Print this Article


කුසගින්න දරුණුම රෝගයයි

කුසගින්න දරුණුම රෝගයයි

කුසගින්න ලොව පවත්නා දරුණුතම රෝගය බව බුදු රදහු පෙන්වා දුන්හ. නමුත් මෙම රෝගි තත්ත්වය සමනය කළ යුත්තේ වෙනත් රෝගාබාධයන්ට ඉඩකඩ සලසා දීමෙන් නොවේ.

එනම් කායික නිරෝගි බව සඳහා යෝග්‍ය ආහාර සුදුසු කල්හි ගැනීම ඉතා වැදගත් ය. භද්දාලි සූත්‍රයට අනුව ආහාරයෙහි මත්තඤ්ඤුතා හෙවත් ආහාරයෙහි පමණ දැන වැළඳීම නිරෝගි දිවියකට උචිත බව පැහැදිලි වේ.

රෝගාබාධ අඩු බව,

නිදුක් බව

සැහැල්ලු බව,

කාය බලය ,

සුව පහසු පැවැත්ම, එම ප්‍රතිඵලයෝ ය

ප්‍රමාණය දැන ආහාර ගැනීම නිසා ආහාර සෙමින් දිරවයි. ආයුෂය වැඩෙයි. දුක් වේදනා තුනී වෙයි. මේ බව දෝණපාක සූත්‍රයේ සඳහන් වේ. තව ද අවිධිමත් ලෙස හා ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් පස් දෙනෙකු පිළිබද බුදුදහමේ සඳහන් වේ.

ආහාර හත්ථක

(අනුන්ගේ අත් උදව් නැතිව නැගිටින්නට බැරි තරමට ආහාර ගන්නා තැනැත්තා)

අලං සාටක

(ඇඳුම ඇඳ ගැනීමටවත් නොහැකි ලෙස ආහාර ගන්නා තැනැත්තා)

තත්වාට්ටක

(නැගිට ගැනීමටවත් බැරි තරමට කෑම ගෙන බිම පෙරළී සිටින තැනැත්තා)

කාකමාසක

(කපුටෙකුට හොටය දමා ගැනීමට හැකි වන තරමට උගුරටම පිරෙන ලෙස ආහාර ගන්නා තැනැත්තා)

භුත්තවමිතක

(ආහාර වමාරා නැවතත් ආහාර ගන්නා තැනැත්තා)

ශිෂ්ට සම්පන්න ලෙසත් සෞඛ්‍ය සම්පන්න ලෙසත් ආහාර ගැනීම සඳහා දේශිත ආචාර ධර්ම “සේඛියා” නමින් විනය පිටකයෙහි සඳහන් වේ.

න අනාහටේ කබළෙ මුඛද්වාරං විචරිස්සාමිති සික්ඛා කරණියා

(ආහාර ළං කිරීමට කෙළින්ම මුඛය විවෘත කිරීම)

න භුඤ්ජමානෙ සබ්බං හත්ථං මුඛේ පක්ඛිස්සාමීති සික්ඛා කරණියා

(ආහාර ගන්නා විට අත්ල මුඛයට ඇතුළු කිරීම)

න සකබළෙන මුඛේන බ්‍යහරිස්සිමීති සික්ඛා කරණියා

(ආහාර මුඛයේ තිබියදී කතා කිරීම)

න පිණ්ඩුක්ඛේපකං භුඤ්ජිස්සාමිති සික්ඛාකරණියා

(මුඛය විවෘත කොට ඒ තුළට ආහාර වීසි කිරීම)

න කබලාවච්ඡේදකං භුඤ්ජිස්සාමීති සික්ඛාකරණියා

(බත් පිඬ කටින් කඩා කඩා වැළදීම)

පුද්ගල කායික නිරෝගී බව සඳහා බුදුරදුන් ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම පරිදි “සක්මන් මළුව” අනුමත කොට ඇත. එමෙන් ම සාමණේර භික්ෂුවගේ දින චරියාව තුළ එන “මළු පෙත්මං හැමද නිමවා” යන්නෙන් මිදුල් අතුගෑම, කැලිකසළ ඉවත් කිරීම, තණ කොළ ගැලවීම ආදි ක්‍රියාකාරකම් මගින් ශාරිරික ව්‍යායාමයන් සිදු වේ. නූතනයේ ව්‍යායාම පිළිබද නිතර කතා බහට ලක් වේ. එය කායික නිරෝගි බවට අත්‍යවශ්‍ය සාධකයකි.