Print this Article


පින්බර වස්සානය

පින්බර වස්සානය

සෙනසුන් පිළියෙළ කොට වස් ආරාධනා කළ පසු එම ආරාධනාව පිළිගන්නා භික්ෂූන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කිරීමට වස් සමයේ ගිහි පින්වතුන් වඩාත් උනන්දු වෙනවා. වෙනත් කාර්යයන්ට වඩා මුල් තැනක් ලබා දෙනවා.

වෙහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වඩ වඩාත් පින් සිදු කරගන්නා කාලයක් බවට පත්කර ගන්නවා. එහෙත් බුදුරජාණන් වහන්සේ ගිහි ජනතාව වෙනුවෙන් මේ කාලය පෙන්වා දුන්නේ භික්ෂූන් වහන්සේට දන්පැන් පූජා කිරීමෙන් කරන ආමිෂ පූජාවන්ට වඩා භික්ෂූන් වහන්සේ වස් වසවාගෙන උන්වහන්සේලා ඇසුරෙන් තමන් තුළ ගුණධර්ම දියුණු කර ගැනීමට යි. ඒ අනුව ඔවුන් බණදහම් දැනුම ද දියුණු කරගනිමින් සීලමය ප්‍රතිපදාවන් හා භාවනාවට යොමු වී ආශ්‍රවයන් හීන කරගැනුමට උනන්දු වීම වැදගත් කොට සලකා තිබෙනවා. ඇතැම් අවස්ථාවක සිවුපසයෙන් උපස්ථාන කිරීමේ අවශ්‍යතාවෙන් ම බුදුරජාණන් වහන්සේ වෙත ලැබුණු වස් ආරාධනා භාර නොගත් අවස්ථා ද තිබෙනවා. එපමණක් නොව බුදුරජාණන් වහන්සේ දවස සිට එම පිරිස් ද සීලභාවනා වඩමින් අධිගමයන්ට පවා පත් වූ බව අපේ බෞද්ධ කථාවන් හි සඳහන් වෙනවා. ඒ වගේ ම භික්ෂූන් වහන්සේ ද එක ම සෙනසුනක් කේන්ද්‍රකොට ගෙන කල් ගත කරමින් පිඬුපිණිස හැසිරීමෙන් පවා වැළකී’ ජනපදචාරිකාවෙන් ද තොරව කල්ගත කිරීමෙන් ලැබෙන විවේකය ප්‍රයෝජනයට ගනිමින් මෙම වස්කාලය තුළ සතියෙන් හෙවත් සිහියෙන් යුක්තව, ආශ්‍රව ධර්මයන් ක්ෂය කරමින් මාර්ගඵලයන්ට පත් ආකාරය ද අපේ ධර්ම සාහිත්‍යයෙහි විස්තර වශයෙන් සඳහන් වෙනවා. මේ නිසා මේ වස් කාලය ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම මහත් වූ පුණ්‍ය කාලයක් බවට පත් වී තිබෙනවා.

වැසි සළු පූජාව

එමෙන් ම වස් වසන භික්ෂූන් වහන්සේට ‘වැසි සළු’ පූජා කිරීම ද වැදගත් චාරිත්‍රයක්. පින්කමක්. මෙහි ද අදහස අප දැනගත යුතු වෙනවා. මෙවැනි සිවුරක් වැසි සළුවක් වශයෙන් අනුදැන වදාළේ විශාඛා මහා උපාසිකාව කළ යෝජනාවක් නිස යි. එය නම් එදා භික්ෂූන්වහන්සේ බුද්ධ නියමයට අනුව වස් විසුවත්, වැසි කාලය තුළ ජනපදචාරිකාවේ නො යෙදුණත් පිණ්ඩපාතයෙහි යෙදුණු අවස්ථා තිබුණා. ඉතින් අතරක් නොමැති ව වැස්ස පැවැති මේ වැහි කාලයෙහි සිවුරු තෙමාගෙන පිණ්ඩපාතයෙහි හැසිරෙන භික්ෂූන් දැක කම්පාවට පත් මේ විශාඛාව මේ මහා වැස්සෙන් තෙමී තෙත බරිතව වන පීඩාව අවම කර ගැනුමට තමන්ගේ දිවි තිබෙනතුරු වස්වසන භික්ෂූන්ට වැසි සළු පූජා කිරීමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ ඊට අවසර දුන්නා. මෙයින් පසු වස්වසන භික්ෂූන්ට වැසිසළු පූජාව ආරම්භ වුණා. මෙය දෙපට හෝ සඟල සිවුරට වඩා තරමක් දිග පළල වැඩි සිවුරක්. ඒ වගේ ම වස්සානය ආරම්භවීමට මාසයක් පෙර සිට වස් වසන භික්ෂූන් වහන්සේට දායක මහත්වරුන්ට කියා හෝ තමන් ම උනන්දු වී මෙම වැසි සළුවක් සපයා ගැනීමේ අයිතිවාසිකම ද පවතිනවා. මේ නිසා සැදැහැති බෞද්ධයෝ වස් ආරාධනා දැහැත් වට්ටිය මහා සංඝරත්නයට පිළිගන්වනවාත් සමඟ වැසි සළුව ද (දිග, පළල ඇති සිවුරක්) පූජා කළ යුතු වෙනවා.

ලක්දිව වස් විසීමේ ආරම්භය

ශ්‍රී සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ ස්ථිර වශයෙන් ම පිහිටුවේ. මෙයට වසර 2330කට පෙර එනම් ක්‍රි.පූ. 236 වර්ෂයේ දී ලංකාවේ රජකම් කළ දෙවනපෑතිස් මහරජ දවස යි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවා වදාළේ පොසොන් පසළොස්වක දිනක යි. ඊළඟට එළැඹුණේ ඇසළ පුර පසළොස්වක දින යි. ඒ වෙනකොට රජුගේ බෑණනු කෙනෙක් වූ අරිට්ඨ ඇමැතිවරයා හා ඔහුගේ සොහොයුරන් 55 දෙනෙකු ඇතුළු රාජකීය පිරිස 56 දෙනෙක් මිහිඳු මාහිමියන්ගෙන් බණ අසා පැවිදි ව සිටියා. රජතුමා කණ්ඨක චේතිය ආශි‍්‍රතව සැට අටක් ලෙන් කරවා පූජා කරන ලද ‘කුරුම්බුරු’ නම් සීමා මාලකයේ දී මිහිඳු මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා කරවා අටසැටලෙන්වල මිහිඳු මාහිමියන් ඇතුළු භාරතීය ධර්මදූත භික්ෂූන් වහන්සේ ද සමඟ වස්වසවා මහා පින්කම් රැසක් ම සිදු කරගත්තා. මෙතැන් සිට අද දක්වාත් මෙම වස්විසීම මහා පින්කමක් වශයෙන් කරගෙන එනවා. කෙසේ වුවත් වස් විසීම කියන ශාසනයේ ඉතා වැදගත් කාල සීමාව උදව් කර ගෙන අද වන විට වස් අවසන සිදු කරන කඨින මහා පින්කම් පවා මූලික අරුතෙන් බැහැරව ආමිෂයට වැඩි බරක් දෙමින් සිදු කරන පින්කම් ස්වරූපයේ සාටෝප උත්සව දකින්ට ලැබීම ශාසනික වශයෙන් සුදුසු නොවන බව නම් නො කියා ම බැරිය.