Print this Article


ශෝකය හුලකි විසල් වේදනා ගෙන දෙන 03: අස්ථිර ලෝකයේ ස්ථිර සත්‍යය

ශෝකය හුලකි විසල් වේදනා ගෙන දෙන 03:

අස්ථිර ලෝකයේ ස්ථිර සත්‍යය

" පරලොව යන්නට එපා යැයි අතින් අල්ලා, ඇඟිලිවලින් මිට මොලවා- ගෙන සිටියත් අල්ලාගත් දෑත, මිට මොලවා ගත් ඇඟිලි මෙහි ම තබා ඒ ප්‍රියවන්තයෝ පරලොව යති. අප කිසිවෙකුටත් ලෞකික ලෝකයේ බාහිර වස්තූන්ගෙන් ඔවුනොවුන් රැකගන්නට තාවකාලික වශයෙන් හෝ හැකියාව තිබුණත් පරලොව යන කිසිදු අයෙකුට තවත් කෙනෙකුගේ පිහිටක් ලැබිය නො හැකි ම ය."

“ ළදරු කෙනෙක් වෙත්වයි, මහලු කෙනෙක් වෙත්වයි, යම් අඥාන කෙනෙක් වෙත්වයි, පණ්ඩිත කෙනෙක් වෙත්වයි, උහු හැම මරවසට යෙති. හැම මෘත්‍යුපරායණ වෙත්.”

ළමා කෙනෙක් හෝ වේවා, මහලු කෙනෙක් හෝ වේවා, නුවණ නැති කෙනෙක් හෝ නුවණ ඇති කෙනෙක් හෝ වේවා, ඒ හැම දෙනාම මරණයට පත්වෙනවා. මරණය උරුම කොට ජීවිතය පවත්වනවා.

වර්තමාන පරිසරයෙහි බොහෝ විටක ළදරුවෙක් හෝ තරුණ අයෙක් මියැදෙන විට අකාල මරණයක් යැයි සම්මුතියෙහි පවසනවා. එනම් සම්මුතියට අනුව සියයක් ආයු හෝ දීර්ඝායුෂ ලැබීම මිනිස් සිත්වල බලාපොරොත්තුවයි. එනිසා අඩු වයසක දී කවර නම් හේතුවක් නිසා හෝ මියැදෙන විට අකාල මරණයක් යැයි සඳහන් කෙරේ. එහෙත් පරමාර්ථ ධර්මයට අනුව මරණය නම් අකාලික නොවීමයි. එයට හේතුව නම් මවු කුසයෙහි පටන් ම ළදරු, තරුණ, මධ්‍යම, වැඩිහිටි යන මේ සියලු අවස්ථාවන් පුරාමත් මරණය උරුම කෙට පවත්නා නිසා ය.

භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දහම් පෙළ යම් කෙනෙකුට සිතෙහි පුරුදු කොට ගත හැකි වේ නම්, තමාගේ ජීවිතය වගේ ම තමන්ගේ පරිසරය ප්‍රිය ස්වභාවයෙන් හෝ වෙසෙන සියලු දෙනා කෙරෙහිත් ඇති වන්නේ ධර්ම සංවේගයකට අවශ්‍ය මානසික පරිසරයකි. වැඩිහිටියන්ගේ සිත්වලට දැනෙන පුංචි දරුවන් මල් සේ ද? තරුණ දරුවන් පිපුණු සුවඳ හමන යම් සුපුෂ්පිත මලක් සේ ද? දැනුණත් එහි ගැබ්ව ඇත්තේ ජරා, ව්‍යාධි, මරණ බව ම ඒ සිත්වලට වැටහේ. පැවැත්මෙහි දී කරුණාව හා මෛත්‍රීය මුල් කොටගෙන උපකාරක ධර්ම පෙළක් සේ ජීවිත ඔවුනොවුන් කෙරෙහි පැවැත්වූවත් මේ හැම එකතුවක ම මරණය ගැබ්ව ඇති නිසා වෙන්වීම ම අවසානයක් බව ඒ සිත්වල මැනවින් පුරුදු කොට තිබේ. මේ නිසා ශෝකය නම් වූ සිතිවිල්ල එහි නො හට ගන්නේ ම වේ.

භාග්‍යවතුන් වහන්සේ විසින් නැවතත් මෙසේ දේශනා කරන ලදී.

“මරහු විසින් මඩනා ලද උන් පරලොව යත් මැ පියා සිය පුතු පරලොවින් නො රක් නේ ය. ඥාතීහු හෝ සිය නෑයන් නො රක්නාහ.”

“මාරයා විසින් පරාජය කරන ලද සත්ත්වයන් පරලොව යන විට පියාට හෝ මවට සිය දරුවන් රකින්නට නො හැකි වන්නේ ය.”

දරුවන් ට දෙමවුපියන් රකින්නට නොහැකි වන්නේ ය. ස්වාමියාට බිරිඳවත්, බිරිඳට ස්වාමියාවත්, සොහොයුරු, සොහොයුරියන්ට හෝ කිසිවකුටත් තවත් අයෙක් රකින්නට නොහැකි වන්නේ ය. පැවැත්ම තුළ දෙමාපියන් විසින් දරුවන් ආදරයෙන්, ආහාරයෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන් හා අනෙකුත් බාහිර සපයාදීම් මඟින් ආරක්ෂාවක් ලබාදෙයි. එහෙත් මාරයාට පරාජය වන දරුවෙක් ඉදිරියේ මවුපියෝ අසරණ වෙනවා, විනා වෙන කවර නම් යමක් සිදු කරන්න ද? ඔවුන්ගේ සිතෙහි හටගන්නා වූ අකැමැත්ත ප්‍රකාශ වන්නේ හුලක් ඇනුනා සේ හදවතට දැනෙන ශෝකයත් ඒ නිසා ම දෑසින් වැගිරෙන කඳුළු කැටත් පමණකි.

එමෙන් ම තම ලෙන්ගතු ආදරබර මවුපියන් පරලොව යන විට ද මෙලොව ජීවත්ව සිටින දරුවන් කුමන ආකාරයෙන් ධනයකින්, හැකියාවකින්, ලෞකික විෂය දැනුමකින්, මහා ධනස්කන්දයකින් බලවත් ව සිටියත්, කෙසේ නම් ඒ මවුපියන් රැක ගන්න ද.? පරලොව යන්නට එපා යැයි අතින් අල්ලා ඇඟිලිවලින් මිට මොලවා ගෙන සිටියත් අල්ලාගත් දෑත, මිට මොලවා ගත් ඇඟිලි මෙහි ම තබා ඒ ප්‍රියවන්තයෝ පරලොව යති. අප කිසිවෙකුටත් ලෞකික ලෝකයේ බාහිර වස්තූන්ගෙන් ඔවුනොවුන් රැකගන්නට තාවකාලික වශයෙන් හෝ හැකියාව තිබුණත් පරලොව යන කිසිදු අයෙකුට තවත් කෙනෙකුගේ පිහිටක් ලැබිය නො හැකි ම ය.

මේ භවය සසර දුකක් බව, භවයේ සැරිසරන සියලු සත්ත්වයෝ ම අසරණ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ නිසාම ය.

“බලව, ඥාතීන් බලාසිටුත්මැ බොහෝ දෙන නන් දොඩත්මැ එකලාවූ මැ මර මිනිසුන් අතුරෙන් එක එකා ගෝඝාතකයා සෙයින් ගෙනයනු ලැබෙයි.”

“බලන්න, ඥාතීන් බලා සිටිද්දී ම බොහෝ දෙනා නොයෙක් නොයෙක් දේ දොඩවත්ම, කියවද්දීම හුදකලාව ම තනිව ම මිනිසුන් අතරින් එකිනෙකා මරණයට ගමන් කරයි. එය හරියට ගවයන් අතරින් ගව ඝාතකයා විසින් එක එක ගවයා මරණයට ඇදගෙන රැගෙන යන්නා සේ ය.

මෙය කියවන ඔබගේ ත් මතකයට, ඔබේ මතකයේ පවතින බොහෝ දෙනා සිහිපත්වනවා ඇත. කුඩා කල ඔබ දුටු වැඩිහිටි අය ක්‍රම ක්‍රමයෙන් පරලොව ගොස් ඇති බව හෝ ජීවිතයේ කෙළවරකට ඉතා සමීප වෙමින් පවතින බව මතකයට නැගෙනු ඇත. අප දුටු බොහෝ දෙනා අද අප අතර නැතුවා සේ ම අද අප අතර සිටින බොහෝ දෙනාත් කවර නම් මොහොතක හෝ මාරයාගේ වසඟයට එකතු වනු ඇත. ඔබ ද අප ද එය ට අයත් ය. මෙය විදර්ශනාවෙන් මෙනෙහි කරන්නට නොහැකි සිත් ඇති මනුෂ්‍යයෝ එසේ අවසන් ගමන් යන බොහෝ දෙනා දෙස බලාගෙන නන් දොඩවති. කෑ ගසති. තමන්ට පිහිට වූ අය තමන්ගෙන් ඈත්ව යන බව දැක ගන්නට අකැමැති සේ ය. මේ නිසා බොහෝ දේ කියති. බොහෝ දේ කියවති. එහෙත් ජීවිතයේ යථාර්ථය නම් මෙය ම බව ශෝකය, එයට පිළිතුරක් නොවන බව සිහිපත් කළ යුතුම ය.

“මෙසේ ලොව මෘත්‍යුහු, විසිනුදු ජරාව විසිනුදු මැඩුනේ වෙයි, එහෙයින් ලෝකස්වභාවය දැන ධීරයෝ නො සොවිති.”

“ මෙසේ මාරයා විසින් ලෝකය මහත් සේ විපතකට පත්කොට ඇත්තේ ය.” මුළු ලෝකයා ම දිරාගෙන යෑමට හසුව ඇත්තේ ය. මේ බව නුවණින් දකින ප්‍රඥාවන්තයෝ ශෝක නො කරති. භවයේ ගමන් කරන්නට වේ නම් උපත, දිරාගෙන යෑම ලෙඩදුක් හා මරණය ලෝක ස්වභාවය ම දන්නා වූ නුවණැත්තා ශෝකය, හැඬීම, වැළපීම, පිළියමක් නො වන බවට ප්‍රත්‍යක්ෂ කරගෙන සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩමින් ජීවිතය ගත කරති.

ලෝවැඩ සඟරාවේ වීදාගම මහා මෛත්‍රීය ස්වාමීන් වහන්සේ කාව්‍යයට නැඟුවේ මේ අදහසමයි. එනම් “හඬාලා කම්පාව වුන්නත් ඉතිං දැක්මක් නො වන්නේ” යනු වෙනි. ශෝකය හුලක් නොකොට වේදනාවක් නො කොට ගෙන සිතේ සන්සිඳවා ගැනීමට උතුම් දහම් පෙළකි.