Print this Article


පරිත්‍යාගය

පරිත්‍යාගය

බොහොම ඉස්සර කාලයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් සිටියා. ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ හිමාලය වනයෙහි සුදු ඇත් පැටියෙක් වී ඉපදුණා. මේ ඇත් පැටියාගේ ඇස් දෙක නිල් මැණික් කැට දෙකක් වගේ. හරිම වර්ණවත්, කට රතුපලසක් වගේ. රක්ත වර්ණයි. සොඬය රිදියෙන් කළ මල් මාලයක් වගේ ශ්වේත වර්ණයි. මේ නිසා ම ඇත් පැටියා හරිම ශෝභාවත්. ඒ වගේ ම සිල්වත්. ඒ නිසා ම ‘සීලවනාගරාජ’ නමින් ප්‍රසිද්ධ වුණා.

කාලයක් ගත වුණා. තමන් පිරිවරා සිටි අසූ දහසක් පමණ වූ ඇත් රැලෙන් ඉවත් වී තනිව වාසය කරන්නට ඕනෑ යැයි ඇත් පැටියා කල්පනා කළා. දිනක් බරණැස් නුවර වාසය කළ එක් මිනිසෙක් හිමාල වනයේ අතරමං වුණා. මහා වනයෙන් පිටතට යන මඟ සොයාගත නොහැකි වුණා. රෑ බෝ වුණා. බියට පත් වූ මිනිසා දෑත හිස මත තබමින් හඬන්නට පටන් ගත්තා. බෝසත් ඇත් රජුට මේ හඬ ඇසුණා. ඇතා ඒ අසළට ආවත් බියට පත් වූ මිනිසා දුවන්නට වුණා. ඒ දුටු ඇත් රජු නැවතුණා.

“ඇතාගෙන් මට කරදරයක් නොවන හැඩයි.” එහෙම සිතූ මිනිසා ඇතු සමීපයට ආවා.

“ඇත් රජුනි, මා මේ වනයට ආවේ ජීවත් වීම සඳහා යමක් සොයා ගන්නටයි. ඒත් යන මං නොදැන මා අතරමං වුණා. ඒ නිසයි මේ මරණ බියෙන් ඒ මේ අත ඇවිදින්නේ.” මිනිසා වෙව්ළමින් කීවා. ඇත් රජුට මිනිසා ගැන හරිම දුකයි. ඔහු තමන්ගේ වාසස්ථානයට කැඳවාගෙන ගොස් කුස පිරෙන්නට රස පලතුරු ලබා දුන්නා.

“යහළුව, බිය වන්නට එපා. මිනිසුන් වාසය කරන ප්‍රදේශයට යන පාර මම දන්නවා. ඔබට මඟ පෙන්වන්නම්” කියමින් ඒ මිනිසා අස්වැසුවා.

අනතුරුව මිනිසා ද පිට මත හිඳුවා ගෙන ඔහු වෙසෙන ප්‍රදේශයට යන්නට පිටත් වුණා. මේ අතර ඒ පුරුෂයා, මඟ සලකුණු ලෙස දකින ගස්, ගල් තිබෙන තැන් මතකයේ රඳවා ගත්තා. බරණැස් නුවරට යන මාර්ගය අසළට පැමිණි ඇතා ඒ මිනිසා බිමින් තැබුවා.

“යහළුව, මේ මාර්ගයෙන් ගමට යන්න. ඒත් මා ගැන කිසිවෙකුටත් නො කියන්න.”යි පැවසුවා. මිනිසා ද හිස වනා එය පිළිගන්නා බව ප්‍රකාශ කළා. ගමට පැමිණි ඒ මිනිසා මුලින් ම ගියේ එහි වෙසෙන ඇත් දළ වඩුවන් හමු වීමටයි. “පණ පිටින් සිටින ඇතුන්ගේ දළ ලැබුණොත් මිලට ගන්නවාද?” යි ඔවුන්ගෙන් ඇසුවා.

“පුරුෂය, ඔබ කුමක් කියන්නේද? ජීවත්ව සිටින ඇතුන්ගේ දළ මිය ගිය ඇතුන්ගේ දළවලට වඩා වටිනා බව නොදන්නේ ද?” ඔවුන් පිළිතුරු දුන්නා. මිනිසා මතකයේ වූ මඟ සලකුණු සොයමින් නැවත මහ වනාන්තරයට ගියා. ඇත් රජුගේ වාසස්ථානයට ළඟා වුණා.

“අහෝ, ඇත් රජුනි. මා ඉතා දිළිඳුයි. ජීවත් වීමට කිසිදු මඟක් නොවෙයි. ඔබ වහන්සේගේ දිගු දළවලින් කැබැල්ලක් දෙන්නේ නම් එය ගෙන ගොස් විකුණා ජීවත් වන්නට පුළුවන්.”

ඇත් රජුගේ කරුණාවන්ත බව දැන සිටි මිනිසා බියක් සැකක් නැතිව ඉල්ලා සිටියා. සීලවනාගරාජ ඇත් රජු ඒ පුරුෂයාට අනුකම්පා කළා. “පින්වත, මම ඔබට දළ කැබැල්ලක් දෙන්නෙමි. දළ කපන්නට කියතක් ගෙනාවේද?” යි ඇසුවා. “ එසේය, ඇත් රජුනි, කියත රැගෙන ආවෙමි’

බෝසත් ඇත් රජු පා හකුළුවා බිම වැතිරුණා. ඒ අසත්පුරුෂ මිනිසා ඇතුගේ දළ කෙළවර දෙක ම කපා ගත්තා. ගමට ගොස් ඒවා විකුණා ලබා ගත් මුදලින් ජීවත් වුණා. ටික දිනකින් ඒ මුදල් අවසන් වුණා. නැවත ඇත් රජු සොයාගෙන ගියා.

“ඇත් රජුනි, ඔබ වහන්සේගේ දළ විකුණා ලබා ගත් මුදල් මා ගත් ණය ගෙවීමටවත් නොසෑහුණි. එනිසා ඉතිරි දළ කැබලි දෙක ද දෙනු මැනවි” යි ඉල්ලා සිටියා. ඇත් රජු ඊට ඉඩ දුන්නා. ඒ අසත්පුරුෂ මිනිසා ඒ දළ කැබලි ද විකුණා මුදල් ලබා ගත්තා. ඒවා ද අවසන් වුණා. නැවත ඇත් රජු හමුවීමට ගියා. “ස්වාමීනි, ජීවත් වෙන්නට කිසිදු මගක් නොවෙයි. ඔබ වහන්සේගේ දළ දෙකේ මුල් කොටස දෙනු මැනවි”යි ඉල්ලා සිටියා.

පෙර ලෙස ම ඇත් රජු බිම වැතිරී දළ කපා ගන්නට ඉඩ දුන්නා. එහෙත් මිනිසා ඊට අපොහොසත්. බොහෝ වෙහෙස ගත්තා. ඒත් දළ කපාගත නොහැකියි. ඒ බව දුටු ඇත් රජු තමන්ගේ ම සොඩින් කියත ගෙන දළ කපා ඔහුට දුන්නා. දළ කැබැලි රැගෙන ඇතුගේ මානයෙන් ඉවත් වූ ඒ මිනිසා අවීචි මහා නරකාදියට ගෙන ගියා.

මේ, මිත්‍රදෝහී පුද්ගලයා දේවදත්ත තෙරණුවෝයි. සීලවනාගරාජ ඇතු ලෙස ඉපදී සිටියේ අප මහ බෝසතාණන් වහන්සේ, දුවේ පුතේ, මේ කතා පුවතින් දෙන ආදර්ශය ඔබ දන්නවා ද? කළ ගුණ නොසැලකීම, කල්‍යාණ මිතුරන්ට ද්‍රෝහී වීම අසත්පුරුෂයන්ගේ ලක්ෂණයක්. එවැනි පුද්ගලයන් සිදු කර ගන්නා අකුසල ක්‍රියා නිසා ඔවුන් අවීචි මහා නරකාදියෙහි උපත ලබනවා. ඒවගේ ම එවැනි අසත්පුරුෂ අය නිසා යහපත් මිනිසුන් පවා දුකට, පීඩාවට පත් වෙනවා. එවැනි අය ඇසුරින් වළකින්නට ඕනෑ.