Print this Article


වචනය: ළයාන්විත මිහිරියාව

වචනය:

ළයාන්විත මිහිරියාව

" යම්කිසි වචනයක් කථාකරන විට ඒ වචනය නිදොස් නම්, කනට මිහිරිනම්, ළගන්නා සුළු නම් බොහෝ දෙනාට මනාප නම් පමණක් කථා කරන්න"

අප වචන හසුරුවන්නේ කට උපයෝගි කරගෙන ය. එය බොහෝ සැලකිල්ලකින් කළ යුත්තකි.

මහනෙල් සුවඳ ම ය
කුඩමසු පිළි ගඳ ම ය
දෙකට එක දිය ම ය
හොඳට නරකට දෙකට කට ම ය

ලෙස කාව්‍යයට නඟා ඇත්තේ ද එහි හොඳ හා නරක ආදීනවය පෙන්වා දීමට ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “සාධු වාචාය සංවරෝ” වචනයෙන් සංවර වෙන ලෙසය. අප වචන හසුරුවන විට ඒ වචන අනෙක් අයගේ යහපත, ප්‍රයෝජනය උදෙසා ම විය යුතු ය. කට තිබූ පමණින්, වචන පරිහරණය කළ යුතු නොවේ. ධර්මයේ සඳහන් වන්නේ යම්කිසි වචනයක් කථාකරන විට ඒ වචනය නිදොස් නම්, කනට මිහිරිනම්, ළගන්නා සුළු නම් බොහෝ දෙනාට මනාප නම් පමණක් කථා කරන ලෙස ය. වචනයේ තිබෙන ශක්තිය ඉතා බලවත් ය. හොඳ වචනයක බලවත් ශක්තියක් ඇත. අප හැම වෙලාවේ දී ම අනුන්ගේ යහපත පිණිස උපයෝගි වන වචන පාවිච්චි කරනවානම් එය එක් පුද්ගලයෙකුගේ යහපතට පමණක් නොව මුළු සමාජයේ ම යහපතට හේතුවක් වේ.

සච්ච විභංග සූත්‍රයේ දී සැරියුත් තෙරුන් වහන්සේ වචනයෙන් වෙන වැරැදි හතරක් පිළිබඳ ව දේශනා කොට වදාළහ. ඒ බොරුකීම, කේලාම් කීම, පරුෂවචන කීම සහ හිස්වචන කීම ය.

බොරු කීම බලවත් අකුසලයකි. බොරු කියන්නා, නින්දාවට අපවාදයට බඳුන් වේ. සමාජය විසින් පිළිකුල් කරනු ලබයි. බුදුරජාණන් වහන්සේ පුරා වසර හතළිස් පහක් ලෝකයාට කථා කළහ. උන්වහන්සේ කථා කළ එක වචනයක හෝ බොරුව තිබුණේ නැත. ශ්‍රාවකයාටත්, සත්‍යවාදීව කථා කරන ලෙස දේශනා කළහ. එය ඒකාන්තයෙන් ම සනාතන දහමකි. බොරුකීමෙන් වැළකීම සම්මා වාචාවේ පිහිටීම යි.

දෙවැන්න පිසුණා වාචා යි. “පිසුණ” කියන්නේ කේළම යි. අද සමාජයේ කේළම කියන දේ සැහැල්ලුවට ගන්නා ස්වභාවයක් පෙනේ. කේළම බොහෝ බරපතල අකුසල කර්මයකි. ලෝ වැඩ සඟරාවේ

පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේතව විඳි ගැහැට
පිසුණු බසක් නො කියව් අද පටන් සිට

ලෙස දැක්වූයේ කේළාම් කියු නිසා සිදුවූ විපත්තියක් ගැන ය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ ගම්බද විහාරස්ථානයක හිමිවරු දෙනමක් සුවසේ වාසය කළහ. තවත් හිමිනමක් ඒ විහාරස්ථාන- යට ආගන්තුක ව වැඩියහ. මේ දෙනම ගමේ දායකයෝ සමඟ සමඟිව වාසය කළහ. සියලු දෙයින් අඩු නැති මේ විහාරස්ථානයේ මටත් ඉන්න තිබෙනවානම් හොඳ යැයි ආගන්තුක හිමියන්ට සිතුණි. ඉතින් ඒ සඳහා පෙර වැඩසිටි හිමි දෙනමට එකිනෙකා කෙරෙහි නොයෙක් කේළාම් කියා බිඳවූහ. ඒ හිමිවරු දෙනම ඒ විහාරය හැර දා දෙපැත්තකට යන්නට ගියහ. ආගන්තුක හිමියෝ ඒ විහාරයේ වැඩ වාසය කළ අතර, තමන් කළ වැරැද්ද පිළිබඳව නිතර සිතින් දුක් වින්දහ. පසුතැවුණහ. කාලයක දී අපවත් වූ මේ හිමියන් නිරයේ ඉපදී එයින් චුතව පේ‍්‍රත ලෝකයේ ඉපිද දුක් විඳින ආකාරය යි ඉහත කවියෙන් කියවෙන්නේ. ඒ නිසා කේළාම් කීම අප විසින් නො කළ යුතු අකුසලයකි.

අනෙක් කරුණ පරුෂ වචනය යි. පරුෂ කියන්නේ “රළු” යන තේරුම යි. මේ ලෝකයේ මිනිසුන් වේවා, තිරිසන් සතුන් වේවා කිසිවෙක් රළු වචන අසන්නට කැමැති නැත. යම් වචනයක් තමන්ටත්, අනුන්ටත් නපුරක් කරනවා නම්, කනට අහිමිරි නම්, සිත් අලවන්නේ නැතිනම් එවැනි වචන පරුෂ වචන ලෙස ධර්මයේ සඳහන් වේ. ඒ වගේ වචන කියන අයගේ චරිත ස්වභාවය ද අන් අයට පීඩා ඇති කරයි. එවැනි වචන කීමෙන් වළකින ලෙස බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළහ.

වචනයෙන් වන හතරවැනි වැරැද්ද සම්ප්‍රප්පලාපය යි. සම්ප්‍රප්පලාප නම් තමන්ටත්, අනුන්ටත් වැඩක් නැති හිස් වචන කීම ය. අද සමාජයේ බොහෝ දෙනා විසින් කරන අකුසලයකි. ඒ නිසා හිස් වචන කතා නො කර, සෑම විටම අනෙක් අයගේ යහපත, ප්‍රයෝජනය සඳහා නිවැරැදි, නිදොස්, යහපත් වචන කථා කරනවානම් ඔහු සම්මා වාචා හි හැසිරෙන කෙනෙකි.

බුදු සසුනේ ශ්‍රාවකයා වචන හසුරුවන විට සතිය නැත්නම් සිහියෙන් යුතු විය යුතු ය. සිහියෙන් තොර වූ විට අපෙන් කියවෙන්නේ අමිහිරි, කටුක වචන වීමට පුළුවන. යම්කිසි වචනයක් කියන විට ඒ වචනය තමන්ටත්, අනුන්ටත් යහපත පිණිස පවතිනවා දැයි සිතා, ඒ වචනය යහපත පිණිස පවතිනවානම් පමණක් භාවිතා කරන ලෙසත්, අයපත පිණිස පවතිනවා නම් එම වචන භාවිතා නො කරන ලෙසත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ වචනයේ ඇති මිහිරියාව ශ්‍රාවකයාට පෙන්වා දෙමිනි.