Print this Article


අවන්පතින් පවන් සැලුවත් අවධානය ඕනෑ

අවන්පතින් පවන් සැලුවත් අවධානය ඕනෑ

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙක එක් කුල පුත්‍රයෙක් උන්වහන්සේගෙන් දහම් අසා පැහැදී, සංඝරක්ඛිත නමින් පැවිදි වුණා. සංඝරක්ඛිත හාමුදුරුවෝ බොහොම වීර්යවන්තයි. භාවනා වඩා රහත්බව ලබන්නට ද හැකි වුණා. උන්වහන්සේගේ නැගණියට පුතෙක් සිටියා. සංඝරක්ඛිත මහරහතන් වහන්සේ වෙත පැමිණ ඔහු ද පැවිදි වුණා. බෑණනුවන් යන අර්ථයෙන් ‘භාගින්‍යෙය’ නම මුලට ගෙන උන්වහන්සේ ද ‘භාගින්‍යෙය සංඝරක්ඛිත’ නමින් හැඳින්වූවා.

එක් වස් සමයෙක මේ හාමුදුරුවෝ වස් වසන්නට ආසන්න ගමකට වැඩම කළා. වස් සමාදන් වන දින පූජා වශයෙන් උන්වහන්සේට වැසි සළු දෙකක් ලැබුණා. එක් වැසි සළුවක් ප්‍රමාණයෙන් රියන් හතයි. අනෙක් වැසි සළුව රියන් අටයි. ‘මම මෙයින් රියන් අටක් වූ වූ වැසි සළුව මගේ ගුරු හාමුදුරුවන්ට පුජා කරනවා’යි භාගින්‍යෙය සංඝරක්ඛිත හාමුදුරුවෝ සිතුවා. එපරිදි ම වස් අවසානයේ ගුරු හාමුදුරුවන් වහන්සේ හමුවීමට ආවා. ඒ වෙලාවේ උන්වහන්සේ විහාරයෙහි වැඩ සිටියේ නෑ. පිණ්ඩපාතය පිණිස වැඩම කරලා. උන්වහන්සේ නැවත වඩින තුරු ගෝල හාමුදුරුවෝ මළුපෙත් පිරිසුදු කළා. ආසනයක් පනවා පා දෝවනයට පැන් බඳුනක් ද පිළියෙළ කළා. ගුරුහාමුදුරුවෝ පන්සලට වැඩම කළ පසු පා සිවුරු ගත්තා. පා දෝවනය කළා. තමන් වහන්සේ ගෙන ආ වැසි සළුව පූජා කළා. ගුරු හාමුදුරුවෝ එය ප්‍රතික්ෂේප කළා. දෙවනුවත්, තෙවනුවත් එලෙස ම සිදු වුණා.

භාගින්‍යෙය සංඝරක්ඛිත හාමුදුරුවන්ට ඒ ගැන බොහොම දුකයි. අවන්පතක් ගෙන ගුරු හාමුදුරුවන්ට පවන් සලන්නට පටන් ගත්තා. ඒ අතරේ ම මෙහෙම සිතුවා.

‘ගුරු හාමුදුරුවෝ මගේ තෑග්ග බාර ගත්තේ නෑ. මා සමඟ අමනාපයෙන්වත් ද? එහෙම වුණොත් මම සිවුරු හැර යනවා. ඒ ගිහින් මොනවද කරන්නේ. ගිිහි ජීවිතය බොහොම අසීරුයි. මම මේ වැසි සළුව විකුණනවා. ඒ මුදලින් එළු දෙනක් මිලට ගන්නවා. ඇය පැටවුන් බිහි කළාම කිරි විකුණනවා. පැටවුන් ද විකුණනවා . මට විශාල ආදායමක් ලැබෙයි’.

භාගින්‍යෙය හාමුදුරුවෝ තවමත් ගුරු හිමියන්ට පවන් සලනවා. තව දුරටත් මෙහෙම හිතනවා.

“ඒ ආදායමෙන් මම ගෙයක් හදනවා. විවාහයක් කර ගන්නවා. ටික කාලයක් යන විට මට පුතෙක් ලැබෙයි. මගේ බිරිඳත් පුතාත් සමඟ කරත්තයෙන් ගුරු හාමුදුරුවන් හමුවෙන්නට යනවා. යන අතර මගදි දරුවා මගේ තුරුලට ගන්නට ඕනෑ. ඒත් මගේ බිරිඳ දරුවා ඇය උකුළෙහි ම තබාගෙන සිටිනවා. ටික දුරක් යනවා.බිරිඳගේ ඇකයෙන් ගිලිහුණු දරුවා බිමට වැටෙනවා. අනේ! මගේ පුතා කරත්තයේ රෝදයට හසුවෙනවා. කෙවිට ගෙන මම බිරිඳට තදින් පහර දෙනවා. දිගටම පහර දෙනවා.” භාගින්‍යෙය සංඝරක්ඛිත හාමුදුරුවෝ තවමත් මේ සිතිවිල්ලේ ම පසු වෙනවා. ඒත් උන්වහන්සේගේ දෑත ක්‍රියාත්මකයි. අවන්පතින් ගුරු හාමුදුරුවන්ට පහර පිට පහර වැදෙනවා. ඒත් භාගින්‍යෙය හාමුදුරුවන්ට ඒ ගැන අවබෝධයක් නෑ. සිරුර එහි තබා උන්වහන්සේ සිතින් බොහෝ දුර ගිහින්. කරත්තයට හසු වූ දරුවෙක් ගැන තැවෙනවා.

සංඝරක්ඛිත රහතන් වහන්සේ ගෝල හාමුදුරුවන්ගේ සිත නුවණින් දුටුවා.

“භාගින්‍යෙය, ඔබ බිරිඳට ගසන පහර මට වැදෙනවා’ යි පැවසුවා. උන්වහන්සේට බොහෝ ලජ්ජා සිතුණා. එතැනින් දිවයන්නට සැරසුණා. ඒත් ඒ විහාරයෙහි අනෙක් තරුණ හිමිවරු එක්වී උන්වහන්සේ අල්ලාගෙන බුදුහිමියන් වෙත රැගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ මේ සිත ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව දේශනා කොට වදාළා.

“දූරංගමං එකචරං - අසරීරං ගුහාසයං - යේ චිත්තං සඤ්ඤ මෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා”

සිත බොහෝ දුර ගමන් කරනවා. සීමාවක් නෑ. ඕනම තැනකට යනවා. තනිව ගමන් කරනවා. සිතට ශරීරයක් නෑ. භෞතික ස්වරූපයක් නෑ. ඒ නිසා ම අල්ලන්නට බෑ. හැඩයක්, වර්ණයක් නෑ. පඨවි, ආපෝ, තේජෝ ,වායෝ ආදි සතර අංගයන්ගෙන් සෑදුණු ශරීරය නමැති ගුහාවේ හෘදය වස්තුව එනම් හදවත ඇසුරු කොට සිත පවතිනවා.

හදවත ඇසුරු කොට තිබෙන මේ සිත කාට හෝ දමනය කර ගත හැකි නම්, සංවර කර ගන්නට හැකිනම් ඒ පුද්ගලයා සියලු මාර බැඳීම්වලින් නිදහස් වෙනවා. මාරයාගෙන් මිදෙනවා. නැවත අල්ලා ගන්නට බැරි තත්ත්වයට පත් වෙනවා. සසර ගමන කෙළවර වෙනවා.

මේ කතා පුවතින්, සේ ම ධම්ම පදයේ චිත්ත වග්ගයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉහත ගාථා ධර්මයෙන් ප්‍රකට කෙරෙන්නේ සිතෙහි ස්වභාවයයි. දුක් නිමවා මේ සංසාර ගමන කෙළවර කරන්නට නම් කළ යුතු වන්නේ සිත පිරිසුදුව තබා ගැනීමයි. මඩ ගොහොරින්, කැළි කසළින් අපවිත්‍ර නොවු නිල්දිය පිරි පියුමෙන් සුසැදි විලක් හරිම ප්‍රසන්නයි. නිල්වන් ජලය මතින් එහි පතුල හොදින් පෙනෙනවා. බලා ඉන්නට පි‍්‍රයයි. එහෙත් මහ වැසි වැස්සේ නම්, කුණු කසළ සේ ම මඩ වතුර ද ගලාවිත් ඒ විල අපිරිසුදු වෙනවා. ජලය බොර පැහැ වෙනවා. අලංකාරය නැති වෙනවා. අපේ සිතත් ඒ වගේ. සිත අපිරිසුදු කරන කැළි කසළ ගෙන එන මාර්ග පහක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය ඒ අංග පහයි. ඒවාට කැළි කසල හසුවුණොත්, සිත අපිරිසුදු වෙනවා. දූෂ්‍ය වෙනවා . එයට කෙලෙස් සහගත සිතක් යැයි කියනවා. එවැනි සිත සසර දිගු කරනවා. එයට කළ යුත්තේ කුමක් ද? මෙසේ සිතන්න. නිල් දිය පිරි පොකුණ වටා ශක්තිමත් බැම්මක් බැන්ඳේ නම් අපිරිසුදු වතුර ගලාගෙන එන්නේ නෑ. විල ආරක්ෂා වෙනවා. පිරිසුදු වතුර ආරක්ෂා වෙනවා. සිතත් ඒ වගේ. සිත අපවිත්‍ර කරන දේ රැගෙන එන අංග පහ, එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය ආරක්ෂා කර ගන්නට ඕනෑ. එවිට නරක හැඟීම් ඇති වන්නේ නෑ. සිත පවිත්‍ර වෙනවා. මහා ශක්තියක් ඇති වෙනවා. අපගේ ජයග්‍රහණයත්, පරාජයත් රඳා පවතින්නේ ඒ මතයි.

මේ කතා පුවතෙහි වැදගත් කරුණක් පෙන්නුම් කරනවා. කවර මොහොතක, කවර කාර්යයක නියැළෙන්නේ ද ඒ ගැන සිහිය පිහිටුවා ගත යුතු බවයි. පවන් සලමින් වෙනත් දෙයක් ගැන සිතනවා නම් එතැන සිහිය පිහිටුවා ගැනීමක් නෑ. භාගින්‍යෙය සංඝරක්ඛිත හාමුදුරුවෝ තම බිරිඳක් ගැන මනඞකල්පිත සිතිවිලි මවාගෙන ඇයට කෙවිටෙන් පහර දෙනවා යැයි සිය ආචාර්යයන් වහන්සේගේ හිසට පවන්පතින් පහර දුන්නේ ඒ නිසයි.

සෑම ජීවන කාර්යයක දී ම සිහිය හෙවත් සතිය ඉතාම වැදගත්. පාඩම් කරන දරුවෙක් එය සිහියෙන් නොකළේ නම් සිත බොහෝ දුර යන්නට පුළුවන්. වචන කියැවෙනවා. පේළි කියැවෙනවා. පාඩමත් කියවා අවසන් වෙනවා. කිසිවක් මතකයේ නෑ. තමන් කළ දේ ගැන ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ පසුවයි. පාරක ගමන් කළත් එලෙසයි. බොහෝ අනතුරුවලට මුල අසිහියයි.

අවධානය ගිලිහුණු තැන ඕනෑම කාර්යයක් නිෂ්ඵලයි. දුර්වලයි. මේ නිසා බණ භාවනාවේ දී වුව, ජීවිතයේ කවරම කාර්යයක දී වුව ඒ ගැන සිහියෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. එවිට පසුතැවිලි වන්නට සිදු නොවෙයි.