Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට හතළිස් වසරක් සපිරීම නිමිත්තෙන් ඉකුත් දා (13) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැති ආගමික වතාවත්වලට සහ දානමය පින්කමට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමියන් ඇතුළු මහසඟරුවන වෙත අටපිරිකර පූජා කරමින්...

ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැති ආගමික වතාවත් සහ දානමය පින්කමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අවස්ථාව. මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනු නා හිමි, ආණමඩුවේ ධම්මදස්සි අනු නා හිමි ඇතුළු මහා සඟරුවන සහ අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරාළ, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබිණි.

ආගමික සංහිඳියාවට නව අරුතක් දෙමින් ඉස්ලාමීය බැතිමතකු විසින් ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරයට ඉඩමක් ප්‍රදානය කිරීම නිකිණි පෝදා සිදු කැරිණි. එම ඉඩමේ හිමිකම් ඔප්පුව කලපළුවාවේ ගෝතම තපෝවනයෙහි අනුශාසක අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නා හිමියන්ට පුජා කරන ලද්දේ තෝප්පූර් ජින්නා නගර්හි ස්මයිල් මහරුෆ් සහ එස්.එම්. ජලීල් මහත්වරුන් විසිනි. සේරුවිල මංගල රජ මහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවන එම අවස්ථාවට එක් වූහ.

මාදම්පේ නෙළුම්පොකුණ පදිංචි දරුවන් දෙදෙනෙකු සසුන් ගත කිරීමේ පින්කමක් ඉකුත් 28 වන දින මාදම්පේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මාකඳුරේ සීලරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් මාදම්පේ නෙළුම් පොකුණ ශ්‍රී සිරිවර්ධනාරාමයේ දී පැවැත්විණි.
නෙළුම් පොකුණ පදිංචි ඩබ්.ඇම්. සුනෙත් කුමාර සහ සුභානි නීරංජලා ද සිල්වා යුවලගේ වැඩිමහල් පුතු හසිඳු නිම්සර කුමරුවා නෙළුම් පොකුණේ පඤ්ඤාරතන නමින්ද, සුදුවැල්ලේ පදිංචි පි‍්‍රයංජන් රත්නසිරි සහ ග්‍රේටා මංගලිකා (ලොකු මව) ගේ දිල්ශාන ලක්මාල් කුමරුවා සුදු වැල්ලේ චන්ද්‍රරතන නමින්ද පැවිදි දිවියට ඇතුළු වූහ. ගස්පේ චන්දරතන හිමියන් විසින් එහිදී අනුශාසනාවක් පැවැත්වූහ. එම අවස්ථාවට කච්චකඩුවේ සුමනජෝති, ඊරියගොල්ල විහාරාධිපති කොස්වත්තේ විමලරතන, නාත්තන්ඩිය නීග්‍රෝධාරාම විහාරාධිපති මොරකැලේ සෝභිත යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහභාගී වූහ. විමලසේන නම්මුණි - නාත්තණ්ඩිය සමූහ

කිඹුලාපිටිය, දමින්නගහවත්ත ශ්‍රී සූර්ය ඩේසිකාරාමාධිපති මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේ ආචාර්ය, ශාස්ත්‍රපති කටුකෙන්දේ විජිත හිමියන් උපසම්පදාවට පත්ව විසි වසරක් පිරීම නිමිත්තෙන් දෙසතියක් පුරා පින්කම් මාලාවක් එම විහාරස්ථානයේ දී පැවැත්විණි. රුහුණු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උණුවතුරබුබුලේ මහින්ද හිමි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය එච්.ඇම්. මොරටුගම මහතා හා බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන සමූපකාර සංවර්ධන හා ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා සූර්ය ඩේසිකාරාම නිර්මාතෘ සූර්ය සමූහ ව්‍යාපාර අධිපති ජී.මයිකල් මහතා ද ඊට එක්වූහ. කටුකෙන්දේ විජිත හිමියන් විසින් රචිත ‘දොළොස් පෝය වන්දනා’ කෘතිය දොරට වැඩීම හා සිය මවුපියන් වූ එල්.විජේරත්න මහතා හා එම්.ඩී. හේමාවතී මහත්මිය යන දෙපළ උදෙසා පැවැත් වූ බුදුපුත් මා පිය වන්දනා වැඩසටහන ද සිදු කෙරිණි. විහාරාධිපති කටුකෙන්දේ විජිත හිමියන් සිය මව්පිය දෙපළ සමඟ ඡායාරූපයේ වෙති.