Print this Article


ශ්‍රී දළදා පුරාණය:- 9 : ගෞරවණීයවූ අසිරිමත් දළදා පූජාවන්

ගෞරවණීයවූ අසිරිමත් දළදා පූජාවන්

අලුයම බුද්ධ පුජාව පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 9. 30 පමණ වන විට දවල් නව පෑ බුද්ධ පූජාව පැවැත්වීම සඳහා තේවාව බාර නායක ස්වාමීන් වහන්සේත්, පල්ලෙමාලේ නායක ස්වාමීන් වහන්සේත් ඇතුළු ව තේවා කටයුතුවල නිරතවන මහා සංඝරත්නයත්, උදෑසන බුද්ධ පුජාව පූජාකිරීම සඳහා පැමිණි වට්ටෝරු රාළ, ගෙප රාළ, කත්තියන රාළ ,හක්ගෙඩි රාළ,පල්ලේමාලේ රාළ යන තේවා පූජාවන් සිදුකරනු ලබන ගිහ ි පින්වතුන් ද නව පෑ පූජාව පැවැත්විම සඳහා දළදා වහන්සේ වැඩ සිටින මාළිගාවේ දොරටු නැවතත් විවෘත කරනු ලබයි.

අලුයම පැවැති තේවාවට සමානව ම එම පූජාව නොපවත්ව යි. දවල් නව පෑ පූජාව සඳහා පූජා කරනු ලබන මුළුතැන් බුද්ධ පූජාව, රාජකීය බුද්ධ පූජාව වශයෙන් ද හඳුන්වයි. එදා කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා විසින් නියෝග ලද පරිදි රජ මාළිගාවේ සකසන ලද සහල් සේරු 32 බත්, ව්‍යංජන 32 ක්, අවුලු පත්,පලතුරු ආදිය මේ සඳහා සූදානම් කරයි.එම බුද්ධ පුජාව එදා පටන් ම “රාජකීය මුලුතැන් බුද්ධ පූජාව“ නමින් හඳුන්වනු ලබයි. වර්තමානයෙහි මුළුතැන් බුද්ධ පූජාවට අමතර ව අතිරේක දානමය පින්කම සඳහා බුද්ධ පූජා පින්කම පවත්වයි. වස්කාලය පැමිණෙන කාලයේ ්දී වස්දානය යනුවෙන් දාන වර්ග තුනක් පූජා කරයි.එම සියලු දාන අතරින් රාජකීය මුළුතැන් බුද්ධ පූජාවට පුමුඛත්වය ලැබෙයි. එම බුද්ධ පූජාව, පෙරවරු 10 ට පැවැත්වීමෙන් අනතුරුව මාළිගාව නැරඹීම සඳහා පැමිණෙන සැදැහැවතුනට දළදා වහන්සේ වැඩ සිටින දළදා කරඬුව ප්‍රදර්ශනය කරමින් පෙරවරු 11 වනතෙක් තේවා පුජාවන් පවත්වනු ලබයි. ඉන් අනතුරුව නැවතත් චාරිත්‍රානුකූලව දෙරටු වසමින් වැඩසිටින මාලිගාවෙහි දෙරටුව ද ක්‍රමානුකූලව වසා දමයි.

සැන්දෑ පූජාව නම්න් සඳහන් කරනු ලබන සන්ධ්‍යා භාගයේ පවත්වනු ලබන ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම සඳහා වර්තමානයෙහි පස්වරු 6. 30 පමණ වන විට මාලිගාවේ හේවිසි කරුවන් විසින් හැන්දෑ ධූරය වාදනය කිරීමෙන් අනතුරුව තේවා කටයුතු ආරම්භ කරනු ලබයි. ඒ අවස්ථාවෙහි ත් තේවාව බාර නායක ස්වාමීන් වහන්සේ්්් ,පල්ලේමාලේ නායක ස්වාමීන් වහන්සේ ත් ඇතුළු ව තේවා කටයුතුවල නිරතවන මහා සංඝරත්නයත්,ඉහත සඳහන් කරනු ලැබු වට්ටෝරු රාළ ආදී කොට ඇති සියලු දෙනාගේ ප්‍රධානත්වයෙන් හැන්දෑ පූජාව පවත්වත්වනු ලබයි.

වර්තමානයෙහි ගිලන්පස බුද්ධ පුජාවන් දෙකක් පවත්වනු ලබන අතර ඉන් පළමු ගිලන් පස බුද්ධ පූජාව පස්වරු 7 ට පමණ පවත්වයි. කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ උදෙසා දිනපතා ම ගිලන් පස බුද්ධ පූජාව පවත්වනු ලැබුවත් , රජතුමාගේ රාජකාරී කටයුතු හේතුවෙන් එක් දිනක් පමණක් ගිලන් පස බුද්ධ පූජාව පැවැත්වීමට ප්‍රමාද වි ඇත. ඒ අවස්ථාවෙහි වේලාව ප්‍රමාද වූ නිසා තේවා කටයුතුවල නිරතව සිටි මහා සංඝ රත්නය ගිලන්පස බුද්ධ පුජාව පවත්වා දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින ගන්ධකුටිය නමින් හඳුන්වනු ලබන ගඳකිළියෙහි දොරටු වසා දමා ඇත. ප්‍රමාද වී හෝ රජතුමා විසින් ගෙනෙන ලද ගිලන් පස පූජා කිරීම සඳහා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මාලිගාවෙහි දෙරටු විවෘත කරන ලෙස ආයාචනා කරනු ලැබුව ද , ස්වාමීන් වහන්සේලා නියමිත පරිදි තේවා කටයුතු ඉෂ්ට කර තිබූ නිසා රජතුමාගේ ඉල්ලීම වුව ද එය ප්‍රතික්ෂේප කරමින් දොරටු විවෘත කර නොමැති බවට සඳහන් වෙයි. අනතුරුව රජතුමා විසින් ගිලන් පස වෙන ම තැන්පත් කර පූජා කරමින් ඒ අනුව දෙවන අවස්ථාවෙහි ගිලන්පස බුද්ධ පූජාවක් ද පවත්වන ලෙස නියෝගයක් පනවා ඇත. ඒ අනුව වර්තමානයෙහි දී ගිලන්පස බුද්ධ පූජාවන් දෙකක් පවත්වයි.

පළමු ගිලන් පස බුද්ධ පූජාව පස්වරු 7 ටත්, දෙවන ගිලන් පස බුද්ධ පුජා ව පස්වරු 7.30 ටත් පවත්වනු ලබයි. මේ අවස්ථාවෙහි දීත් දොරටු විවෘත කිරීමෙන් අනතුරුව හේවිසි කණ්ඩායම දළදා වහන්සේ වැඩ සිටින මාලිගා කුටිය වෙටි පංචතූර්ය වාදනයෙන් යුතුව තෙවරක් ප්‍රදක්ෂිණා කරමින් තේවා පූජා කටයුතු සිදු කරනු ලබයි. දෙවන ගිලන් පස බුද්ධ පූජාව පූජාකිරීමෙන් අනතුරුව දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින කුටියෙහි නැවතත් දොරගුළු දමනු ලබයි. තේවාව බාර නායක ස්වාමීන් වහන්සේ විසින් සියලු කටයුතු පිළිබඳ විමසිලිමත් වන අතර ඊට ප්‍රථම දළදා කුටිය අතුගා පිරිසුදු කිරීමත්, වැඩ සිටින මාලිගාවෙහි හතර පැත්තෙහි දොරටු හතර වැසීමෙන්, අනතුරුව දළදා මාලිගාවෙහි ප්‍රධාන දොරටුව වශයෙන් හැඳින්වෙන ඉදිරිපස දොරටුවත් වසා දමනු ලබයි. එම අවස්ථාව වන විට පල්ලේමාලේ නායක ස්වාමීන් වහන්සේ සහ එම රාජකාරී කටයුතුවල නිරත වන නිලමේතුමා යතුරු රැගෙන එම ස්ථානයටම පැමිණ ඒකරාශී වී අවසානයේ සියලු දෙනාම තමතමාගේ කුටියට ගමන් කරයි. ඒ ආකාරයට දිනපතා ම පවත්වනු ලබන පුද පූජාවන් ඉතාම ගෞරවයෙන් සිදුකරනු ලබන ආකාරය සඳහන් කළ හැකියි.

දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පවත්වනු ලබන තවත් සුවිශේෂී පූජාවක් ලෙස දින හතකට වරක් සිදුකරනු ලබන සත්තායික පූජාව නමින් හඳුන්වනු ලබන නානුමුර මංගල්‍යය සඳහන් කළ හැකියි. එම නානුමුර මංගල්‍යය පවත්වනු ලබන සෑම බදාදා දිනයක් ම දළදා මාලිගාවට විශේෂිත දිනයක් වෙයි. දියවඩන නිලමේතුමන් විසින් එහි බාරකාරත්වය දරනු ලබයි.

දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් හා තේවාව බාර නායක ස්වාමීන් වහන්සේගේ හා සෙසු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි නානුමුර මංගල්‍යය පවත්වනු ලබයි. එදින අලුයම් පූජාවෙන් පසු අභ්‍යන්තරයෙහි තිබෙන දළදා කුටියත් ,නානුමුර පූජාව පටන් ගන්නා ස්ථානයත් ආදී සියලු ස්ථානයන් හි අවශ්‍ය කරන උපකරණ ඉතාමත් ම හොඳින් පිරිසුදු කර සුවඳ ගල්වමින් ආසනය මත තබයි. අනතුරුව තේවාව බාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බදාදා දින 9. 30 වන විට වැඩ සිටින මාලිගාවෙහි දොරවල් විවෘත කරයි.

අනතුරුව නානු මුර මංගල්‍ය සඳහා සුදානම් කරන ලද නානු මුරු සහ සුවඳ පැන් බොල් පැන් නමින් හඳුන්වන උණු වතුර උඩුමාලයටත් පල්ලේ මාලයටත් රැගෙන යනු ලබයි.නානු මුරු මංගල්‍යය පවත්වන දිනයට පමණක් බුද්ධ පූජාව පූජා කිරීම සඳහා රත්තරන් පාත්‍ර 14 ක් භාවිත කරයි. සෙසු දිනවල රිදී පාත්‍ර භාවිත කරයි. නියමිත වෙලාවට නානුමුර මංගල්‍ය ආරම්භ කරන බවට හක්ගෙඩිය පිඹීමෙන් අනතුරුව පිටත සිටින හේවිසි කණ්ඩායම පංචතුර්ය නාදය ආරම්භ කරයි. ඒ සමඟ බුදුරජාණන් වහන්සේගේ ගුණ හා ධර්ම රත්නයේ ගුණ ගායනා කරනු ලබන කවිකාර මඩුව නමින් හඳුන්වනු ලබන කණ්ඩායම නානුමුර මංගල්‍යය අවසානය තෙක් ම බුදුරජාණන් වහන්සේගේ ගුණ හා ධර්ම රත්නයේ ගුණ ගායනා කරමින් දළදා හාමුදුරුවන් වහන්සේ දෙපස සිටී. පංචතුර්ය වාදනය කරම්න් හේවිසි කණ්ඩායම වැඩ සිටින මාලිගා පරිශ්‍රය වටේ තෙවරක් ප්‍රදක්ෂිණා කරමින් පංචතුර්ය නාදය එක්කරන ආකාරය දැක ගත හැකියි.

ඉන් අනතුරු ව සියලු දෙනාට නානු බෙදා දීමේ අවස්ථාව උදාවෙයි .නානුමුර මංගල්‍යය නමින් සංකේතවත් කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ ස්නානය කිරීම බව සඳහන් වෙයි.

එදා ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේට යමි ආකාරයකට බුද්ධෝපස්ථාන කළේ ද ඒ ආකාරයෙන් ම වර්තමානයෙහි දී ත් බුදුරජාණන් වහන්සේගේ ස්නානය ස්ංකේතවත් කරමින් නානුමුර මංගල්‍යය පවත්වනු ලබයි.


ශ්‍රී දළදා පුරාණය - 8: අසිරිමත් දළදා ඉතිහාසය