Print this Article


සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය

බුදුන් වහන්සේ පිරිනිවන් පා වර්ෂ 2561 ක් ගත වන මේ අවධිය බුද්ධශාසනයේ චිරස්ථිතිය පිළිබඳව සිතා බලන්නට ඉතා සුදුසු කඩඉම් අවස්ථාවකි. දැනට ශ්‍රී ලංකාවේත් ඉන් බාහිර ලෝකයේත් සිදුවෙමින් පවත්නා තත්ත්වය දෙස බලන විට බුද්ධ ශාසනය පමණක් නොව මානව වර්ගයාත්, සමස්ත විශ්වයත් කෙතෙක් කල් පවතීදැයි සිතා ගන්නට බැරි තරම් වේගයකින් සියල්ලක් ම වෙනස් වෙමින් පවතී. විද්‍යාවේ හා තාක්ෂණයේ මහිමයෙන් ලෝකය වේගයෙන් දියුණුවෙමින් පවතින්නේ යැයි කියා කෙනෙකුට සිතෙන්නට හැකි වුවත් පාරිසරික වෙනස්කම් හා මානව වර්ගයාගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් දෙස බලන විට සමස්තය ඉතා අනතුරුදායක මට්ටමකට එළඹ ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි ය.

මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ බුදුසසුනේ චිරස්ථිතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ අවධාරණය කළ කරුණු පිළිබඳව පුනරාවර්ජනයක් කරන්නටය. මෙහිලා පළමු කොටම ශාසනය යන්නෙන් කුමක් අදහස් වේදැයි පහදා ගත යුතුය. වර්තමානයේ සිටින බහුතරයක් ගිහි පැවිදි පිරිස් සිතාගෙන සිටින්නේ ශාසනය යනු වෙහෙර විහාර, චෛත්‍ය, බුදුපිළිම, ධර්මශාලා ආදී භෞතික වස්තූන් කියා ය. ඒ නිසා බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා යැයි කියමින් චෛත්‍ය හා බුදුපිළිම වැනි ගොඩනැගිලි ඉදිකිරීමෙහි තරඟ වැදී සිටින බෞද්ධ සමාජයක අපි අද ජීවත් වෙමු. එහෙත් බුද්ධශාසනය යනු කිසිදු භෞතික ඉදිකිරීමක් නොව බුදුන් වහන්සේ වදාළ ධර්ම, විනය පමණි.

බුද්ධ දේශනාව හෝ බුද්ධානුශාසනය යනුවෙන් හැඳීන්වෙන්නේ ද එය ම ය. ‘සබ්බපාපස්ස අකරණං’ ආදී ගාථාවේ සඳහන් වන පරිදි ගෞතම බුදුන් වහන්සේගේ පමණක් නොව සියලු බුදුවරයන් වහන්සේලාගේම (අනු)ශාසනය හැටියට සැකෙවින් සඳහන් වන්නේ පව් නොකළ යුතු බවත්, කුසල් කළ යුතු බවත්, සිත පිරිසුදු කරගතයුතු බවත ්ය. ශාසනය තෙවැදෑරුම්ය. පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය හා , ප්‍රතිවේධ ශාසනය යනුවෙනි. මෙයින් බුද්ධශාසනයේ අවසානය හැටියට සැලකෙන්නේ පර්යාප්ති නම් වූ විනය, සූත්‍ර හා අභිධර්ම යන ත්‍රිපිටකය මුළුමනින් අභාවයට පත්වීමයි. පර්යාප්තියේ පැවැත්ම යනු ද හුදෙක් ත්‍රිපිටක හෝ බණ පොත්වල පැවැත්ම නොවේ.

පර්යාප්තියේ පැවැත්ම කියා බුදුන් වහන්සේ අදහස් කර ඇත්තේ ධර්මවිනයධර භික්ෂූන් වහන්සේලාගේ පැවැත්ම ම ය. ඒ බව මහාපරිනිබ්බාණ සූත්‍රයේ මෙසේ දැක්වෙයි. මහණෙනි, ඔබලා මා විසින් මනාව අවබෝධ කොට ගත් ධර්මය ශාසන බ්‍රහ්මචර්යාවේ චිරස්ථිතිය සඳහා මැනවින් ඉගෙන අනුගමනය කළ යුතු ය. වැඩිදියුණු කළ යුතු ය. බහුල කළ යුතු ය. ඒ කුමන ධර්මයක්ද ? සතර සතිපට්ඨානය, සතර සම්‍යග් ප්‍රධාන, සතර ඉද්ධිපාද, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල, සත්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවායි.

බහුජන හිත පිණිස, බහුජන සැප පිණිස ලෝකානුකම්පාව පිණිස දෙවි මිනිසුන්ට සිත වැඩ පිණිස පවතින්නේ මේ ධර්මයයි. වරින් වර මාරයා බුදුන් වහන්සේ වෙත එළඹ පිරිනිවන් පානා ලෙස ආයාචනා කළ විට බුදුරදුන් වදාළේ මගේ ශ්‍රාවකයන් ව්‍යක්ත විනීත, විශාරද , බහුශ්‍රෑත පිරිසක් ව ස්වකීය ආචාර්යවාදය ඉගෙන ගෙන ප්‍රකාශ නොකරන තාක් පිරිනිවන් නො පානා බවයි. මෙයින් ද තහවුරු වන්නේ බුදුන් වහන්සේ ශාසන චිරස්ථිතිය උදෙසා භික්ෂූන්ගෙන් අපේක්ෂා කළේ කුමක්ද යන්නයි.

එපමණක් නොව මහාපරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට බුදුන් වහන්සේ පිරිනිවන් පා වදාළේ ශාසන චිරස්ථිතියට අත්‍යවශ්‍ය යැයි අදහස් කළ තවත් පියවර රාශියක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ය. ඊට හේතු වන්නට ඇත්තේ බුදුන් වහන්සේ ජීවමාන සමයේ දී ම ශාසනයේ චිරස්ථිතියට අනතුරුදායක විය හැකි සිදුවීම් වාර්තා වී තිබූ බැවිනි. ලාභ කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් ඒ වන විටත් ශාසනයට ඇතුළත් ව සිටි පුද්ගලයන් සංවිධානගත ව හා තනි තනිව උද්ගත කළ ධර්ම විනය සම්බන්ධ අර්බුද එක් හේතුවකි.

සමකාලීන ජෛන ආදී අන්‍ය සාමයික සංස්ථාවන් ධර්මවිනයධර ශ්‍රාවකයන් නොසිටීම නිසා අරාජිකත්වයට පත්වනු ජීවමාන බුදුන් වහන්සේට දක්නට ලැබිණි. මේ නිසා අර්බුද ඇති වූ අවස්ථාවන් හි දී ම ඒවාට පිළියම් යෙදූ අතර විශේෂයෙන් පරිනිර්වාණයට ආසන්න සමයෙහි මතු පැවැත්මට ඉවහල් වන නිර්දේශ ගණනාවක් ම ප්‍රකාශයට පත් කළ ආකාරය දීඝනිකායේ මහාපරිනිබ්බාන සූත්‍රයෙහි දක්නට ලැබෙයි. පුද්ගල මතිමතාන්තර ප්‍රවිෂ්ඨ වීමෙන් ශාසනය අනතුරට ලක්විය හැකි නිසා සූත්‍රපිටක පර්යාපන්න මහාපදේශ මගින් එබඳු අනතුරු පිළිබඳ පූර්ව දැනුම් දීමක් කරනු ලැබිණ. ආසවට්ඨානීය ධර්ම පිළිබඳ ඉගැන්වීමෙන් ද උන්වහන්සෙගේ අනාගත දැක්ම තහවුරු වේ. නෛර්යානික නොවන මතවාද ඉදිරිපත් වුවහොත් ඒවා භාර ගැනීමට ප්‍රථමයෙන් ධර්ම විනය හා සසඳා බලන ලෙස දැනුවත් කළහ. බුදුන් වහන්සේ වජ්ජීන්ගේ අපරිහානීය ධර්ම අගය කළා පමණක් නොව එකී අපරිහානිය ධර්ම භික්ෂූන් වහන්සේලාට ද සුදුසු යැයි අවධාරණය කරන්නට යොමු වූහ.

අසූ මහාශ්‍රාවකයන්ට හා ශ්‍රාවිකාවන්ට ඒ ඒ විෂය ක්ෂෙත්‍රයන් හි අග්‍රස්ථාන පිරිනැමීමත්, විශේෂයෙන් ආනන්ද තෙරුන් ධර්ම භාණ්ඩාගාරික ලෙස පිළිගැනීමත් ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගත් වැදගත් පියවර කීපයකි. පූර්ණ බල සහිත ඒක පුද්ගල නායකත්වය මෙන් ම සමාන්තර බල සහිත බහුපුද්ගල නායකත්වය ද ආයතන පරිහානියට හේතු වෙතැයි සිතූ නිසාදෝ තමන්ගේ ඇවෑමෙන් ධර්මය හා විනය නායකත්වයෙහි තබා ගන්නා ලෙස සිහිපත් කළ බව සඳහන් වෙයි. බුදුන් වහන්සේ තමන් වහන්සේගෙන් අනතුරුව මූලිකත්වය ගතයුතු පුද්ගල නායකත්වයක් ප්‍රසිද්ධියට පත් නොකළ ද කිසියම් ආකාරයකින් එබඳු නායකත්වයක් ඉස්මතු ව ඒමේ අවස්ථාව පාදා දුන් ආකාරයක් අටුවා තුළින් අපගේ අවධානයට යොමු වේ. සමන්තපාසාදිකාවේ සඳහන් පරිදි මහා කාශ්‍යප මාහිමියන් කෙරෙහි බුදුරදුන් දැක්වූයේ විශේෂ ආකල්පයකි.

මහාකාශ්‍යප හිමියන්ගෙන් ශාසනයේ පැවැත්ම උදෙසා වැඩි යමක් බලාපොරොත්තු වූ බව උන්වහන්සේ තමන්ගේ සද්ධර්ම වංශය චිරස්ථායී කරන්නා යයි පැවසීමෙන් ද (සද්ධම්මවංස පතිට්ඨාපකො මෙ අයං) පැහැදිලිව පෙනී යයි. මහාකාශ්‍යප හිමියන් ප්‍රථම ධර්ම සංගායනාව කැඳවන්නට මූලිකත්වය ගන්නේ ද මේ බව තේරුම් ගැනීම නිසාවෙනි. පාලි අට්ඨකථාවන් හි සඳහන්ව ඇති පරිදි බුද්ධ පරිනිර්වාණය සිදු වන විට මහාකාශ්‍යප තෙරුන් සිටියේ පාවා නුවර ය. මහාකාශ්‍යප තෙරුන් පැමිණ නමස්කාර කරන තෙක් ශ්‍රී දේහයට ගිනි දැල්විය නොහැකි වීම උන්වහන්සේගේ නායකත්වය පිළිගැනීම ඉඟි කෙරෙන කරුණකි. මේ අතර බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශාසනයේ චිරස්ථිතිය සම්බන්ධයෙන් තවත් අත්‍යවශ්‍ය චරිතයක් වූයේ බුද්ධ දේශිත සියලු ධර්මය අසා දැන සිටි ආනන්ද තෙරුන් වහන්සේ ය.

එතෙක් රහත් නොවී සිටි උන්වහන්සේ ලහි ලහියේ වෑයම් කොට රහත් ව සෘද්ධි ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය කරමින් සංගීති මණ්ඩපයට පැමිණ ඇත්තේ ද ශාසන චිරස්ථිතිය සඳහා සද්ධර්මය චිරස්ථායී කිරීමේ අරමුණ ඇතිව ය. එහෙත් එදා ශාසන චිරස්ථිතිය සඳහා අත්‍යවශ්‍ය යැයි බුදුන් වහන්සේ අවධාරණය කළ ධර්ම විනය අධ්‍යාපනය කෙරෙහි වර්තමානයේ ගිහි ජනතාව තුළ පමණක් නොව පැවිද්දන් තුළ ද එතරම් උනන්දුවක් නැත.

භික්ෂූන් වහන්සේට ධර්ම විනය උගන්වන ආයතනය පිරිවෙණ වුවත් වර්තමාන ගිහිපැවිදි සමාජයට පිරිවෙන අවශ්‍යව ඇත්තේ දාන පිරිත් පංශූකූල සඳහා පැවිද්දන් සපයා ගැනීමට පමණි. සමහර පිරිවෙනක සිටින්නේ සාමණේර භික්ෂූන් දෙතුන් නමක් පමණි. එබඳු පිරිවෙන් පවත්වාගෙන යන්නේ එකී සාමණේර ශිෂ්‍යයන් දෙතුන් දෙනාට හෝ ඉගැන්වීම සඳහා නොව හුදෙක් එම ශිෂ්‍යයන් රඳවා තබා ගනිමින් ගුරුවරුන් පිරිසක් වැටුප් ලබා ගැනීම සඳහා ම ය. වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගේ මෙකී ආත්මාර්ථකාමී අරමුණුවලට ගොදුරුවන බොහෝමයක් පැවිදි ශිෂ්‍යයන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. මේ තත්ත්වය හේතුවෙන් තරුණ භික්ෂූන් තුළ වර්ධනය වන නුරුස්නාකම ශාසනය හැර යාමටත් නිදහසක් ලැබුණු විට ශාසන විරෝධී ලෙස හැසිරීමටත් හේතුව බව වැඩිහිටි භික්ෂූන්ට නොවැටහීම අවාසනාවකි.

අපගේ ශාස්තෘ වූ බුදුන් වහන්සේගේ අපේක්ෂාව මුදුන් පත් කොට ශාසන චිරස්ථිතිය ඇති කරනු කැමැති ගිහි පැවිදි පිරිස් විසින් දන් දිය යුත්තේ පිරිවෙන්වලටය. ආවාස පහසුකම් සලසා දිය යුත්තේ පිරිවෙන්වලටය. වෙහෙස විය යුත්තේ භික්ෂූන් වහන්සේලා ආමිෂයෙන් පෝෂණය කිරීමට වඩා ධර්මඥානයෙන් පෝෂණය කිරීමටය.