Print this Article


අකුසල චෛතසික - ථීනය: මැලිකම දුරලීමට

ථීනය

මැලිකම දුරලීමට

" අද කළයුතු කටයුතුª අදම සිදු කරන්න. හෙට සිදුවන මරණය ගැන අපි කිසිවක් දන්නේ නැහැ. මාරයාට මහා සේනාවක් ඉන්නවා. අපට නො මැරි සිටිමි යැයි පොරොන්දු වෙන්න බැහැ යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ අද කළ යුතු දේ අද කිරීම වැදගත්ගම කියා දෙමින් ."

පංච නීවරණ ධර්මවල දී ථීනය සමඟ එකට බැඳී යන අනෙක් වචනය මිද්ධය යි. ථීන කියන වචනයේ තේරුම් කිහිපයක් තිබෙනවා. එකක් මැලි බවයි. අනෙක ශරීර දුර්වලත්වය සහ සිතේ දුර්වලත්වය යි.

ථීනය අකුසල චෛතසිකයක්. වහා ක්‍රියාකළ නොහැකි පරිදි සිත තද කරගෙන, යට කරගෙන, සිත දුර්වල කරන, සිත අකර්මණ්‍ය කරන ස්වභාවය ථිනය තුළ ගැබ් වී තිබෙනවා. ථිනය යි මිද්ධය යි වෙන් වෙන් වූ චෛතසික ධර්ම දෙකක්. නමුත් පහළ වනවිට එක සිතේ ම එකට පහළ වන ධර්ම දෙකක් කියා බුදුරජාණන් වහන්සේ වදාළා. ථීනයෙන් තොර මිද්ධයකු ත්, මිද්ධයෙන් තොර ථීනයකු ත් කිසි විටක ඉපදෙන්නේ නැහැ. ථිනය වීර්යයට විරුද්ධ ධර්මතාවයක්. ධර්මයේ ඉගැන්වෙනවා අරති, සන්ධි, විජම්භිකා, බත්තසම්මධො, චේතසෝලීනතා කියා තවත් කරුණු පහක්. අරති කියන්නේ කුසල් දහම් හි නො ඇලීම. සන්ධි කියන්නේ අලස බවයි. විජම්භිකා කියන්නේ – ඇඟමැලි කමයි, බත්තසම්මධො කියන්නේ බත් මතය යි, චේතසෝලීනතා කියන්නේ සිතේ තිබෙන හැකිළීම යි. මේ කරුණු නූපන් ථීනය ඉපදීමටත්, උපන් ථීනය වැඩි දියුණු වීමට ත් හේතු වනවා.

ථීනය මැඬලීමට හේතුවන ප්‍රධාන කරුණු තුනක් ධර්මයේ ඉගැන්වෙනවා. ඒ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්‍රම ධාතු ලෙසයි. කටයුත්තේ බර දරන නිසා වීර්යයට ධාතු කියන වචනය ධර්මයේ භාවිත කරනවා. යමක් කිරීමට පටන් ගන්නා වීර්ය ය ආරම්භ ධාතුව යි. නික්ඛම ධාතු නම් වැඩක් කරගෙන යන අතර කුසීතකමින් සිත ඉවත්කර ගැනීමට කරන වීර්ය යි. අපට ඕනෑම දෙයක් පටන් ගන්න පහසු යි. නමුත් පටන් ගත් දේ දිගට ම පවත්වා ගන්න අමාරුයි. නොයෙක් බාධක, කම්කටොළු, හිරිහැර, සිත් රිදවීම්වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ බාධක මැඬගෙන කටයුතු කිරීමයි. පරාක්‍රම ධාතු ලෙස සඳහන් වන්නේ.

ඒ අනුව ථීනය දුරලන්නට නම්, වීර්යය වඩන්නට ඕනෑ. වීර්යය වැඩීමේ දී බුදුරජාණන් වහන්සේ ගේ චරිතයෙන් විශාල ආදර්ශයක් දී තිබෙනවා. උන්වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට වීර්යය පාරමිතාවක් ලෙස සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ම සම්පූර්ණ කළ බව අප දන්නවා.

ඒ වගේම උන්වහන්සේ බුද්ධත්වයට පත්වන අන්තිම ආත්ම භවයේ දී බුද්ධත්වය ලබා ගැනීම සඳහා අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළා. එය සාමාන්‍ය පුද්ගලයෙකුªට කළහැකි දෙයක් නොවේ. සිත දියුණු කළ උත්තමයෙකුට පමණයි ඒ වීර්යය කළ හැකි වන්නේ. උන්වහන්සේ එසේ වීර්යය සම්පූර්ණ කරලයි උතුම් බුද්ධත්වයට පත්වුණේ.

සාමාන්‍ය ජීවිතයේ වුණත් මිනිසුන් වීර්යය නිසා මහා දුක්, මහා විපත්වලින් මිදෙනවා අපි දැක, අසා තිබෙනවා. ථීනය පරදා වීර්යය වඩන පුද්ගලයා අඩියක් හෝ ඉදිරියට යනවා. ථීනය පරදා වීර්යය වඩන උතුමන්ටයි බුදුවීමට, පසේබුදු වීමට, අරහත්වය සාක්ෂාත් කළ හැකි වන්නේ. ථිනය ඇති පුද්ගලයාට නැතිනම් මැළිකම ඇති අලසයාට දුකෙන් මිදෙන්නට බැහැ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ අප ළඟ ඇති ථිනය, අලසබව, මැළිකම දුරු කර ගන්නට ධර්මය තුළින් විර්ය වඩන ලෙස අප දිරි ගන්වන්නේ. එක් අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ වදාළා, අද කළයුතු කටයුතුª අදම සිදු කරන්න. හෙට සිදුවන මරණය ගැන අප කිසිවක් දන්නේ නැහැ. මාරයාට මහා සේනාවක් ඉන්නවා. අපට නො මැරි සිටීමි යැයි පොරොන්දු වෙන්න බැහැ යැයි බුදුරජාණන් වහන්සේ වදාළා. අද කළ යුතු දේ අද කිරීම කියන්නේ වීර්ය යි.

ධර්මය තුළ දුරුකළ යුතු ධර්මයන් අතර, ථිනය මුලින් ම තිබෙනවා. ථීනය දුරුකර වීර්යය ඇතිකර ගත්විට අපට අපේ සාමාන්‍ය ජීවිතය සාර්ථක කර ගත හැකියි.

ඉගෙනුම ලබන දරුවෙකුට ථිනය ඇති වුණොත් ඔහුගේ අධ්‍යාපනය අසාර්ථක වෙන්න පුළුවන්. ථිනයෙන් දුරුවෙලා, මැලිකම නැතිකරලා තමන් ඉගෙන ගන්නා දේ පිළිබඳ ව අවධානයෙන් උත්සාහයෙන් කටයුතු කරන දරුවාට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා ථිනය අපේ අයහපත පිණිස පවතින, නිවන් මඟ වසා දමන අකුසලයක් බව කල්පනා කරගෙන ථිනයෙන් දුරුවෙලා යහපත උදාකරන විර්ය ය ඇතිකර ගන්නට උත්සාහ වෙන්න ඕන.

බෞද්ධ වූ අප හැම දෙනාගේ ම පැතුම අවසාන බලාපොරොත්තුව නිවන යි. ඒ නිවන ලබා ගන්නට නම් අපට ථිනය පරදන විර්යයක් උත්සාහයක් තිබෙන්න ඕන. ඒ නිසා මිද්ධයත් සමඟ එකට ක්‍රියා කරන ථිනය නීවරණ ධර්මයක් බව දැනගෙන, ඒ ථීනය බැහැර කරලා වීර්යය, උත්සාහ ඇතිකර ගන්නට අපි උත්සාහ වෙමු.