Print this Article


පහන් සිතක කවි

අනිත්‍යය

දසන් වල සුද, සමේ පැහැයෙන් ඔබව කුල්මත් කරන්නේ
ඔද තෙද සිරුරෙ සවි බල, ඔබට එඩියක් ගෙනෙන්නේ
හැකිද ඔබහට තබාගන්නට, නැතිද එය අඩු නොවන්නේ
කවුද ජගතා වළක් වන්නට ‘අනිත්‍යය’ ලොව රැඳෙන්නේ

හැදෙන රෝ දුක් වළක්වන්නට ඔබට සවියක් නොවන්නේ
මගේ යයි සිතු ඔබේ සිරුරම ඔබට අවනත නොවන්නේ
අයිති නම් ඔබ සිරුර ඔබ හට ඇයිද කීකරු නොවන්නේ
මුලාවකි ‘මම’, ‘මගේ’ යන බව නැති ද බුදු බණ අසන්නේ


බැබළීම

හිරු දහවල් කාලයෙ බබළයි
සඳු රෑ නුබ කුසෙහි බබළයි
රජු නිති අභරණින් බබළයි
රහතුන් නිසිසේ බබළයි

නිකෙලෙස් අපගේ බුදු සමිඳුන්
ලොව දිලෙනා සැම අබිබවමින්
හිරු සඳු එළියද අබිබවමින්
බුද්ධ තේජසින් නිති බබළවමින්


වඳිමි වෙහෙරට

රාගිනි නිවන්නට
දෝසය දුරු කරන්නට
මෝහය තුරන් කොට
දොහොත් දී වඳිමි වෙහෙරට


වස්සානය

සසර ගමන නිමකොට දැකුමට නිවන
අමර දහම හිමිදෙසු රටවට යවන
අතැර කෙලෙස් සිල්වත් ගුණයෙන් නිවුන
වැතිර වඳිමු වස් වැඩ විසූ සඟරුවන

කරමින් බෝධි පූජා වස්කල බැතින
සුවපත් කරන් බොදු දන ගත සිත දැවෙන
වස් විසූ තෙරුන් සැම වස් අවසන පිදෙන
සැරසෙමු කරන්නට මහ පින්කම කඨින


ආරාධනා

වස්සානයේ වස් සිව් මාසයම පුරා
හිමියනි වැඩ හිඳිනු අරිහත් ධජය දරා
ඒ කාලයට හැකි පමණින් වෙහෙස දරා
අපි සිව්පසය සපුරමු සිත සතුට පුරා

හිමියනි! ඔබද පැමිණෙන මෙම සසර මග
නවතියි ඔබට හිමිවෙයි යන නිවන් මග
බුදුහිමි දෙසන ලද පෙර අරි අටඟි මග
පැහැදිලි කරනු අපි ඉඳගෙන අසමු ළඟ


සුපින්බර වැසි සමය

පින්බර වැසි සමය ඇරඹුණි මේ වසරේ
පින්රැස් කරන්නට හදවත විවර කෙරේ
අයං වස්සාන පුවරු ව ඇත වෙහෙරේ
කසාවතින් බොදු හදවත් අවදි කෙරේ