවක් නොවේ.

බුද්ධ වචනයට අනුව අද කළ යුතු දේ අදම කළ යුතු ය. හෙට මරණය ළගා වේද යන්න කිසිවකු නොදන්නා කරුණකි. එබැවින් අලස බවින් මිරිකී නොසිට උත්සාහවත් විය යුතු ය.

මිද්ධය සිතට නැගුණවිට එය සිතට නැගුණු බව දැන ගැනීම එය දුරුකිරීමට ඇති පහසු ම මගයි. සිතේ අවදිකම යනුවෙන් අදහස් කරන්නේ සිතට නැගි සිතිවිලිවල ස්වභාවය තේරුම් ගැනීමයි.

ථීන මිද්ධය ඇතිවිට එය දුරුකර ගැනීමට පහත සඳහන් කරුණූ ඔබට උපකාරි වේ.

ආහාර පමණ දැන අනුභව කිරීම
කායික ඉරියව් වෙනස් කිරීම
ආලෝක කසිණය වැඩීම
එළිමහනෙහි කල් ගත කිරීම
කලණ මිතුරකු ඇසුරු කිරීම
කෙටි දැහැමි කථා බහක නිරතවීම ආදිය යි.

සෙන් දහමට අනුව ථීනමිද්ධය ඇති යෝගාවචරයා එවිට ගුරුවරයාගේ පිහිට ලබා ගත යුතු ය. සෙන් ආචාර්යවරයා අත කෝටුවක් තිබෙන අතර ඔහු එයින් නිදිකිරා වැටෙන අයට පහර දෙයි. එක් අයෙකුට වැදුණු පහරින් බිය පත් වන සෙසු අය එයින් බියට පත් වෙයි. නිදිමත නැතිව යයි.

මිද්ධය ලෞකික– ලෝකෝත්තර උභය මාර්ග අභිවෘද්ධියම වළක්වන හෙයින් එය දුරුකිරීම අත්‍යවශ්‍යයෙන් ම කළ යුත්තකි.