Print this Article


සීනිගම වාර්ෂික ඇසළ උළෙල

සීනිගම වාර්ෂික ඇසළ උළෙල

සීනිගම ශ්‍රී දෙවොල් දෙවිඳුගේ 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යය ජූලි මස 25 වන දින පෙරවරුවේ කප්සිටුවීමෙන් ආරම්භ විය. සීනිගම දේවාලයේ ඉතිහාසය අනාදිමත් කාලයකට දිව යන්නකි. භාරකරු සරත් දිසෙන්තුවාහන්දි මහතා නව සැලැස්මක් මත ඉදිරි කාලයේදී දේවාලය දියුණු කිරීමට කටයුතු කරන අතර මෙවර දේවාල ඇසළ උළෙලට රාජ්‍ය අනුග්‍රහය ද ලබාගෙන ඇත.

ඓතිහාසික ශ්‍රී දෙවොල් මහා දේවාලය ක්‍රමවත්ව දියුණු කිරීමේ අභිලාෂය පිණිස 1968 සැප්තැම්බර් මස 01 දා රැස්වී ගමේ තරුණ වැඩිහිටි පිරිස සීනිගම කුසුමාරාම වාසී ශාස්ත්‍රවේදී තිත්තගල්ලේ සුදස්සී හිමියන්ගේ සභාපතිත්වයෙන් සීනිගම ශ්‍රී දෙවොල් දේවාල භාරකාර මණ්ඩලය නමින් නව සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී. එහි සම ලේකම්වරු වශයෙන් ඒ.පී. ඤාණදාස, කථිකාචාර්ය මහින්ද තිලකාරවසම්, භාණ්ඩාගාරික සීනිගම මහානාම මංගලසිරි යන මහත්වරුන් ඇතුළු මණ්ඩලයක් පත්වූහ. ඔක්තෝබර් මස 01වනදා දේවාලයේ සිට සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයට මල් පෙරහර පවත්වා 1969 දුරුතු පොහෝදා ජනවාරි මස 02 දේවාලයේ සිට පෙරහරින් තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරයට ගමන් කර ශ්‍රී මහා බෝධි අංකුරයක් රැගෙන විත් රෝපණය කිරීමෙන් පසු එදා සිට මෙදා දක්වා පෙරහර මංගල්‍යය වාර්ෂිකව පවත්වනු ලබති. 50 වන වාර්ෂික ඇසළ මංගල්‍යය අගෝස්තු මස 24 වන දින පෙරවරු 9 ට උදා සමුළුව පවත්වා එදිනම රාත්‍රී 8 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද 25 වන දින පෙරවරු 7 ට මහා සංඝරත්නයට හීල දානය පිරිනමා පෙරවරු 9 ට දේවාභිෂේක නානුමුර මංගල්‍යයද පවත්වනු ලැබේ. 26 වන දින පස්වරු 1 ට පළමු දිවා මහා පෙරහර තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරයට ද, 27 වන දින පස්වරු 1 ට දෙවන දිවා මහ පෙරහර හික්කඩුව ජනනන්දාරාම විහාරය දක්වා ද 28 සහ 29 යන දෙදින රාත්‍රී 9 ට රාත්‍රී මහා පෙරහර තෙල්වත්ත සහ තොටගමුව දක්වා වීදි සංචාරය කරනු ලැබේ. අගෝස්තු මස 30 වන දින රාත්‍රි 8 ට දෙවොල් මඩු යාගය ද 31 වන දින අලුයම 5 ට ගිනි මැල සතක් තරණය කිරීම හා පෙරවරු 6 ට බැතිමතුන් සඳහා මහා දේව දානයද ලබා දීමෙන් උත්සව වැඩ කටයුතු අවසන් වේ.