Print this Article


බුදුපිළිමයේ උපත - 76: අනඳ තෙරුන් වහන්සේගේ ආයාචනය පිළිනොගැනීම

බුදුපිළිමයේ උපත - 76:

අනඳ තෙරුන් වහන්සේගේ ආයාචනය පිළිනොගැනීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ්ට කල්පයක් වැඩ වාසය කිරීම සඳහා ආයාචනා කිරීමට ආනන්ද හිමියන්ට නොහැකි වීම පිළිබඳව මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉතා දීර්ඝ වශයෙන් සඳහන් වී තිබේ. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ ව ආනන්ද හිමියන්ට වදාළ කරුණු ද එහි සඳහන් වී ඇත.


 මථුරා සම්ප්‍රදායට අයත්
බුද්ධ ප්‍රතිමා වහන්සේ

“ආනන්ද, මම බුදු බව ලැබූ අලුත එක් සමයක උරුවෙල, නේරංජනා, නදී තෙර අජපාල නුගරුක මුල වැඩ සිටියෙමි. එවිට පවිටු මාරය මා වෙත පැමිණ එකත් පස්ව සිට මෙසේ කීවේ ය. භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පාන සේක්වා’ සුගතයාණන් වහන්ස! මේ පිරිනිවන් පෑමට කාලයයි. එවිට මම මාරයාට මෙසේ කීවෙමි. යම්තාක් කල් භික්ෂු, භික්ෂුණී, උපාසක ,උපාසිකාවෝ ව්‍යක්ත ධර්මය දේශනා කරන පිරිසක් බවට පත් නොවෙත් ද ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි. පවිටු මාරය, මේ තාක් කල් මාගේ ශාසනික මාර්ගය වන බ්‍රහ්මචරියාව. මනා කොට ප්‍රකාශයට පත් නොකෙරේ ද ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි.

දැනුදු චාපාල චෛත්‍යයේ දී මා වෙත පැමිණ පවිටු මාර තෙම “භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා.......යම් තාක් මාගේ භික්ෂු භික්ෂුණිහු ධර්ම දේශනා කරන පිරිසක් බවට පත් නොවෙත් ද යම්තාක් මාගේ ශාසන මාර්ගය මනා කොට ප්‍රකාශයට පත් නොකෙරේ ද ඒතාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි පවිටුමාරයයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භාග්‍යවතුන් වහන්ස, දැන් බ්‍රහ්මචර්යාව දියුණුවට ...මනාව ප්‍රකාශයට පත්කරන ලද්දේ වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පාන සේක්වා. සුගතයාණන් වහන්ස, දැන් පිරිනිවන් පෑමට කාලයයි කීවේ ය.

එකල් හි පවිටුමාරය,කලබල නොවන්න තව නොබෝ කලකින් තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවන්නේ ය. අදින් තෙමසක් ගිය තැන තථාගතයාණෝ පිරිනිවන් පාන සේකැයි මම වදාළෙමි. “අද මේ දැන් චාපාල චෛත්‍යයෙහි දී තථාගතයාණෝ එළඹි සිහියෙන්, අවදි බවෙන් යුතුව ආයු සංස්කාරය අත් හළෝය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ වදාළ කල්හි ආනන්ද ස්ථවිරයෝ හිමියනි, කල්පයක් වැඩවසන සේක්වා බහුජන හිත සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස,දෙව් මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස, සුගතයාණන් වහන්සේ කල්පයක් වැඩ වසන සේක්වායි ආයාචනා කළහ.

“ඇති ආනන්ද, තථාගතයාණන්ට ආයාචනා කරන්න එපා. තථාගතයාණන්ට ආයාචනා කරන්නට මේ අවස්ථාව නොවේ.”

ආනන්ද ස්ථවිරයෝ දෙවනි, තෙවෙනි වරටත් එසේ ම ආයාචනා කළෝ ය.

“ආනන්දය, තථාගතයාණන් ගේ බුද්ධත්වය ඔබ විශ්වාස කරන්නෙහි ද? එසේය බුදුරජාණන් වහන්ස. “එසේ නම් ආනන්ද තෙවරක්ම ආයාචනා කිරීමෙන් තථාගතයාණන් පෙළීමට පත් කරන්නේ ඇයි ද?”

“හිමියනි, මවිසින් මෙලෙස භාග්‍යවතුන් වහන්සේ වෙතින් ම අසන්නට යෙදුණි. එනම් ආනන්ද, සතර ඍද්ධිපාද ප්‍රගුණ කළ බොහෝ කොට වඩන ලද එය යානාවක් බවට පත්කරන ලද, තහවුරු කරන ලද, උසස් බවට පත් කරන ලද, රැස් කරන ලද, හොඳින් පුරන ලද,කිසිවෙක් වූයේ නම් කල්පයක ආයුෂ කාලයක් හෝ කල්පයක් වූ ආයුෂ කාලයෙන් ශේෂව ඇති ආයුෂ කාලයක් හෝ සිටිය හැකි ය. තථාගතයන් විසින් සතර ඍද්ධිපාද මෙසේ ප්‍රගුණ කරන ලද්දේ වෙයි. එහෙයින් උන්වහන්සේට රිසිනම් කල්පයක ආයුෂ හෝ කල්පයක් ආයුෂ කාලයෙන් ශේෂව ඇති කාල පරිච්ඡේදයක් හෝ වැඩසිටිය හැකිවෙයි”

“ආනන්ද ඔබ එය විශ්වාස කරනවාද?” භාග්‍යවතුන් වහන්ස, එසේය.” “එසේ නම් ආනන්ද මෙය ඔබේ දෝෂයකි. ඔබේ ම වරදකි.තථාගතයාණන් විසින් එබඳු වූ උදාර නිමිති උදාර පැහැදිලිකිරිම් කරනු ලැබෙන කල්හි ද බොහෝ දෙනාගේ යහපත හිත සුව පිණිස කල්පයක් වැඩවසන ලෙස තථාගතයාණන් වහන්සේට ඔබ ආයාචනා කළේ නැත. ඔබ එසේ කළේ නම් තථාගතයාණන් විසින් ඔබේ ආයාචනය දෙවරක් ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබුණත් තෙවෙනිවර කෙරෙන ආයාචනය පිළිගනු ලැබෙනු ඇත. නමුත් ඔබ එසේ කළේ නැත. ආනන්ද දෝෂය ඔබේ ය. වරද ඔබේ ය.

ඉන් පසු බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට ඊට පෙර අවදියක කළ විස්තරයක් ද යළි මතක් කර දුන්නේ මෙසේය.

“ආනන්ද මට එක් අවදියක රජගහ නුවර ගිජුකුළු පව්වේ වැඩ සිටිය දී ඔබ අමතා සතර ඍද්ධිපාද ප්‍රගුණ ශේෂව ඇති කාලයක් වැඩසිටිය හැකි බව ප්‍රකාශ කළෙමි. එසේ ම එක් එක් අවදිවල රජගහනුවර ගෝතම නම් නුගරුක මුල චෝර ප්‍රපාතය නම් ස්ථානයෙකි.වේහාර පර්වතය අසල සත්ත පන්නි ගුහාවෙහි, ඉසිගිලි කන්ද අසල කාලසිලා වෙහි, සීතවනයේ සප්ප සොණ්ඩික කඳු බෑවුමේ තපෝදාරාමයෙහි, කලන්දක නිවස නම් වූ වේළුවනාරාමයෙහි, ජීවක අඹ වනයෙහි, බද්ද කුච්ඡි මිගදායෙහි ආදි තැන්වල වැඩවසන විට ද එසේ ම වෙසාල නුවර උදේන චෛත්‍යයෙහි, ගෞතමක චෛත්‍යයෙහි, සත්තම්බ චෛත්‍යයෙහි බහුපුත්ත චෛත්‍යයෙහි සාරන්දද චෛත්‍යයෙහි එසේම දැන් චාපාල චෛත්‍යයෙහි වැඩවසන විටද ඔබ අමතා සතර ඍද්ධිපාද ප්‍රගුණ .....ශේෂව ඇති කාලයක් වැඩසිටිය හැකි බව ප්‍රකාශ කළෙමි. එහෙත් එසේ උදාර නිමිති. උදාර පැහැදිලි කිරීම් කරනු ලබන කල්හිදී ද බොහෝ දෙනාගේ යහපත හිත සුව පිණිස කල්පයක් වැඩවසන ලෙස තථාගතයාණන්ට ඔබ ආයාචනා කළේ නැත. එයින් ආනන්ද දෝෂය ඔබේ ය. වරද ඔබේ ය.

“ආනන්ද සියලු පි‍්‍රය මනාප දේවලින් වෙන්වීම, ඈත්වීම, වෙනසකට පත්වීම ගැන මුලදීම ම විසින් ඔබ සැමට කියා තිබෙනවා නොවේද? ආනන්ද ඉපදුණු ඇතිවුණු, සංඛතවූ පලුදු වන සුලු දෙයක් ‘පලුදු නොවේවා”යැයි පැතුවත් කෙසේනම් එය සිදුවිය හැකිද? එබන්ඳක් සිදුවිය නොහැකිම ය.මේ යමක් තථාගතයාණන් විසින් අත්හරින ලද්දේ ද ඉවත දමන අත් හරින ලද්දේ ද ඒ සම්බන්ධයෙන් තථාගතයන් ඒකාන්ත වශයෙන් මෙවන් ප්‍රකාශයක් කර ඇත. “වැඩිකල් නොගොස් තථාගතයන්ගේ පරිනිර්වාණය සිදුවන්නේ ය.තථාගතයාණෝ ජීවිතය නිසාවත් එය බොරුවක් නොකරන්නෝම ය. එබන්ඳක් සිදුවීමට ඉඩක් ඇත්තේම නැත. ආනන්ද අපි මහා වනයෙහි කූඨාගාර ශාලාව වෙත යමු.

“එසේය ස්වාමීනි යැයි ආනන්ද හිමියෝ කීහ.

මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙනි. සිංහල භාෂාවට පරිවර්තනය සනත් නානායක්කාර පිටු අංක 47 -52 ප්‍රථම මුද්‍රණය 1999 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 75:  බුදුරජාණන් වහන්සේ අවසන්වරට භික්ෂු සංඝයා ඇමතීම